වසර 2175ක් පැරැණි කඩොල් ඇතුගේ දළ යුගල

අතීත යුද සටන්වලදී හීලෑ කළ සතුන් විවිධ යුද කටයුතු සඳහා යොදා ගැනීම ප්‍රමුඛ විය. රහස්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම පිණිස පක්ෂීන් යොදාගෙන තිබිණි. පක්ෂීන් දූතයා කරගනු ලැබූ සන්දේශ කාව්‍යය කිහිපයක් (සැළලිහිණි, ගිරා, කොවුල්, හංස, පරෙවි) ගම්පොළ යුගයෙන් පසුව ලියැවෙන්නේ ඒ අතීත පරිචයට සාහිත්‍යමය මුහුණුවරක් එක් කරමිනි.

අතීත යුද සටන්වලදී අශ්වයන්ටද විශේෂ තැනක් හිමි වූයේ චතුරංගනී සේනාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ නිසාය. ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවේ ඉදිරි පෙළ හා ශක්තිමත්ම අනුඛණ්ඩය වූයේ ඇත් සේනාවය. මෙරට අතීත යුද කටයුතුවලදී ඇත් අස් සේනාවන්ගේ දායකත්වය පිළිබඳ වංශකථාවේ සඳහන් වුවද මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයන් අතරින් වංශකථාවේ නාමිකව සඳහන් වන පළමු සත්වයා ලෙස හඳුනාගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතුය.

“ඒ බිසව් සුදුසු කළ පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දය ද විය. ඒ කුමරහු පුණ්‍යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අවුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ජද්දන්ත කුලයෙන් ඇත් පැටවෙකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවු ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී. ” (මහාවංසය. පරි -22, ගාථා- 59-63)

මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමු වූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කලපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්ලාගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදි කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවරු කරයි.

වංශකථා ප්‍රකාරව එළාර රජු සමඟ යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක් වූ ගැමුණු කුමරු රජ මාලිගයෙන් නික්මී එළාර රජුගෙන් රට මුදාගැනීමට සේනා රැස් කරන්නට විය. එම කාලයේ දී කාවන්තිස්ස උකුත් විය. සහෝදර තිස්ස කුමරු පිය රජුගේ ඇවෑමෙන් කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමි කරගත්තේය.

පසුව හේ තම සොයුරාට බියෙන් මෑණියන් හා කඩොල් ඇතුද රැගෙන දිගාවැවට ගිය වග මහාවංසයේ පැනේ. ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහොදරයාට හසුන් යැවුවද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹුණේය. වර්තමාන යුධගනාව දැගැබ අසලදී වූ බව කියැවෙන එම සහෝදර සංග්‍රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පත් විය. ජනවහරට අනුව තිස්ස කුමරු පැරදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කළේය. ඒ සමඟ ඔහුට මංගල හස්තියාගේ පක්ෂපාතිත්වය හිමි විය. එය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින්වේ.

අනුරාධපුර ඉතිහාසයේ සූරතිස්ස රජුගෙන් පසු ද්‍රවිඩ පාලකයන් වෙත රජරට පාලන බලය හිමි විය. සේන හ ගුත්තික යන ද්‍රවිඩ පාලකයන් වසර 20ක් ද, අසේල රජු වසර 16ක් ද ඉන්පසු එළාර රජු වසර 40ක් ද ලෙස වසර 76ක් ද්‍රවිඩ පාලකයෝ මෙරට පාලන බලය ගෙන ගියහ. යුද විරෝධී සාමකාමී රාජ ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ලක්දිව එක්සේසත් කර බුදුදහම නඟා සිටුවීමේ මෙහෙවර භාරගත් ගැමුණු කුමරුට එළාර රජු පැරදවූ දැවන්ත සටනේදී කඩොල් ඇතුගෙන් ලැබුණු සහාය මහාවංසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස අගය කර තිබේ. මහාවංසයේ 23 වන පරිච්ජේදයේ ආරම්භයේදීම කතුවරයා කඩොල් ඇතු හඳුන්වා ඇත්තේ,

“ ඒ කඩොලැත් තෙමේ බල ලක්ෂණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්‍ර වූයේ මහා කඳ ඇත් විය. ” (මහාවංසය. පරිඃ23, ගාථාඃ 1,2)

තවදුරටත් කඩොල් ඇතුගේ වීර ධීර ගුණාංග අගය කරන මහාවංස කතුවරයා,

“ගොඨයිම්බර තෙමේ මේ තට සුරාපාන නොවෙයි… යදොර හැරීමය. යව දොර බඳව”යි කීය. ඒ උතුම් ඇත් තෙමේ මන් උපදවා කුංචනාද කොට දියෙන් ගොඩ නැඟී එඩි ඇතිව ගොඩ සිට ගත්තේය. ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැඟී අතින් කුම්භස්ථලය පිරිමැද “දරුව කණ්ඩුලය. මුළු ලක්දිව රජය තට දෙන්නෙමි”යි ඒ ඇතු තුටු කරවා වර බොජුන් කවා සළුවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණ කළ මීසම් බඳවා ඊ මත්තෙහි තෙල් සම් එළවා ඒ ඇතු මෙහෙයි. ඒ ඇත් තෙමේ සෙණ හඬ මෙන් ගුගුරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස් දෙදළෙන් ලැහැලි බින්දේය. එළිපත පයින් පහලේය. දොරබා සහිත ඒ යදොර ගුගුරා ගෙන බිමහෙනි. ”

යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිටද නැඟී ද්වන්ධ සටනකට යොමු වන අතර එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදළෙන් ඇන වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත් කරන ලදි.

කඩොල් ඇතුගේ දේහය මීට සමීප පොරමැඬිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇති බව කියැවේ. එහිදී වෙන් කරගත් දළ යුගලය සද්ධාතිස්ස රජු විසින් කතරගම දේවාලයට පූජා කර ඇති බවට මත පළ වේ. ප්‍රවාදයන් අනුව කඩොල් ඇතු මිහිදන් කළ බවට අනුමාන කළ හැකි ස්ථානය වර්තමානයේ පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්‍රදේශයක පිහිටා තිබේ. එම ස්ථානය පිළිබඳ ජනප්‍රවාද රාශියක් පවතී. එනම් එම ස්ථානයේ අදටද අලි ඇතුන් ගැවසෙන බව හා කිසිදු ගසක් එම ස්ථානයේ පැළ නොවෙන බවටය.

ලාංකේය රාජ්‍යයෙන් පවා පිදීමට ලක් වූ කඩොල් ඇතුගේ දළ යුගල වර්තමානයේ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයකද යන්න මෙරට ජනයාට පවතින කුකුසකි. ඇතැමුන් සඳහන් කරන්නේ එම දළ යුවළ දුටුගැමුණු රජු ඉදි කළ මහාථූප මළුවේ තැන්පත් කර ඇති බවය. ගැමුණු කුමරු උපන් දිනයේම උප්පත්තිය ලද කඩොල් ඇතුගේ දළ යුගල තම ස්වාමියා කාලක්‍රියා කළ මහාථූපය අසල නිදන් කර ඇතැයි යන්න පිළිගැනීම සාධාරණ හේතු මත පදනම් වන බව පෙනේ. නමුත් ඒ පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය ටී.ජී.කුලතුංගයන් තම “අනුරපුර මහාවිහාරය” ග්‍රන්ථයේදී සඳහන් කරන්නේ මෙබඳු අදහසකි.

“රුවන්මැලි සෑයේ මෑතදී ප්‍රතිසංස්කරණය කරන ලද ආයක (වාහල්කඩ) දෙපස අර්ධ කවාකාර කුඩා ප්‍රමාණයේ සුදු පැහැති ගල් කැබැලි දෙකක් දක්නට ලැබේ. ඒවා කඩොල් ඇතාගේ දළ සේ සමහරුන් හඳුන්වාදීම දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම ඒවා ආයකය ප්‍රතිසංස්කරණය කිරිමේදී මට්ටම් (මිනුම්) ගැනීම සඳහා යොදාගන්නා ලද ගල් බව සැලකිය හැකිය. එම වර්ගයේ ගල් කැබලි රුවන්මැලි සෑ පන්සල ඉදිරිපිට පොකුණ කැණීමේදී හමු විය. ” (40 පිටුව)

එසේ නම් කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයක ද යන පැනයට පිළිතුරු සෙවිය යුතුය. මීළඟට අවධානය යොමු වන්නේ මුල්ගිරිගල රජ මහා විහාරය වෙතටය. එම විහාරයේ ඉතිහාසය අදින් වසර 2300කට එපිටට දිව යයි. පූජාවලියේ සඳහන් වන්නේ මුල්ගිරිිගල විහාරය දුටුගැමුණු රජුගේ පියාණන් වූ කාවන්තිස්ස රජු විසින් කරවා ඇති බවය. වංශකථාවල දැක්වෙන්නේ එය දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජු විසින් කරවා ඇති බවය. මහනුවර රාජධානි සමයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එම විහාරයට ඇත් දළ යුගලක් පූජා කර තිබේ. එය කඩොල් ඇතාගේ දළ යුගල බවටද මත වේ.ඒ බව මුල්ගිරිගල විහාරය පිළිබඳ පර්යේෂණය කර ඇති උණුව

කඩොල් ඇතුගේ දළ යුගල සොයා යන අපගේ මීළග අවධානය යොමු වන්නේ රුහැණු කතරගම මහා දේවාලය වෙතය. සුමිත් රණසිංහ විසින් රචිත “ කතරගම් පුවත” නම් ග්‍රන්ථයේදී (2011 ප්‍රථම මුද්‍රණය) කතරගම ඇසළ පෙරහරේ චාරිත්‍ර ගෙනහැර පායි. පෙරහර මංගල්‍යයේ 6 වැනි දින චාරිත්‍ර අතරට කඩොල් ඇතුගේ දළ යුගල ප්‍රදර්ශනය කිරීම ද දක්වා ඇත. එහි සඳහන් වන්නේ එදින ක්‍රියාත්මක කරන ප්‍රධාන චාරිත්‍ර 5 අතරේදී කඩොල් ඇතුගේ දළ ප්‍රදර්ශනය ද සිදු කරන බවයි.

“ගබඩාපිළි හා ගොටුමහන පිලේ නියොජිතයන්ගේ සහායෙන් දුටුගැමුණු මහරජතුමන්ගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ ඇත්දළ දෙක ප්‍රධාන දේවාලයේ දොරටුව දෙපස ප්‍රදර්ශනයට තැන්පත් කිරීමද මෙදින සිදුවේ. ” (පිටුව 84) කතරගම දේවාලය හා බැඳී ඇති ඉතිහාසය පිරික්සීමේදී අනාවරණය වන්නේ ගැමුණු කුමරු කතරගම දෙවියන් සමඟ පැවැති දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගල සද්ධාතිස්ස රජු දේවාලයට පූජා කරන්නට ඇති බවය. ඌව වෙල්ලස්ස කැරැල්ල සමයේදී එම දළ යුගල දේවාලයෙන් ගෙන ගොස් ගල් ගුහාවක සඟවා තබා පසුව නැවත ගෙනවිත් ඇති බවටද මත තිබේ.

ඇත් දළය ලෙස හඳුනාගන්නා අලින්ගේ උඩුහනුවෙන් එළියට ඇදෙන කෘන්තක දත් දෙක පිළිබඳ සලකා බැලීමේදී වර්තමානයේ දැකගත හැකි සාමාන්‍ය ඇතෙකුගේ දළ යුගලට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගල ප්‍රමාණයෙන් විශාල බව පෙනේ. එසේම වර්තමානයේ එම දළ යුගලය මදක් අවපැහැ ගැන්වී ඇත.

ඒ අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගල තැන්පත් කර ඇත්තේ කතරගම දෙවියන් සමීපයේ කතරගම දේවාලය තුළ බවය. මෙරට එක්සේසත් කිරීමට දුටුගැමුණු රජුට සහාය දෙමින් විජිතපුර බළකොටුවේ දොර අගුළු සිඳලූ ඒ විස්මිත ඇත් දළ යුගල වසරක් පාසා කතරගම පෙරහර මංගල්‍ය පවත්වන අවස්ථාවේදී සියලුම ලාංකිකයන්ට දැකබලා ගැනීමේ හැකියාව උදා වෙන බව මෙහිදී සිහිපත් කිරීම වටී.

කේ. උදේනි අරුණසිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර

Author: admin