වත්‍ථුල පර්වතයේ කථාව

එක් කලෙක සිංහල රටෙහි බැමිණිතියාසාය නම් බියක් දොළොස් අවුරුද්දක් පැවතිණි. මෙතෙක් කල් ලක්දිව වැස්ස මනාව නො වැස්සේය. එනිසා ගොවිතැන මනාව නොවැඩුණු නිසා සා බිය හටගති. නරක ආහාර ගැනීමෙන් උවදුරට පත් මිනිසුන්ට රෝ බියද හටගති.මෙසේ මිනිස්සු ඇට හා හම ඉතිරි බවට පත්වූහ. ස්ත්‍රීහු ගෙයක් ගෙයක් පාසා යකින්නන් මෙන් වූහ. පිරිමි ප්‍රේතයන් හා පිශාචයන් වැනි වූහ. ඒ ඒ දොරවල අවමඟුල් කොලාහල හඬින් හඬන්නන්ගේ විලාප හඬින් ද එකනින් කොලාහල විය. ඒ ඒ තැන මළවුන්ගේ කුණප ගඳින් රැස්වුණු අමනුෂ්‍යයන් ගේ වශයෙන් මහත් බියක් විය.මෙසේ නොයෙක් බිය වලින් උවදුරට පත් ලක්වැස්සෝ පර්වත ගංගා ආදී තැන්වලට ගොස් ජීවත් වෙති. එකල්හි වත්‍ථුල පර්වත සමීපයෙහි මිනිස්සු ඒ පර්වතය පිහිට කොට බොහෝ සෙයින් පර්වතපාදයෙහි වාසය කරති.එකල්හි පර්වත පාදයෙහි වසන ගම්වැසි එක් මිනිසෙක් තමන්ගේ මාගම සමග ජීවත්වීමට උපායක් සොයන්නේ පර්වතයට ඇවිදිමින් පර්වත මස්තකයෙහි එක් කර රුකක් දැක වාසය කරන්නෙමියි රුක ආශ්‍ර‍ය කොට ගෙදරක් කොට එහිම වාසය කරයි. ඒ කර රුකෙහි අතු තුනක් වේ. හෙතෙම ඒ අතු වලින් එකකින් ආගන්තුක සත්කාර කරන්නෙමු. එකකින් දනක් දෙමු. එකක් අපට පරිභෝගය සඳහා වන්නේයයි නියමිත කොට තමන්ට නියමිත අත්තෙහි කොළ අනුභව කරමින් එහි වසයි.ඉක්බිති එක් දිනක් එක් භික්‍ෂුවක් භික්‍ෂාචාරස්ථානයක් සොයන්නේ ඔවුන්ගේ ගෙයි දුම් දැක සංඥාවෙන් ඔහුගේ ගෙට ගියේය. ඉක්බිති ඒ පුරුෂයා එය දැක සොම්නසට පැමිණියේ..

” පුදුමයි මම මේ කර කොළ නිසා මහත් පින්කම් රැස්කරමි. ආර්යයන් වහන්සේ ද බොහෝ කාලයකින් දක්නා ලද්දාහු අභිවාදනය ද කරමියි” ගොස් තෙරුන්ගේ අතින් පාත්‍ර‍ය ගෙන පහසු තැනක උන්වහන්සේ වඩා හිඳුවා කොළ ගෙන එන්නෙමියි කරගස සමීපයට ගියේය.එකල්හි රාත්‍රිභාගයෙහි ඒ ගසේ කොළ පටන් යටත් පිරිසෙයින් දල්ලක් දක්වාම පණුවෝ කෑහ. හේ මේ ගස දැක දුකට පැමිණ දොම්නස්ව ආපසු හැරී ගෙදරට ගියේය. ඉක්බිති ඔහුගේ භාර්යාව හිස් අතින් එන ඔහු දැක”අද හිමියනි! කුමක් නිසා හිස් අතින් එන්නේදැයි ” ඇසීය. එකල්හි හේ මෙසේ කීය.පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධි වේ. නමුත් පින්මද අයට තමන් පතන දේ සිද්ධ නොවේ.”බොහෝ කාලයකින් දකින ලද ආර්යයන් වහන්සේට අද දන් සඳහා දීමට කොළයක්වත් නොලද්දෙමි. අපේ මඳපින් ඇති බව අනේ!මෙසේ ද කියා සොඳුර කරගසේ කොළයක් හෝ දල්ලක් යන හැම දෙයක්ම පණුවෝ කෑහ. ඇය එය අසා මෙසේ කීවා ය.ලොව කළ පින් ඇති සත්‍වයාට ඇතිවන ස්වභාවය මෙයයි. මුතු වෛරොඩි ආදිය පින්වතා කරා ඉබේටම පැමිණේ. මෙය ස්වභාව ධර්මයකි.පින් මද කාලකණ්ණි සතුන් විසින් බොහෝ උත්සාහයෙන් සොයාගත යුතු යම් වස්තුවක් ඇති නමුත් එය කිසියම් සැලැස්මකින් විනාශව යන්නේය.මෙසේ ද කියා දැන් කුමක් කරමුද? තෙරුන් වැඩ හිඳුවා ටිකක්වත් නොදෙන්නට නුසුදුසු යයි කියන්නී, තමන්ගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට නොදන්වා දෙමියි සිතා ලියන ආයුධයක් රැගෙන තමන්ගේ කලවා මාංශය කපනු කැමැතිව ගෙට පිවසියාය. ඇගේ සැමියා ද එසේම තමන්ගේ මස් තෙරුන්ට එසේම දෙමියි මස් කපනු කැමතිව එසේම පිවිසියේ බිරිය එසේ කරනු දැක කුමක් කරන්නේදැයි විචාළේය.ඕ මාගේ සිරුරෙහි මස් පිස තෙරුන්ට දෙමි ස්වාමීනීයි කීවාය. ඒ අසා සැමියා ද තමන්ගේ සිරුරෙහි මස් දෙනු කැමැත්තේ සොඳුර, ස්ත්‍රිය නම් ස්වල්ප නුවණ ඇත්තේ දුක් ඉවසන්ට නොහැකි වෙත්. මගේ සිරුරෙහි මස් දෙමියි කීයේය. ඉක්බිති ඔහුගේ බිරිය මස් දෙන්ට කැමතියි සැමියා ද එසේය. පුදුමයි ඔවුන්ගේ දන් දීමෙහි මහත් අදහස, කියන ලදමැයි.මෙසේ දානපතියන්ට දානයෙහිම සිත ඇලේ. මෙසේ ආධ්‍යාත්මික ශරීර මස් දෙන්න කැමැත්තා බාහිර දානය ගැන කියනුම කවරේද?

මේ දෙදෙනාම මම දෙමි මම දෙමියි සිත්නනෝ:මෙසේ ඔවුන් විසින් මස් දීමෙහි උත්සාහවත් වූ විට ඔවුන්ගේ ශ්‍ර‍ද්ධා බලයෙන් ශක්‍ර‍යාගේ පණ්ඩුකම්බල ශීලාසනය උණු විය.හේ බලන්නේ ඒ අඹුසැමි දෙදෙනාගේ පිරිසිදු ආධ්‍යාත්මික දාන අධ්‍යාසය දැන මේ බෝසත් අදහසමය යි සතුටු සිත් ඇත්තේ රත් ඇල්හාල් තිඹක් ද මුව පිඩියක් ද කළයක්ද තෙල් කළයක් ද රැගෙන මොහොතකින් ගොස් මිනිසෙකු මෙන් ඔවුන්ගේ ගෙදොර සිට මේ ගෙදර මිනිස්සු කොහි ගියාහුදැයි ඇසීය. මේ හඬ අසා අඹුසැමි දෙදෙනා ගේතුළයැයි කියමින් ගෙදරින් පිටවූවාහු ය. ඉක්බිති ඔවුනට ශක්‍ර‍යාපින්වත්නි, මේ ආර්යයන්ට දිය යුත්තක් තිබේදැයි ප්‍ර‍ශ්න කළ කල්හි,ස්වාමීනි! අපි දුප්පත් වෙමු. ආර්යයන් වහන්සේට කොහෙන් දිය යුතු දෙයක් ලබම් ද යටත් පිරිසෙයින් කොළයක්වත් නැතැයි සියල්ල කීවෝ ය. ඉක්බිති ශක්‍ර‍යා,එසේ නම් මේ සහලින් බත් පිස මේ උපකරණත් සමග තෙරුන් වළඳව්. ඉදින් මම පසුවෙම් නම් මා ගැන නොසලකා නුඹලාත් අනුභව කරව්. ඉතිරිවා කැමැති හැටියක් කරවයි කියා ඒ ආහාර අඩු නොවන සේ අධිෂ්ඨාන කොට දෙව් ලොවටම ගියේය.ඉක්බිති ඔව්හු ඒවායෙන් බත් පිස තෙරුන්ට වළඳවා ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වූයේ නො පැමිණි නිසා ඔව්නුදු අනුභව කළහ. සැළියෙහි එක හැන්දක් ගත් පමණක්ම පෙනේ. උපකරණ එසේම ඉතිරිව ඇති. ඉක්බිති ඔවුහු මේ ආශ්චර්යය දැක සතුටුව එතැන් පටන් බොහෝ භික්‍ෂු සංඝයා රැස්කරවා සත්කාර ගරුකාර කරමින් පුදමින් පර්වතපාදයෙහි මිනිසුන් හා නොයෙක් දුගී මගී යාචකාදීන්ට දිව්‍යමය ආහාර පානයන්ගෙන් සතපවා සිල් රකිමින් පෙහෙකම් කරමින් දැහැමෙන් සෙමෙන් වැස ආයු කෙළවර දෙව්ලොව උපන්නාහු ය.පින්වතුනි, ශ්‍ර‍ද්ධා බලය බලව්. අඹුසැමි දෙදෙනා ශරීර මාංස දීම සඳහා කළ දන්දීම් අදහස් පුරා ඔවුහු දානයාගේ ආනිසංස ලැබූහ. තෙපිද ශ්‍ර‍ද්ධාධුරය සේවනය කරව්.

Author: admin