සීගිරියේ ජාත්‍යන්තර වෙළද සංකීර්ණයක්

දිය අගල්, පවුරු, ජල උයන් හා නොයෙකුත් ගොඩනැගිලි වලින් පරිපූර්ණ මෙම පද්ධතිය අලංකාරය හා තාක්ෂණය කැටිකර ගත් සුවිශේෂී නිර්මාණයකි. එය කාශ්‍යප යුගයට පෙර සිට ගොඩනැගෙමින් පැවති පරීපූර්ණ නගරයකි. කාශ්‍යප යුගයට පෙර සීගිරිය විවිධ රටවල් පූර්ව ‍ඵෙතිහාසික අවධියේ සිටම ගණුදෙනු කටයුතු සදහා භාවිත කරන ලද ස්ථානයක් ලෙස පුරා විද්‍යාත්මක කැණීම් වලින් තහවුරු වී ඇත. 1989 – 1990 වර්ෂ වලදී දඹුල්ල නිම්නයේදී ඉබ්බන්කටුව මෙගලතික සුසානය ආශ්‍රිත සිදු කරන පුරා විද්‍යාත්මක පර්යේෂණයෙන් ක්‍රි.පූ. 800 පමණ අයත් සමාජ ස්තරයක තොරතුරු හදුනා ගත හැක. එකී සමාජය විසින් භාවිතා කරන පබළු වර්ග අතර කානේලියන් පාෂාණයෙන් නිර්මිත පබළු විශේෂයක් හදුනාගත හැකි විය.එම පාෂාණ වර්ගය ලංකාවෙන් හමු නොවන අතර එය උතුරු ඉන්දියානු ප්‍රදේශයන්ට අයත් වේ. එකී කාලය තුල එම ඛනිජයන් හෝ එම කණිජයන් වලින් නිර්මිත පබළු ලංකාවට ආනයනය කර ඇති බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත.දඹුලු සමාජය සීගිරිය දක්වා ව්‍යාප්තව පැවති බව තහවුරු වන්නේ එම අවධිය වන විට සීගිරිය තදාශ්‍රිත ප්‍රදේශයන්හි මෙවැනි මෙගලතික සුසාන සහිත ස්ථාන කිහිපයක්ම උණුලුගල, රන්ගිරිගම, බටුයාය යන ස්ථාන ආශ්‍රිතව දක්නට ලැබේ.සිගිරි පර්වතය දකුණු දිශාව පිහිටා ඇති සීගිරි නිම්නයත් කිරිය නිම්නයත් අතර කලාපයේ පිහිටා ඇති අලකොල වැව යකඩ නිස්සාරනාගාරයද මෙම ප්‍රදේශයේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම සදහා සුවිශේෂස්ථානයක් වේ.රට තුල අවශ්‍ය වන ලෝහමය අවශ්‍යතාවන් වලට මෙන්ම විදේශ රටවට මෙහි යකඩ අපනයන කර ඇති බව පර්යේෂකයන් පෙන්වා දේ.(Fooreniusand .S & Solangaarachi ,R 1984 : 120) මෙම යකඩ නිස්සාරනාගාරයට අමතරව යකඩ නිෂ්පාදනය කළ තවත් ස්ථානයක් සීගිරිය පර්වතය ආසන්නයේ දකුණු දිය අගල ආශ්‍රිතව හදුනා ගත හැක. එම උදුන් කාශ්‍යප පෙර යුගයකට අයත් වන බව පර්යේෂණ වලින් පැහැදිලි වී ඇත.
ඓතිහාසික අවධියේ දී සීගිරිය පව්ව ආශ්‍රිතව ආර්ථිකමය කටයුතු අදාළ සිදුවීම් කිහිපයක්‌ සිදුවූ බවත් එය හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ලෙස ගොඩනැඟී ඇති බව සඳහන්වන කරුණත් මහාවංශයෙ සඳහන්වේ. එහි දැක්‌වෙන පරිදි සඳහන් වන්නෙ දේවානම්පියතිස්‌ස රජු රාජාභිෂේකයේ දී “ජාත පර්වතය” පාමුලින් මතු උණුගොබ තුනක්‌ මතු අතර එවායේ විවිධ වටිනාකම්වලින් යුක්‌ත වස්‌තු සම්පත්වලින් පරිපූර්ණ වූ බවය.

(මහාවංශය පරි 11-1) වංශකථා කරුවා උපුටා දක්වන “ජාත පබ්බත” පිළිබද සදහන් ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන්නේ මේ ආශ්‍රිත පැවති කර්මාන්තශාලා වලින් තුලින් සිදු කල නිර්මාණයන් පිලිබදවය.ක්‍රි.ව.4 වන සියවසට අයත් රෝම කාසි කිහිපයක් සීගිරිය තුල සිදු කල කැනීම් වලින් හමු වී ඇත.සීගිරිය ජල උද්‍යානය තුල සිදු කල පර්යේෂනවලින් ජල උද්‍යාන පැවති භූමි පද්ධතියට පහලින් තවත් යුගයක ඉදිකිරිම් ලක්ෂණ දැක ගත හැකිය(ජයවීර, ඡේ.ඒ. ඩී. එස්‌. අංක 03 ජල උද්‍යානය කැණීම් වාර්තාව), 1991-1992 මධ්‍යම සංස්‌කෘතික අරමුදල, සීගිරිය ව්‍යාපෘතිය .මෙහි සැලැස්ම ගොඩනැගීමේදී ඇතුලත පිටත කොටස් 2ක් වශයෙන් දැක ගත හැක ඇතුලත රාජකීයන් සදහාද පිටත නගර වැසියන් සදහාද වෙන් කර ඇත.සීගිරිය තුල සිදුකල පර්යේෂණ වලින් හදුනා ගත් පුරාවස්තු අතර මැටි බදුන් ආශ්‍රිතව සුවිශේෂි කරැණු රාශියක් ඇත. මැටි බදුන් විශ්ලේෂනයෙදී දේශිය විදේශිය භාණ්ඩ 2ක් දැක ගත හැක. 2012 උතුරු දිය අගල පර්යේෂණ කැනීම් තුලින් රෝම වෙලදාමට සම්බන්ධ ඇම්පෝරා මැටි බදුන් විශේෂය හදුනා ගත හැක. උතුරැ ඉන්දියාවට අයත් මැටි බදුන් විශාල පුමාණයක් කැනීම් වලින් සොයා ගෙන ඇත.කාශ්‍යප යුගයට පසු කාලීනව මෙම ස්ථානය සංචාරකයන් පැමිණීමේ ප්‍රතිඵලයක්‌ ලෙස කුරුටු ගී ඇත. එම පද අතර සීගිරි සිතුවම් වර්ණනාවේ “චීන පටසලු” යන වැකියක් ඇත. මේ තුලින් පැහැදිලි වන්නේ සීගිරිය ක්‍රි.ව 5වන සියවසේ ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්ව සිටි බවයි. ක්‍රි.ව 5වන සියවසේ ප්‍රධාන වෙළද මාර්ගයක්ව පැවති සේද මාර්ගයේ ප්‍රමුඛ නැවත්‍රම්පලක් වූ ශ්‍රි ලංකාව වෙලදාමේදී සීගිරිය ඉතා වැදගත් ස්ථානයක් බවට පත්ව ඇත. එහි වෙලෙදුන්ගේ සුඛෝපභෝගී අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සීගිරිය සකස් කර ඇති අතර භාණ්ඩ වෙලදාමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ඇති බව පුරාවිද්‍යාත්මක සාධක වලින් දැක ගත හැකිය.

Author: admin