ලංකාවේ ටඡ්මහල තැනූ ආදරවන්තයා

ජයමාලී කාංචනා මල්ලවාරච්චි
රණපිල කලායතනය.

යුද ගිනි දැල් මැද ආදර දෙවොල් තැනූ සීතාවක රාජසිංහයන්ගේ ප්‍රේමය සහ එහි වෘතාන්තය ඉතිහාසය තුළ සැඟවී ගිය ශෝකාන්තයකි. සීතාවක රංජසිංහන්ගේ චරිතය උඩි යටිකුරු කළ සහ එතුමා පිළිබඳ නොයෙකුත් දස දහසක්‌ ජනශ්‍රැති නිර්මාණයට හේතු භූත වූ කරුණු කාරණාවලට ප්‍රධාන ප්‍රස්‌තුතය වූයේ මේ ප්‍රේමය බව සනාථය. රට එක්‌සේසත් කළ මේ අභීත නායකත්වයට බලපරාක්‍රමයට ගැහැනියකගේ ආදරය ද යම් බලපෑමක්‌ ඇති කළා නම් ඒ ආත්මීය පුවතක්‌ වූවා නම් ඒ වෙනුවෙන් දේව මන්දිර තැනුනා නම් අද වනවිට ද අවිස්‌සාවේල්ල, අමිතිරිගල මාර්ගයේ ගුරුගල්ල පාලම අසල මේ ආදර දෙවොල මැදගොඩ පත්තිනි දේවාලය ලෙස විරාජමාන වන ආකාරය අද ද ඔබට දැකගත හැකිය.

පිය පුතුගේ රාජධානිය වූ සීතාවක රණ පවුර කිසිවකුටත් මහනුවර රාජධානියට යා නොහැකි ලෙස ඉදිවූයේ මායාදුන්න රජගේ දූරදර්ශී විඥනයෙනි. යාපනය සහ කොළඹ කොටුව හැර රටේ සියලුම භූමි ප්‍රදේශයන් අයත්ව තිබූ සීතාවක රාජධානිය අතීතයේ වල් පඳුරුවලින් වැසී ගොස්‌ ලංකාවේ රාජධානී පටුනේ දක්‌නට නොතිබීමේ හේතුව කුමක්‌දැයි නොවැටහේ.

පොසොන් මස දහතුන්වන දාට යෙදී ඇති ටිකිරි රඡ්ජුරු අස්‌ථාන බණ්‌ඩාරයන්ගේ උත්පත්තිය රට අරාජික අවධියක රාජ්‍යයත්වය සහ රට බේරා ගැනීමේ අරමුණින්ම සිදු කළ බව මූලාශ්‍රවල සඳහන් වී ඇති ආකාරයෙන්ම පෙනේ. මායාදුන්නේ රජුගේ අතිජාති කුමාරවරුන් වන තිඹිරිපොල බණ්‌ඩාර, මහ රද්දුරු බණ්‌ඩාර හා සන්තාන බණ්‌ඩාර යන කුමාරවරුන් තිදෙනා තුළ රාජ්‍යත්වයට ඇති සුදුසුකම් විරහිත ස්‌වාභාවයක ටිකිරි රඡ්ජුරු අස්‌ථාන බණ්‌ඩාරයන්ගේ මව මායාදුන්න රජුගේ අගබිසව වීම, කුමරුගේ පියා මායාදුන්නේ රජු නොවීම, මායාදුන්නේ රජු කුමරු පුත් තනතුරේ හදා වඩා ගැනීම, කුමරුගේ අතිධාවන යුද කලා හැකියාව සහ රණ ශූර ප්‍රාතිහාර්යයෙන් අවුරුදු 11 වනවිට පියා වෙනුවට කොළඹ යුද පෙරමුණට යන ටිකිරි කුමරු කුලයට බලයට වඩා දක්‌ෂතාවයට මුල් තැන දෙමින් හැට දහසකට අධික වෘත්තිමය හමුදාවක්‌ පළමුවරට නිර්මාණය කළ රජතුමා විය.

tagරජ වාසලේ නැකැත් ශාස්‌ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර විධික්‍රම සිදු කළ දොඩම්පේ ගණිතයා රාජසිංහයන්ගේ යුද සඳහා ද කාල හෝරා වෙන් කළ ගණිත ඇදුරු විය. බැරැන්ඩි කෝවිලේ නර්තනාංග පූජා අංගන සහ වතාවත්වලට මූලික වූ ඔහුගේ දියණිය මල්වතී නම් විය.

සීතාවක පළවෙනි රාජසිංහ රජු මැදගොඩ ආසන්නයේ දොඩම්පේ ගමේ ගඟ දිගේ රාජකීය අඟුලෙන් ගමන් කරන විට එක්‌ ස්‌ථානයක දිය මත අඟුල නැවතුනි. කොතරම් උත්සාහය කළ ද අඟුල සොලවන්නටවත් නොහැකි විය. ඉතා සුන්දර නදී තීරයේ හාත්පස විමසා බලන රජතුමාට ඉතා කුඩා සුන්දර දෙවොලක්‌ දක්‌නට ලැබිණි. රජු දොවොල වෙත පියමැන්නේය. එහි පහන නිවී ගොස්‌ තිබිණි. රජු පහන දල්වා දොවොල ආලෝකමත් කරන විටම අඟුල ලිහිල් විය. මෙය රජුගේ සිතට තදින් බලපෑ සිද්ධි දාමයක්‌ වූ අතර එතැන දේව මාලිගයක්‌ තැනවීමේ ආශාවක්‌ රජ තුළ පහළ වී තිබිණි. දොඩම්පේ ග්‍රාමයේ රජුගේ බැඳියාවේ ඇරඹුම මේ සිද්ධියත් සමඟ තවත් වර්ධනය වන්නට විය.

මෙම ස්‌ථානයත්, බැරැන්ඩි කෝවිලත්, ගණිතයා හමුවීමට රජු දොඩම්පේ ග්‍රාමයට පැමිණීමත් යන කාරණාවලදී මල්වතිය ද රජුගේ ඇස ගැටෙන්නට විය. බැරැන්ඩි කෝවිලේ නර්තනාංගවල ප්‍රධාන නලඟන මල්වතිය බව ජනප්‍රවාදයේ එයි. ඇගේ සුන්දරත්වයට ගැයුමේ රැඟුමේ සුන්දරත්වයත් එක්‌වීමෙන් රජුගේ සිත ඈ කෙරෙහි ඇදී යාමට තවත් හේතු කාරණාවක්‌ වන්නට ඇත. මෙම දේවාල සහ පුද භූමිය රජු සහ මල්වතියගේa හමුවීම නිරන්තර සිදුවූ ස්‌ථානය මෙන්ම නොනවත්වා පැවැති යුද වාතාවරණයක ගණිතයාගේ ශාන්ති කර්ම සහ නැකැත් වේලාවන් සඳහා රජුගේ අවධානය ඔවුන්ගේ මිත්‍රශීලිභාවයත් අතර මෙම ආදර කතාව ද නදියක්‌ සේ නිහඬව ගලායන්නට ඇත. රජ වාසල තුළ රජු සිහසුන මත සර්ව ආභරණයෙන් විරාජමානව සිටි අවස්‌ථාවන් පළවන රාජසිංහ චරිතය තුළ ඉතා අල්ප වූ අතර එතුමාගේ රණකාමිත්වයත් රණභූමි සහ යුද කඳවුරු අසල එතුමාගේ ජීවිත කාලය ගෙවී ගිය ආකාරයත් මූලාශ්‍රවල එයි. කූතෝ, ක්‌ව්රෝස්‌, රොබයිරෝ ආදීන්ගේ වාර්තා අනුව රජතුමා පාට කරන ලද සිනිඳු කපු රෙද්දකින් හිස ආවරණය කර කොණ්‌ඩය උඩට බැඳ උරමාල දෙකක්‌ සහ නළල් පටයක්‌ සමඟ යටිකය ඇඳුමකින් පමණක්‌ ඉතා සරලව සැරසී සිටි ආකාරය ඇසින් දුටු වාර්තාවලින් පැවැසේ. ඉහළ සහ පහළ කුල වලටත් එකසේ සැලකූ රජු රටේ ජනතාවගේ දේවත්වයට ජීවත්ව සිටි කාලය තුළදීම පාත්‍ර වෙමින් රාසින් දෙයියෝ යන විරුදාවලියෙන් පිදුම් ලද්දෝය.

මල්වතීගේ ආදරය ටිකිරි රඡ්ජුරු බණ්‌ඩාරයන්ගේ ජීවිතයේ තවත් හැරවුම් ලක්‌ෂයක්‌ වනුයේ එය රාජ සම්ප්‍රදායට පටහැනි කුලයට එකඟ නොවන කාරණාවක්‌ බැවිණි. එතෙක්‌ නොකඩවා පැවතුණු කීරවැල්ලේ රජු පෙළපතේ කුමරියන් අගබිසව් කරවීමේ කාරණාව අත්හැර නැකැත් කුලයේ මල්වතී කුමරිය අගබිසව කර ගැනීමේ සියලු රාජ සම්ප්‍රදායන්ට පටහැනි විය. මල්වතිය සහ ඇගේ ප්‍රේමයත් රජුගේ බැඳීමේ තරමත් ඉන් ගම්‍යමාන අතර රජට අන්තඃපුරයක්‌ තිබුණු බවට කිසිදු සාක්‌ෂියක්‌ නැත.

මල්වතිය අගබිසව වී සීතාවක මාලිගයට පැමිණීමත් එතුමියගේ කුස තුළ සීතාවක ඊළඟ උරුමක්‌කරු පිළිසිඳ ගැනීමත් සිදුවන අතර උඩරට පළමුවන විමලධර්මසූර්ය රජවීම සඳහා කැරලි සහ යුද ඇතිවීමත්, කෝට්‌ටේ දේශපාලනික කුමන්ත්‍රණයත්, පරංගීන් කොළඹ කොටුවට ගාල් කිරීමත්, දරුණු යුද නිරන්තර ඇවිළීමත්, රාජ මාළිගය තුළ ඇතිවූ අස්‌ථාවරභාවයන් සහ රජුගේ ජීවිතයට සතර දිශාවෙන්ම ඇතිව තිබූ යුද හඬගැසීම් මධ්‍යයේ මල්වතිය තම ප්‍රේමය රජු කෙරෙහි

රැඳවීමට සමත් වූවාය. ඇගේ ඉවසීමත් ධෛර්යයත් රජුට මේසා බරපලතළ සංග්‍රාම දියත් කිරීමට නිරන්තර හේතුවක්‌ වන්නට ඇත.

උඩුගම්පොල සියනෑ කෝරළය ගල්ගමුව, රැකෝගම, විජිතපුර, කැලේගම, මහව ආදී පරංගි බලකොටු බිඳ හෙලා හේවාගම් කෝරළය ආදී රට වට කර පරංගි කඩුගාමින් සංහාරය කළ රජුට එවැනි කිසිදු ස්‌ථානයකදී බිසවවරු හෝ ඊට සම්බන්ධ ජනකතා පටබැඳී නැත. රජුගේ රණශූරත්වය විනා මල්වතියගේ ආදරය හැර කිසිවක්‌ රජුගේ ජීවිතය පුරා පැවතී තිබූ බවට කිසිදු සාක්‌ෂියක්‌ අතීතය තුළ සැඟවී නැත.

එමෙන්ම රජු ස්‌ත්‍රීන්ට ඉතා ගෞරව කළ රජ කෙනෙකි. දරුවන් 21 දෙනෙක්‌ ලත් නල්ලි අම්මාට පින්නහේන ගම ලබාදී අමුණු 12 ක්‌ ලබාදීම, රජුට කලුකච්චි වියා දුන් ස්‌ත්‍රියකට රත්‍රන් වැඩදාපු හැට්‌ට, තැල්ල, රන්කූරු, චන්ද්‍ර මණ්‌ඩලී ඉන්ද්‍රගෝපි යන නම්බුනාම දී ඇති අතර විටෙක ඔත්තු ලබාදුන් ගැහැනුන් විසි දෙනකුට තෑගි බෝග සහ ඇතුන් ලබාදී ස්‌ත්‍රීන්ට ගරු නම්බු ලබාදුන් ආකාර පිළිබඳ මූලාශ්‍රවල එයි. මේ අනුව ස්‌ත්‍රීන් කෙරෙහි රජුගේ මනෝභාවය ඉතා උත්කෘෂ්ඨ බව සාක්‌ෂි සපයයි.

මල්වතියට සහ දරුවාට රජු දක්‌වන සෙනෙහස හොඳින් දැන හඳුනාගත් සතුරා ඉතා සූක්‌ෂ්ම විය. රජු වියරු වට්‌ටවා දේශපාලනික යුද වාතාවරණය තුළ රජුගේ ක්‍රියාකාරකම් ඌන කිරීමට හොඳම තුරුම්පුව රජුගේ ප්‍රේමය බිලිබා ගැනීම බව උන් දැන සිටියහ. දෙවනගල රතනසාර නමැති ගනින්නාන්සේ මීට මූලික වූ අතර පෘතුගීසීන් ලවා රජුගේ එකම පුතු කුඩා දහම් කුමාරයා මැරවීමේ උපක්‍රමය රතනසාරට සාක්‌ෂාත් කර ගැනීමට හැකි විය. පුත් කුමරා මියයැමෙන් මල්වතී බිසව් ඉතා දරුණු ලෙස ශෝක වූ අතර ඇගේ ශෝකය කිසිවිටෙකත් ඈ හැර නොගියේය. ඇය දිනෙන් දිනම රෝගාතුර වූ අතර කොතරම් උත්සාහ කළ ද රාජ වෛද්‍යවරුන්ට මල්වතියගේ ප්‍රාණය නවතා ගැනීමට නොහැකි වූ අතර පළවැනි රංජසිංහයන්ගේ ජීවිතයේ එක්‌ පැතිකඩක්‌ මෙසේ ඔහුට අහිමි විය. දස දහසක්‌ රට වැසියන් පීඩිත දුකින් ගලවා ගත් මේ අසහාය විරුවාගේ එකම සැනසීම දෛවය විසින් උදුරා ගත් අතර සතුරාගේ අරමුණු රජු අකර්මණ්‍ය කිරීම වුවද සිදුවූයේ රජු තව තවත් වියරු වීමය.

තම දේවිය සහ පුතුගේ මරණයට සම්බන්ධ සියලු දෙනාටම රජුගේ ප්‍රතිපත්තිය ඉතා දැඩි විය. රජුට වූ අසාධාරණය සඟවන සතුරන් රජු බුද්ධාගම විනාශ කරන බවත් රජුගේ යක්‌ෂාවේෂය රට තුළ ප්‍රසිද්ධ කරවමින් හානිකර කටකතා පතුරවන්නට විය. කීර්ති නාමයට කැළල් ඇති කරමින් ඒවා මූලාශ්‍රගත කරමින් වැරදි අර්ථ කථනයක්‌ ඇතිකරවීමට උන් උත්සුක විය.

රට එක්‌සේසත් කිරීමේ අරමුණ මේ කිසිදු හේතුවක්‌ නිසාවත් රජුගෙන් වියකී නොගිය අතර සියලු මානසික ලතැවුල් මැද ද රජු රණබිමට අවශ්‍ය දායකත්වය සැපයූ අතර පරංගීන්ට හා ස්‌වදේශික සතුරන්ට රජුගෙන් ගැලවීමක්‌ නොවීය. ගනින්නාන්සේලා සහ සතුරන්ට මල්වතියගේ වියෝවීම ඉකුත්වීම සමඟ රජුගෙන් ලත් වියරුව, කෝපය රජ තුළ බිසවට ඇති ප්‍රේමය සඳහා ප්‍රබල සාක්‌ෂියකි. එමෙන්ම ඇයගේ ප්‍රේමයට නින්දගම වූ මැදගොඩ කුඩා දෙවොල ඇගේ මතකය සනිටුහන් කිරීමට සුදුසුම ස්‌ථානය බව රජු තීරණය කළේය.

සීතාවක රාජ්‍ය කාලය සන්නස අනුව රජු තම දේවිය සිහිවීම පිණිස මැදගොඩ වහ වහා දේවාලයක්‌ තනවන ලෙස වික්‍රමසිංහ මුදලිට දැනුම් දුන් ආකාරය මෙසේය. “මේ ප්‍රස්‌ථාවේදී ශකවර්ෂ එක්‌වා දහස්‌ පන්සිය දසවැන්නෙහි පොසොන් පුර ගුරු දින රාජසිංහ මහරජාණන්ගේ දොඩම්පේගේයි මල්වතී අග්‍ර බිසෝ අදහසින් කලුරිය කළ බව ද ඒ දුක්‌ඛදායක වත්මා නම් සිහිපත් කරන්නට දෙහිගම්පල කෝරළයේ මැදගොඩ ගමේ පත්තිනි දෙවියන්ට කැපකිරීමට දේවාලයක්‌ වහ වහා කරවන මෙන් දියගුසිලු වික්‍රමසිංහ මුදලියාරුන්ට අණ කළ බව ද සිහිපත් කළ යුතුයි.”

මෙහිදී වහ වහා අණ කිරීමෙන් පෙනී යන්නේ තම බිසවගේ ඇවෑමෙන් මාස තුනකට පෙර දේවාලය සාදා නිම කළ යුතු බවයි. යුද පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක්‌ වන රජුගේ විශ්වාසවන්ත මික්‍රමසිංහ මුදලිට මෙම කාර්ය පැවරීමෙන් රජුට අඩුපාඩුවක්‌ව නැතිව රැජනගේ සිහිවටනය නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය මැනවින් පිළිඹුබු වෙයි.

මැදගොඩ පත්තිනි දේවාලය හුදෙක්‌ පත්තිනි දේවාලයක්‌ම පමණක්‌ නොවන අතර එය එක්‌ රජවරයකුගේ ආදරයේ සදාතන සිහිවටනයක්‌ බව දන්නේ කවුරුන්ද? යුද ගිනිදැල් මත ඉදිවන දේවාලය රජ මෙහෙසිය තම සුන්දර කාලය ගෙවා දැමූ දොඩම්පේ ගමේ කුඩා දේවාලය බරැන්ඩි කෝවිල මෙන්ම ඇගේ මරණින් පසුවත් සුව පහසුව ඇයගේ ආත්මයට සුවසේ හිඳීමට විසල් දෙවොලක්‌ නිර්මාණය කරන රජවරයා දේවියගේ ආභරණ එහි තැන්පත් කරනුයේ තමන්ගේ ද ආභරණ කිහිපයක්‌ සමගිනි. ඒ ඇය කිසිවිටෙකත් තනි නොවන බව කියාපාමිනි.

ශකවර්ෂ එක්‌වාදහස්‌ පන්සිය දසවැන්නේ බිනර පුර දොළොස්‌වක්‌ ලත් දිනදී දේවාල සන්නස බර දෙන අතර දිග්ගේ, හඳුන්කුඩම, පහළ මාළිගාව, ඉහළ මාළිගාව, මුරුතැන්ගේ, පිටත වාහල්කඩ, පහත වාහල්කඩ, උඩ මළුව, පහත මළුව, වැඩමවන මළුව, සපු මළුව, ආදී සියලුම ප්‍රධාන අංගයන්ගෙන් සමන්කෘත දේව මාළිගය ඉදිවිය. මේ කාරණාවෙන් පසු රජුගේ හදවත තව තවත් දැඩි වූ අතර දැඩි නීති රීති, යුද මෙහෙයුම් රට එක්‌සේසත් කිරීමේ කාරණාව මිස රජුගේ මනෝභාවය වෙන කිසිදු හේතුවක්‌ සම්බන්ධයෙන් සමීප නොවූ අතර වෙහෙර විහාර තිස්‌පස්‌කට්‌ටුවකට අධික දේවාල, හතළිස්‌ කට්‌ටුවකට අධික අංගම්මඩු, ඉලංගම්මඩු, නවීන තාක්‌ෂණික යුද අවි තුවක්‌කු නිර්මාණය වූ අතර සීතාවක රාජධානිය නිර්මාණය වූ අතර රට ජාතිය මෙන්ම ශාසනයට ද මහත් සේවයක්‌ කළ රජු පරංගීන් රට කොණටම පන්නා දැමූ අවසන් මොහොතේ දේශයේ පාපතරයන්ගේ කෲර කුමන්ත්‍රණයකට ලක්‌වන අතර එය රටේ අවාසනාව විය. රජ සැප නොවිඳී රජවරයකු වූ පළවෙනි රාජසිංහ ටිකිරි කුමාර රඡ්ජුරු බණ්‌ඩාරයන්ගේ රාජ චරිතය වීරත්වය අතික්‍රමණය කළ බල පරාක්‍රමයත් කෘතවේදිත්වයත් එනිසාම දේවත්වයෙන් පිදුම් ලැබූ වීර චරිතයක්‌ විය.

(අජන්ත මහන්තාරච්චි විසින් සම්පාදිත සීතාවක රාජසිංහ රාඡ්ජකාලය ඇසුරිනි.)

උපුටා ගැනීම -http://divaina.com

Author: admin