සොබාදහමේ හඬ විශ්වයට ගෙනගිය යානි

රූපවාහිනියේ හා ගුවන් විදුලියේ වැඩසටහන්වලත්, ඒවායේ වෙළෙඳ දැන්වීම්වලත් තේමා වාදනයට, පසුබිම් වාදනයට “යානි” සංගීතාංග ප්‍රචාරය කෙරෙයි. කුඩා ළමයි අතර පවා යානි ජනප්‍රිය ය. ඔහුගේ සංගීත ඇල්බම මහත් ආශාවෙන් නරඹති. ඒ පිළිබඳ සංවාද කරති. එහෙත් මොවුන් යානි යනු කවරෙක්‌ද, ඔහුගේ සංගීතය කෙබඳුද පිළිබඳ අවබෝධයකින් පසුවේ දැයි සැක සහිත ය. එහෙයින් කාලීන අවශ්‍යතාවක්‌ සේ සලකා මේ සිදු කෙරෙනුයේ ඔහුගේ තෝරාගත් සංගීතාංග ඇසුරින් යානි සංගීතය පිළිබඳ කෙටි විවරණයකි.

“යානි” නමින් ලෝකයේ ප්‍රසිද්ධ මෙම සංගීතඥයාගේ මූලික නාමය “යානිස්‌ හ්‍රයිසොමලිස්‌” (Yiannis Hryssomallis) ය. ග්‍රීසියේ කලමාටා (Kalamata) නගරයේ උපන් මොහු මනෝ විද්‍යා උපාධිධරයෙකි. මොහුගේ නිර්මාණ සඳහා විවිධ රටවල් නියෝජනය කෙරෙන වාදන සහ ගායන ශිල්පීන් සම්බන්ධ වී තිබීම සුවිශේෂත්වයකි. විවිධත්වය තුළ ඇති වන එකඟතාව (Diversity) නමැති ලක්‍ෂණය මෙම නිර්මාණ මගින් ප්‍රකාශ කෙරෙයි. “ක්‍රොස්‌ඕවර්” (Crossover),”නව යුග” (New Age) සහ “සමකාලීන වාද්‍ය සංගීතය” (Contemporary Instrumental) මොහු කෙරෙන් පිළිබිඹු වන ශෛලීන් ය. ඇතැම් නිර්මාණ සඳහා සම්භාව්‍ය සං�වනි සංගීතඥයන්ගේ සංගීතාභාසය ලැබී ඇත. “ස්‌ටෑන්ඩින් ඉන් මෝෂන්” (Standing In Motion) නමැති සංගීතාංගය ඊට නිදර්ශනයකි. “මෝසාර්ට්‌” ගේ “K448” නමැති කන්ෂර්ටෝවේ ලය (Tempo), ව්‍යqහය (Structure), නාද මාධූර්යය සහ ස්‌වර ප්‍රසංවාද සංගති (Melodic & Harmonic Consonance) එම සංගීතාංගය හා සමානකම් දක්‌වයි. (Mozart Effect). තමාගේ සංගීතය සංකීර්ණතාව (Complexity) හෝ තර්කය (Logic) පිළිබඳ නොවන බවත් එය චිත්තවේග (Emotion) සහ සන්නිවේදනය (Communication) පිළිබඳ වන්නක්‌ බවත් යානි ප්‍රකාශ කරයි. මිනිසුන්ගේ හදවත ස්‌පර්ෂ කිරීමට හැකිවීම, ඔවුන් අනුප්‍රාණය කිරීම, යහපත් මනෝභාවයෙන් තැබීම සංගීත සංරචකයකුගේ ජීවිතාර්ථය බව ඔහුගේ අදහසයි.

අන්ටිල් ද ලාස්‌ට්‌ මුම්න්ට්‌

ඉංග්‍රීසි බසින් “අන්ටිල් ද ලාස්‌ට්‌ මුම්න්ට්‌” (Until the Last Moment) නමින් හඳුන්වා ඇති මෙම සංගීතාංගය “අවසන් මොහොත තෙක්‌” යනුවෙන් සිංහලට ගත හැකි ය. මෙම ෆියුෂන් සංගීතාංගය පියානෝ වාදක යානි සමඟ ආර්මේනියානු ජාතික වයලීන වාදක “සැම්වෙල් යර්වින්යන්” (Samvel Yervinyan) එක්‌වීමෙන් ගොඩනැඟුනකි. එකිනෙකට වෙනස්‌ සංස්‌කෘති දෙකක පිහිටි එකිනෙකට වෙනස්‌ ශෛලීන් දෙකක එකතුවකි. මිනිසාගේ උපතේ සිට අවසන් මොහොත දක්‌වා වූ ජීවිතය සංගීතාංගයෙන් සංකේතවත් කිරීමට උත්සාහ ගෙන ඇත. යානිට අනුව සංගීතාංගය මගින් ජීවිතයේ අගය ප්‍රකාශ කෙරෙයි. ජීවිතය ඉතා කෙටිය. එය ලෙහෙසියෙන් කැඩෙන බිඳෙන සුලු ය. එහෙයින් මෙය එම නමින් නම් කොට ඇත.

සංගීත නිර්මාණයකින් ප්‍රකාශිත අදහස්‌, මනෝභාව එක්‌ එක්‌ පුද්ගලයාට දැනෙන ආකාරය වෙනස්‌ ය. එබැවින් ඒවා විවිධ ලෙස අර්ථකථනය කළ හැකි ය. එහෙත් වැදගත් කාරණය නම් සංගීතඥයා විසින් තමා සිය සංගීත නිර්මාණයෙන් ප්‍රකාශ කරන දෙය එසේ ප්‍රකාශ කිරීමට යොදා ගත් අමුද්‍රව්‍ය සමඟ ගැළපෙනවාද නැද්ද යන්න යි. සංගීතාංගයේ අදහස්‌, මනෝභාව එහි නාද රිද්ම රටා මගින් ප්‍රකාශ කෙරෙනවාද යන්න යි.

අන්ටිල් ද ලාස්‌ට්‌ මුම්න්ට්‌හි ඇති සුවිශේෂත්වය නම් ඉන් ප්‍රකාශිත අදහස්‌ වඩාත් තීව්‍ර කිරීම වෙනුවෙන් වේදිකාව පිටුපසින් දර්ශන තිරයක්‌ යොදා ගැනීම යි. ආරම්භක නාද මාලා සමඟ නිරූපණය කෙරෙන නිල් පැහැ පසුතලයත්, නිල් පැහැ ජලයත් සමඟ එක්‌ පසෙකින් වේදිකාවට පතිත කොට ඇති ඉර පායා එන විට පරිසරයේ දිස්‌වන තැඹිලි පැහැයට හුරු ආලෝක කිරණ බිලිඳකුගේ උපන් මොහොත සංකේතවත් කරයි. F, E, D. A යන ස්‌වර සංඝාත මත සිදුවන පියානෝ වාදනය සමඟ සැම්වෙල්ගේ වයලීන වාදනය කුඩා බිලි¹ ක්‍රමයෙන් ළමා වයසට පැමිණ තැන තැන දුව පනිමින් සෙල්ලම් කරන අවස්‌ථාව හා අනුරූප වෙයි.

වර්ධනය කෙරෙන වයලීන වාදනය විලාපයක්‌ බඳු වන අතර නිල් පැහැ ජලයට ඉහළින් කළු වළාකුලක්‌ නැඟී එන ආකාරය දර්ශන තිරයේ නිරූපණය කෙරෙයි. ජීවිතයට පැමිණෙන විවිධ දුක්‌, කරදර ඉන් සංකේතවත් වෙයි. ඝනීභවනය වූ වළාකුලෙන් වැසි පතිත වන අතර නිල් ජලය බොර පැහැ ගැන්වී කැළඹෙන දර්ශනය ජීවිතය විවිධ ගැටුම් සමඟ පොර බදන ආකාරය සංකේතවත් කරයි. අවසානයේ වැසි වැටීම නිමාවී දවසක්‌ අවසන හිරු බැස යන සන්ධ්‍යාවක ඇති තැඹිලි පැහැ ගැන්වූ අහසත් සමඟ මඳ වශයෙන් අව පැහැ ගැන්වූ ජලය නිරූපිත දර්ශනය ජීවිතයේ අවසන් මොහොත, සැඳෑ සමය අර්ථවත් කරයි. එය අත්දැකීම් බහුල වූ වඩා පරිනත අවධියක්‌ බව කුළු ගන්වයි. භාවාත්මක නිර්මාණයක්‌ (Sentimental) වන මෙය දුක – සතුට අතර දොaලනය වන නාද රිද්ම ප්‍රකාශනයකි.

රේන් මේකර්

“රේන් මේකර්” (Rain Maker) ලෙස නම් කොට ඇති මෙම සංගීතාංගය “වැසි සාදන්නා” නමින් සිංහලට ගත හැකි ය. මෙම නිර්මාණය වැසි වැටීම අර්ථ ගන්වන්නකි. වැසි රහිතව සිටි සත්ත්වයිනට වැසි ලැබීමෙන් ඇතිවන ප්‍රීතිය සංකේතවත් කරයි. මුඛයට තබා පිඹීමෙන් හඬ උපදවා ගනු ලබන ඔස්‌ටේ්‍රලියාවේ ඇබෝරිජීනියානු ආදි වාසීන් අතර භාවිතයේ පවතින ඩිඩ්ජෙරිඩු (Didjeridu) නමැති භාණ්‌ඩය සංගීතාංගය සඳහා යොදා ගෙන ඇත. ඩිඩ්ජෙරිඩුව ආදි වාසීන්ගේ ප්‍රීතිජනක අවස්‌ථා සඳහා යොදා ගන්නා භාණ්‌ඩයකි. එබැවින් එම භාණ්‌ඩය රේන් මේකර් සඳහා යොදා ගැනීම වැසි වැටීමේ ප්‍රීතිය සංකේතවත් කිරීමට උචිත ය.

පසුබිම් රූපාවලි මගින් සංගීතාංගයේ තේමාව අරුත් ගැන්වීමට අවශ්‍ය පරිසරය සකසයි. ප්‍රසංග වේදිකාවේ පසුබිමින් දර්ශනය කෙරෙන ගින්න, කාන්තාරයේ ඔටුවන් සහිත දර්ශනය ජලය නොමැති ශුෂ්ක අවස්‌ථාව සංකේතවත් කරයි. නිර්මාණයේ ආරම්භයට වැස්‌සක්‌ වැටීමට පෙර ඇතිවන අහස ගොරවන ශබ්දය යොදා ගෙන ඇත. ඉන් අනතුරුව ඩිඩ්ජෙරිඩු හා එහි නාදය අනුව යන ගායනාංග, බොංගො බෙර හා ගෙඡ්ජි හඬ සහිත රිද්මය සාම්ප්‍රදායික ගෝත්‍රික ජනයාගේ ගායන වාදන විලාස අනුව යන්නකි. සිම්බාබ්වේ දේශයේ “ෂෝනා” (Shona) ජාතිකයන් අතර ප්‍රකට “එම්බිරා” (Mbira) නමැති සාම්ප්‍රදායික වාද්‍ය භාණ්‌ඩය යොදා ගනිමින් සිදු කරන සාම්ප්‍රදායික වාදන මේ හා සමාන වෙයි.

මෙම නිර්මාණයෙහි යෙදෙන කෙටි වාදන අංගය ක්‍රමයෙන් වැසි පොද වැටීම යන කරුණ සමඟ අනුගත යි. සැම්වෙල් යර්වින්යන් සමඟ ඇමෙරිකානු ජාතික ගායිකා “මිචෙල් අමාටෝ” (Michelle Amato) අතර වර්ධනය වන සංගීතය සුවිශේෂී වෙයි. මෙතෙක්‌ වේලා පසුබිම් තිරය මත ප්‍රක්‍ෂේපණයවූ ඇවිලෙන ගින්නෙහි දර්ශනය වෙනුවට නිර්මාණය අතරමැද වැසි වැටීමේ දර්ශනයක්‌ ප්‍රක්‍ෂේපණය කෙරෙයි. එම අවස්‌ථාවේ ප්‍රධාන සංගීතය වශයෙන් පැරගුවේ ජාතික “වික්‌ටර් එස්‌පිනෝලා” (Victor Espinola) විසින් ප්‍රීතිමත් බව උද්දීපනය කෙරෙන ගායනාංගයක්‌ ඉදිරිපත් කරනු ලබයි. ඊට සමාන්තරව කෙරෙන ට්‍රම්පට්‌ වාදන අංග වැසි වැටුනු පසු ගෙම්බන් වැනි සතුන් කෑ ගසන ආකාරය සංකේතවත් කරයි. ඩිඩ්ජෙරිඩු වාද්‍ය භාණ්‌ඩය ද සතුන්ගේ හඬවල් අනුකරණයට යොදා ගන්නා එකකි. ඒ අනුව තේමාව සමඟ ප්‍රකාශන නාද රිද්ම යෝග්‍ය අයුරින් සංයෝග වී ඇති බව පැහැදිළි ය.

කීස්‌ ටූ ඉමැජිනේෂන්

“කීස්‌ ටූ ඉමැජිනේෂන්” (Keys To Imagination) නමැති සංගීතාංගයේ අපූර්වත්වය ඇත්තේ එහි ක්‍රියාත්මක රිද්මයෙහි ය. එනිසා මෙය “පරිකල්පනයට යතුර” වශයෙන් හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් මාත්‍රා 7 න් 8 (7/8) ගමන් කරන (Seven Eight) රිද්මය ගණන් කරනුයේ 3 න් 4 වශයෙනි. එහෙත් මෙහිදී එය ප්‍රතිවිරුද්ධ ආකාරයට එනම්, 4 න් 3 වශයෙන් ගමන් කරයි. කෙසේ වෙතත් යානි මෙම රිද්මය 2/2/3 වශයෙන් ගණන් කොට පෙන්වා දෙනු ලබයි. “ඒප්‍රිල් කැප්” (Aprill Cap) නමැති ඇමෙරිකානු ශිල්පිනියගේ “ඕබෝ” (Oboe) වාදනයත් “ආර්මන් මුවිසෙසියැන්” (Armen Movsessian) නමැති ආර්මේනියානු ශිල්පියාගේ වයලීන වාදනයත් සංගීතාංගය සඳහා වෙනස්‌ වර්ණයක්‌ සංයෝග කරනු ලබයි. පුයටෝ රිකෝ (Puerto Rico) රාජ්‍යයෙහි “වෝල්ටර් රොඩි්‍රගු” (Walter Rodriguez) නමැති සමාඝාත (Percussion) වාද්‍ය ශිල්පියාගේ කොංගො සහ බොංගො බෙර වාදනයක්‌ ද ඇතුළත් මෙම නිර්මාණය ෆියුෂන් ලක්‍ෂණ ප්‍රකට කරයි.

ප්‍රිලියුඩ්

“ප්‍රිලියුඩ්” (Prelude) හෙවත් “පූර්විකාව” නමැති මෙම සංගීතාංගය සඳහා “ඩුඩුක්‌” (duduk) නමින් හඳුන්වන ආර්මේනියානු බටනලාවක්‌ යොදා ගෙන ඇත. වෙනිසියුලා ජාතික “පෙෙඩ්‍රාa එඅස්‌ටෙච්” (Pedro Eustache) විසින් එය වයන අතර වයලීනයෙන් සැම්වෙල් යර්වින්යන් ඊට සම්බන්ධ වෙයි. තුර්කියේ පූජනීය “සුෆි නේ” (Sufi Nay) සංගීතයේ භාවිත තුර්කි බටනලාවෙහි නාදය මීට සමානකම් දක්‌වයි. වියලි කාන්තාරයක්‌ බඳු පාළු, හිස්‌ ස්‌වභාවයක්‌ දනවන අනාඝාතාත්මක නාද වර්ණයක්‌ මින් �වනිත වෙයි.

නයිටින්ගේල්

“නයිටින්ගේල්” (Nightingale) නමැති මෙම සංගීතාංගය සඳහා කුරුල්ලකුගේ නාදයක්‌ පාදකව ඇත. නයිටින්ගේල් යනු “තුර්ඩිඩා” (Turdidae) පවුලට අයත් යෑයි සැලකෙන (Thrush Family) රාත්‍රී කාලයේ ගී ගයන කුරුල්ලෙකි. තමා ස්‌වභාව ධර්මයාට සවන් දෙන අතර හිරු බැසයන වෙලාවක දී අසන්නට ලැබුනු කුරුල්ලකුගේ ගී ගයන ස්‌වරය සංගීතාංගය සඳහා අත්දැකීම් වූ බව යානි ප්‍රකාශ කරයි. නිර්මාපකයා එම අදහස ප්‍රකාශ කිරීම සඳහා චීන බටනලාවත් වයලීනයත් ඔස්‌සේ චීන සංගීත වර්ණ (Flavour of Chinese Music) උපයෝගී කොට ගෙන ඇත. චීන බටනලා වාදනය කුරුල්ලාගේ නාදය ප්‍රකාශ කිරීමට ගත් උත්සාහයකි. සංගීතාංගය කුරුල්ලකු විසින් රඟන රැඟුමක්‌ චිත්‍රනය කිරීමෙහි සමත් වෙයි. ස්‌වභාවධර්මයා ඇසුරින් සංගීත නිර්මාණකරණයෙහි යෙදීම සහ එමඟින් ඇති වන සජීවීභාවයට මෙම සංගීතාංගය නිදර්ශනයකි.

වොල්ට්‌ස්‌ ඉන් සෙවන් එයිට්‌

“වොල්ට්‌ස්‌ ඉන් සෙවන් එයිට්‌” (Waltz in 7/8) නමැති සංගීතාංගයේ ඇති විශේෂත්වය නම් “චරන්ගෝ” හෙවත් “චරන්ගා” (Charango/Charanga) නමැති ඇන්ඩියානු (Andean) වාද්‍ය භාණ්‌ඩය යොදා ගෙන තිබීමයි. කුඩා ගිටාරයක්‌ වන මෙය ආර්මැඩිල්ලා නමැති සතාගේ කබොල්ලෙන් හෝ දිය ලබු වලින් සාදන අතර ද්විත්ව තත් පහකින් යුක්‌ත ය. දකුණු ඇමෙරිකානු රටක්‌ වන පේරු දේශයේ සාම්ප්‍රදායික “හුවයිනෝ” (Huayno) සංගීතයේ චරන්ගෝ වාද්‍යය භාවිත වෙයි. හුවයිනෝ යනු පේරුවියානුවන් වාසය කරන ඇන්ඩියානු කලාපයේ ප්‍රධාන සමාජයීය නර්තනය යි. මෙම නර්තනයේ ආරම්භය ස්‌වදේශික ඇමෙරිකානු නර්තන රිද්ම හා සම්බන්ධ වෙයි. පෘතුගීසි හා ස්‌පාඤ්ඤ මිශ්‍ර ලක්‍ෂණ එහි ඇතුළත් ය. ස්‌පාඤ්ඤ ජාතිකයන් විසින් හඳුන්වා දී ඇති හාර්ප්, ගිටාර්, මැන්ඩලින් වැනි තත් වාද්‍ය මෙහි වාදනය කෙරෙන අතර චරන්ගෝව ඇන්ඩියානු ප්‍රදේශයට ආවේණික වූ භාණ්‌ඩයක්‌ වශයෙන් භාවිත වෙයි. චරන්ගෝ භාණ්‌ඩය හුවයිනෝ වැසියන්ගේ ප්‍රීතිමත් භාවයේ සංකේතයක්‌ වැනි ය. එහි ලය සුවිශේෂී වනුයේ එනිසාවෙනි.

කියුබාවේ ජනප්‍රිය “සොංගො” (Songo) සංගීතයෙහි ද චරන්ගෝ භාවිත වෙයි. 20 වැනි සියවසේ මුල “චරංගා ෆ්‍රැන්සෙස්කා” (Charanga Francesca) නමින් ජනප්‍රිය වූ මෙම සංගීත රිද්ම පාර්ශ්වය වෙනුවෙන් වැඩි අවධානයක්‌ යොමු කරයි. කියුබානු වැයුම්, රැඟුම්, ගැයුම්වල චරන්ගෝ භාවිත වෙයි. මෙම නිර්මාණය “හවායන්” (Hawaiian) සංගීතය, “ඇෆ්‍රො කැරිබියන්” (Afro Caribbean) රිද්ම සමඟ අනුගත වෙයි.

උපුටා ගැනීමකි .

උපුටා ගැනීම =* විශ්වය දෑතට * Wishvaya dhathata

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *