ෆාම් තෙල් මාෆියාවේ ඇත්ත නැත්ත මෙන්න

ලෝකයේ තෙල් සහ මේද පරිභෝජන රටාව දෙවන ලෝක යුද්ධය තෙක් බොහෝ රටවල් තුළ සම්ප‍්‍රදායික ස්වාධීන රටාවන් මත ගොඩ නැගී තිබුණි. ශ‍්‍රී ලංකාවේද අධිරාජ්‍යවාදීන්ගේ ආක‍්‍රමණයට පෙර සිට අධිරාජ්‍යවාදීන්ගේ ආක‍්‍රමණයට පෙර සිට ආහාර නිෂ්පාදයේදී අවශ්‍ය තෙල් සහ මේද තම ස්වදේශීය නිෂ්පාදන මත යැපුණ අතර එය ස්වාධීන ස්වෛරී ආර්ථිකයක කොටසක් විය.රට තුළ ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ කාලය තුළ දේශීයව නිපදවන පොල් තෙල් යනු ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන වෙළෙඳ භාණ්ඩයක් බවට පත් විය.ලංකාවේ විවෘත ආර්ථිකය පටන් ගන්නා තෙක් පශ්චාත් නිදහස් කාලය තුළද පොල් තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අපගේ ප‍්‍රධාන අපනයන භාණ්ඩ බවට පත්වී තිබුණද, 1977 සිට අද වන තෙක් පැවති වකවානුව තුළ පොල් තෙල් අපනයනය ඉතා අඩු අගයක් වූ අතර, ඒ වෙනුවට ෆාම් තෙල් ආනයනය ඉතා සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇත.ශ‍්‍රී ලංකාව තුළ පොල් තෙල් නිෂ්පාදන හා ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා බී.බී.සී., ඇඩම්ජි ලූක්මන්ජි වැනි පෞද්ගලික සමාගම් මෙන්ම ලංකා තෙල් සහ මේද සංයුක්ත මණ්ඩලය නම් බලවත් රාජ්‍ය ආයතනයක්ද පැවති අතර 1976 වනවිට ලෝක වෙළෙඳ පොළේ අංක එකේ ෆැටි ඇසිඞ් සපයන්නා ද විය. එමෙන්ම එම කාල වකවානුවේ එංගලන්ත වෙළෙඳ පොළෙහි බහුතරයක් මාගරීන් නිපදවා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පොල් තෙල් වලිණි.එසේ ලෝකය ජයගත් වෙළෙඳ පොළක් අත්පත් කරගෙන සිටි ශ‍්‍රී ලාංකීය වෙළෙඳ පොළ නැති කොට ඒ වෙනුවට 2018 වර්ෂය සඳහා පමණක් රුපියල් මිලියන 23563ක් වියදම් කර ෆාම් ඔයිල් මෙ. ටොන් 217858 ක් ආනයනය කර ඇත.තත්ත්වය එසේ තිබියදී ලංකාවේ වැවිලි කර්මාන්ත කරුවන්ද රජයේ බදු ඉඩම්වල රබර් ගලවා කටු පොල් (ෆාම් තෙල් වගාව) සිටුවීමට පසුගිය දශක තුනක කාලය තුළ ක‍්‍රියා කර ඇත.කටු පොල් ශාකය බටහිර අප‍්‍රිකාව නිජබිම කොටගත් ශාකයක් වුවද, ලෝක ෆාම් තෙල් නිෂ්පාදනයේ 80%කට වඩා නිපදවන්නේ මැලේසියාව හා ඉන්දුනීසියාව වේ.ශ‍්‍රී ලංකාවේ ද ෆාම් තෙල් ශාක වගාව පටන් ගෙන තිබුණද, මහා පරිමාණ වශයෙන් එය රට තුළ ප‍්‍රචලිත කිරීමට නොහැකි වූයේ විකල්පයක් ලෙස පොල් තෙල් සැලකිය යුතු ප‍්‍රමාණයකින් රට තුළ නිපදවීම සහ එය ජනතාව විසින් පිළිගැනීම විය. එමෙන්ම කටු පොල් අපනයන බෝගයක් බවට තරගකාරී ලෙස නිපදවීමට නොහැකිවීම මෙන්ම පරිසර දුශ්‍ය නිෂ්පාදන ක‍්‍රියාවලියට ඇතිවූ ජනතා විරෝධය මෙන්ම අධි ජල පරිභෝජනය සහිත ශාකයක් වීම සඳහන් කළ හැකිය.එහෙත් කටු පොල් වලින් යාන්ත‍්‍රික ලෙස උකහා ගත හැකි තෙල් ප‍්‍රමාණය සාපේක්ෂ ලෙස ඉහළ අගයක් ගන්නා හෙයින්ද, ගෘහාශ‍්‍රිතව හා කුඩා කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යා නොහැකි කර්මාන්තයක් හෙයින්ද කටු පොල් වගාව සහ ෆාම් තෙල් නිස්සාරණය මහා පරිමාණයෙන් කළයුතු කර්මාන්තයක් බැවින් ශාක තෙල් වෙළෙඳ පොළෙහි අධිකාරිත්වයක් තබා ගැනීමට සුදුසුම බෝගය කටු පොල් බැවින් ශ‍්‍රී ලංකාවේද වැවිලි සමාගම් කටු පොල් වගාව ව්‍යාප්ත කීරීමට කටයුතු කරමින් සිටී.කටු පොල් ව්‍යාප්තිය සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීම සඳහා පසුගිය රජයේ හිටපු වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ද කටයුතු කළ අතර ඔහුගේ මෙම ක‍්‍රියාවලිය තහනම් කර තිබූ ග්ලයිපොසෙට් විෂ රසායනය වැවිලි කර්මාන්තයේ අතලොස්සකගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා ඔහු විසින් නැවත භාවිත කිරීමට නීති වෙනස් කිරීම සිහි ගන්වයි.

එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත් විගස කටු පොල් වගාව තවදුරටත් ප‍්‍රචලිත නොකිරීමට සහ නතර කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස ගත් තීන්දුව ප‍්‍රශංසනීය අගය කළ යුක්තකි.එසේ වුවද ලෝක ෆාම් තෙල් මාෆියාවෙන් ගැලවීමට හා එහි අඳුරු බලපෑම්වලින් ජනතාව බේරගැනීමට නම්, පවතින රජය වුවද අදට වඩා මේ ගැන සබුද්දිකව මැදිහත් විය යුතුය.ෆාම් ඔයිල් වගාව, නිෂ්පාදනය හා වෙළෙඳ පොළ හැසිරවීම් ලෝක පරිමාණයේ මාෆියාවක් බවට පත්වී ඇත.ෆාම් තෙල් ද සෝයා තෙල් මෙන් යාන්ත‍්‍රිකව නිස්සාරණය කළයුතු තෙල් වර්ගයක් බැවින් ෆාම් තෙල් නිෂ්පාදනය හා වෙළෙඳ පොළ නූතන ලෝකයේ මහා පරිමාණ බහුජාතික සමාගම් සතු ඒකාධිකාරයකි.මෙම සමාගම් විසින් මහා පරිමාණ වගාවන් හා නිෂ්පාදන මගින් ඇති කර ඇති පාරිසරික බලපෑම් සහ සෞඛ්‍ය බලපෑම් ලෝක පරිමාණයෙන් අංක එකට පැමිණ ඇත. ඉන්දුනීසියාව හා මැලේසියාව තුළ නොඉඳුල් වනාන්තර ඒ සඳහා එලි පෙහෙලි කරන්නේ වර්ෂයකට හෙක්ටයාර් දස දහස් ගණනින් වේ. මෙම කැලෑ ගිනි තැබීම හේතුවෙන් ඇතිවන දුමාරය වියට්නාමය, තායිලන්තය දක්වා පැතිරුණ ලෝක පරිමාණයේ වායු දුෂණය කිරීමකට අමතරව ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට පංගුකාරයකු වූ වැවිලි බෝගයක් බවට පත්වී ඇත. ඉන්දුනීසියාවේ, මැලේසියාවේ වනගහනය අඩු වීමට හා ජලපෝෂක ප‍්‍රදේශ වියළීම මෙන්ම සමහර සතුන් ලෝකයෙන් තුරන් කිරීමට හෝ ඊට ආසන්න තත්ත්වයකට පත් කිරීමට ෆාම් වගාවන් වගකිව යුතුය. ෆාම් තෙල් වගාවන් නිසා ඉන්දුනීසියානු රයිනෝසිරස් මේ වනවිටත් වඳවී ඇති අතර මැලේසියාවේ ඔරන් ඔටන් සත්වයා වඳ වීමේ තත්ත්වයට ආසන්න වී ඇත.edifea2මේ තත්ත්වය තුළ ලෝක මට්ටමින් ෆාම් තෙල් වගාවන් සඳහා ජනතා විරෝධය තිබුණද එය තවදුරටත් පවත්වා ගෙන යෑම සඳහා ෆාම් තෙල් සමාගම් තම බල පරාක‍්‍රමය විහිදුවමින් සිටී.තම අධික ලාභ සහිත වෙළෙඳ පොළ ඉදිරියක් පවත්වා ගෙන යෑම සඳහා ලෝක දේශපාලනය සමග අත්වැල් බැඳ ගෙන සිටී. ඒ මගින් ජාත්‍යන්තරව එලඹෙන වෙළෙඳ ගිවිසුම් පවා තම වාසියට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට පවා මෙම සමාගම් සමත් වී ඇත.පොල් තෙල් යනු ශ‍්‍රී ලාංකීය අපට කප් රුකකි. පොල් ගසේ ඉවත දැමීමට කිසිවක් නොමැත. එක ගසක් තම ගෙවත්තේ වගා කොට තිබුණද එම ගසෙන් ගත හැකි සියලූ ප‍්‍රයෝජන සාමාන්‍ය ජනතාවට එයින් ලබාගත හැක. කුරුම්බා කලටි ගෙඩියේ සිට වියළි පොල් මදය දක්වා විවිධ ආකාරයටත්, පොල්මල මැදීමෙන් ලැබෙන දියරය පැණි ලෙසත් රා ලෙසත්, විනාකිරි ලෙසත් ඕනෑම පුද්ගලයකුට සාදා ගත හැකිය.පොල් ලී යනු අදටත් දේශීය දැව අවශ්‍යතාවයෙන් 08% සපුරන දැවයක් වේ. ඒ හැරුනුකොට පොල්කෙඳි, කොහුබත්, දිසිදි පොල්, පොල් තෙල්, මේද අම්ල ග්ලිසරීන් සහ ක‍්‍රියාශීලී කාබන් වැනි මහා පරිමාණ කර්මාන්ත සඳහා භාවිතා කළ හැකි අනගි ශාකයකි, වගාවකි.එහෙත් කටු පොල් ශාකය ගෙවත්තක හෝ කුඩා ගොවිපොළක ඉන්දවා පරිහරණයට ගත නොහැක. ඉන්දියාවේ හෙක්ටයාර් දහයට අඩු කටු පොල් වගාවන් පවත්වා ගෙන යෑම අසීරු බැවින් කටු පොල් වගාවන් ඉවත් කිරීමට ඉන්දියානු කුඩා ගොවිපළ හිමියන් පෙලඹී ඇත.කුඩා ගොවියන් වුවද මහා සමාගම් සතු කර්මාන්තශාලා වලට අමුද්‍රව්‍ය සපයන්නන් පමණක් වන අතර, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා මිල නියම කරන්නේ සමාගම් මිස ගොවියා නොවන්නේය. කටු පොල් ගසෙන් මහා සමාගම් සතු තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාවන්ට ඔවුන්ගේ අස්වනු විකුණනවා හැරෙන්න එමගින් වෙනත් ප‍්‍රයෝජනයක් පොල් ගසෙන් මෙන් ලබාගත නොහැක.කටු පොල් ශාක කඳෙහි දැවයද පොල් ගසේ දැවය මෙන් ශක්තිමත් දැවයක් නොවන අතර එම දැවයද ප‍්‍රයෝජනයක් ගත හැකි දැවයක් බවට පරිවර්තනය කිරීමට විශාල කර්මාන්ත ශාලා අවශ්‍ය වේ.ශ‍්‍රී ලංකාව තුළද මහා පරිමාණ සමාගම් කටු පොල් වගාව ප‍්‍රචලිත කිරීමට උත්සාහ ගනු ලබන්නේ ස්වාධීනව හැසිරෙන පරිභෝජනය සඳහා ගන්නා පොල් තෙල් වෙළෙඳ පොල ෆාම් තෙල් වෙළෙඳ පොළ බවට පත්කර එම වෙළෙඳ පොළ කොටස ඔවුන් සතු කර ගැනීමට වන්නේය.එහෙත් පොල් තෙල් සඳහා ශ‍්‍රී ලංකාවේ තිබෙන සන්ස්කෘතිකමය බැඳීම සහ ෆාම් තෙල් වල ඇති සෞඛ්‍යයට අහිතකර භාවය සහ පොල් තෙල් යනු ලොව සෞඛ්‍යාරක්ෂිතම තෙල් වර්ගය ලෙසට බටහිර වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් පිළිගන්නා වකවානුවක් තුළ, මෙම සමාගම් වල අනාගත බලාපොරොත්තු බොඳවන තත්ත්වයක් උදා වෙමින් ඇත.

එම නිසා ශ‍්‍රී ලංකාව තුළ තවදුරටත් ආනයනික ෆාම් තෙල් වෙළෙඳ පොළ රැක ගැනීම සඳහා සියලූ ආකාරයේ මැදිහත්වීම් මෙම සමාගම් විසින් භාවිතයට නගමින් සිටී.ඔවුන්ගේ මැදිහත්වීම් කොතරම්ද යත් බලයට පැමිණෙන කවර කණ්ඩායමක් සමග වුවද ඉතා කෙටි කාලයක් තුළ ඉතා ශක්තිමත් සබඳතා පවත්වා ගනිමින් රාජ්‍ය ප‍්‍රතිපත්ති පවා තම ලාභය උපරිම කර ගැනීම සඳහා උපයෝගී කරගනී.ගිය ආණ්ඩු කාලයේ මුදල් අමාත්‍යංශයේ වයසක උපදේශකයකුගේ සමීපතමයන් විසින් පවත්වා ගෙන ගිය මහා පරිමාණ තෙල් සමාගමක ලොක්කන් වර්තමාන ආණ්ඩුව සමගද ඉතා කිට්ටු සබඳතා පවත්වා ගැනීමට දැනටමත් සමත් වී ඇත. මෙම සමාගම පිරිසිදු ආර්. බී. ඞී. පොල් තෙල් විකුණනවා යන මුවාවෙන් ආර්. බී. ඞී කරන ලද ෆාම් තෙල් පොල් තෙල් සමග කලවම්කර අඩු මුදලට විකිණීමෙන් අසාධාරණ අධික ලාභයක් ලබා ගන්නවාට අමතරව දේශීය අවංක පිරිසිදු පොල් තෙල් නිෂ්පාදකයා දේශීය වෙළෙඳ පොල තුළින් ඉවත් කර වෙළෙඳ පොළ ඒකාධිකාරයක් ඇති කර ගැනීමට කටයුතු කරමින් සිටී.එමෙන්ම කොළඹ උතුර ප‍්‍රදේශයේ බේස්ලයින් පාරට යාබද ඇති මහා පරිමාණ සමාගමක් විසින් පිරිසිදු කර විකිණීම සඳහා යැයි පවසමින් ඉතා බාල වර්ගයේ ෆාම් තෙල් පිරිසිදු ෆාම් තෙල් සමග කලවම් කර විකුණන මහා පරිමාණයේ හොර ව්‍යාපාරයක් පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය නඩු මගට බැසීමට කටයුතු කරමින් සිටී.අද වනවිට ෆාම් තෙල් වෙළෙඳ පොළ ශ‍්‍රී ලංකාවේ ආහාරයට ගන්නා තෙල් සහ මේද වෙළෙඳ පොළ අංක එකට පත්වී තිබෙන්නේ ඉහත පැහැදිලි කරන ලද අශුද්ධ ව්‍යාපාරයන් තුළය.මීට අමතරව ෆාම් තෙල් යනු සෞඛ්‍ය අනාරක්ෂිතම ආහාරයට ගන්නා තෙල් වර්ගයක් බවත්, මෙම ෆාම් තෙල් ආහාරයට ගන්නා පුද්ගලයන් බෝ නොවන රෝග සෑදීමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක් ගන්නා බවට ලොව පුරා වෛද්‍ය හා පර්යේෂකයන් පවසයි.එමෙන්ම ලොවපුරා විද්‍යාඥයන් ඉතා ඉහළ පිසින උෂ්ණත්වයකදී වුවද පොල්තෙල් වල ස්ථායිතාව ඉහළ අගයක් වීම සහ එහි මධ්‍යම ප‍්‍රමාණයේ හිතකර මේද අම්ල ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක් වන අතර, ප‍්‍රතිශක්තිය වඩවන ලෝරික් අම්ලය පොල් තෙල් වල 40% තිබේ. මේ හා සසඳන කල ෆාම් තෙල්වල ඇත්තේ දිග දාම සහිත සෞඛ්‍යට අහිතකර මේද අම්ල වන අතර සෞඛ්‍යට අහිතකර පාල්මටික් අම්ලය පමණක් 40%කි.ලොව නන්දෙසින් පරිසර විනාශකාරී ෆාම් තෙල් වගාවට ඇති විරෝධය හා දිගින් දිගටම ෆාම් තෙල් වල ඇති සෞඛ්‍යට අහිතකර බව ඔප්පු වීම තුළ, ලොව අංක එකේ තෙල් නිෂ්පාදකයා වන මැලේසියාවද මෙම වෙළෙඳ පොළේ ඇති අනාගත අවින්ශ්චිතභාවය වටහා ගෙන ඇත. එම නිසා මැලේසියාව තුළ අනාගතයේ දී කටු පොල් වගාව නතර කර ඒ වෙනුවට පොල් සිටුවීමට මැලේසියානු පාර්ලිමේන්තුව තුළ තීන්දුවක් ගෙන ඇත.එම නිසා වර්ෂයකට රුපියල් මිලියන 23563 වඩා විදේශ විනිමය වැය කොට ආනයනය කර සෞඛ්‍යට අහිතකර ෆාම් තෙල් පරිභෝජනය ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප විසින් නවතා දැමිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීන්දු රජයක් ලෙස නොබියව ගත යුතුය.

Author: admin