රාජා ඇතා ගැන නොවැසූ කතාව

ඇසළ මාසයේ දී ශ්‍රී ලංකාවේ ජාතික, සංස්කෘතික සම්ප්‍රදායික ප්‍රෞඪත්වයේ කැඩපත බඳු වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්ලය මහනුවරදී පැවැත්වෙයි. ඇසළ පෙරහර දළදා පෙරහර, නාථ, විෂ්ණු, කතරගම පත්තිනි යන සිව් දේවාල පෙරහර සමගින් පෙරහර 5කින් සමන්විත වෙන අතර දින 10ක් පුරා කුඹල් හා රන්දෝලි පෙරහර දහයක්ද දිය කැපීමේ පෙරහර හා අවසානයේ දවල් පෙරහර යන ලෙස පෙරහර 12කින් පෙරහර මංගල්ලය අවසන් වේ.

පෙරහරේ වැදගත්ම අංගය වන්නේ දළදා පෙරහරේ කරඬුව වැඩම කරවීමයි. කරඬුව වැඩම කරන හස්ති රාජයා අන් සියලුම හස්තීන්ට වඩා විශිෂ්ට වාසනාවන්ත පිංබර හස්තියෙක් වෙන්නේය.

මෙතෙක් ඉතිහාසය තුළ වසර 50ක් පෙරහරට සම්බන්ධ වෙමින්ද වසර 37ක් දළදා කරඬුව වැඩම කළ ‘රාජා ඇතා’ ඇතුන් අතර විශිෂ්ටයෙක් විය.
ඇතුන් අතර සද්ධන්ත කුලයේ ඇතකුට සරිලන අංග 5ක් පොළොව ස්පර්ශ කිරීමද කරඬුව වැඩම කිරීම සඳහාම පිටකොන්ද උස්ව පිහිටා තිබීම මෙන්ම දළ දෙකද වක්‍රව පිහිටීම මේ රාජා ඇතාගේ තිබුණු සුවිශේෂී ලක්ෂණ විය.

ඇතාගේ තිබුණු බුද්ධිමත්භාවය, හික්මීම, ගමන් කිරීමේ ලතාව ආදී විශේෂ ලක්ෂණ අදටත් මහනුවර ජනතාව සිහිපත් කරනුයේ මහත් අභිමානයෙනි. දළදා පෙරහරේදී කරඬුව වැඩම කිරීමේදී රාජා විසින් දක්වන ලද සංයමයත් ගාම්භීර උදාර විලාශයත් නිසා එකල පෙරහර නැරැඹූ දේශීය හා විදේශීය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ගෞරවාදරයටත් ප්‍රශංසාවටත් ලක්විය. රාජා ඇතා පාරේ ගමන් කරන විට ඇතාට වැඳීමට පවා මිනිස්සු පුරුදුව සිටියහ.

රාජා ඇතා සමඟ කන්දා නමින් තවත් ඇතෙකු 1937 ජුලි 31 වන දින දළදා මාළිගයට පූජා කර ඇත්තේ ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩා මාම්පිටිය දිසාව විසිනි. පූජා කෙරුණු වසරේ සිටම දළදා පෙරහරට එක්වුණු රාජා ඇතා වයස අවුරුදු 24ක නාඹර ඇතෙක් විය. 1986 අසනීප වන තෙක්ම දළදා පෙරහරේ ගමන් කර ඇති රාජා බොහෝ විට තමන් සමඟ එකට පූජා කෙරුණු කන්දා ඇතා සමඟ සමීප සම්බන්ධයක්ද විය.

රාජා කරඬුව වැඩම කරන විට ඔහුගේ දෑලේ ගමන් සගයා වූයේ කන්දාය. එකම ඇත් පන්තියේ ගාල් කිරීමත් දෙදෙනා එකට ගමන් කිරීමත් එකල සුලබ සිද්ධියක් විය. කෑම සොයා යෑමද දෙදෙනා එකටමය. මගේ මතකයට එන්නේ අප ගම් ප්‍රදේශය වන මහනුවර සිරිමල්වත්තේ අලි ඇතුන් විශාල සංඛ්‍යාවකට නවාතැන් පොළවල් තිබීමයි. රාජා හා කන්දාද එකල සිරිමල්වත්තේ ඇත් ගාලක විය. ඇත් ගොව්වන් විශාල ප්‍රමාණයක් ජීවත්වීමද ඇත් ගාලවල් තිබීමට හේතුවක් විය.

රාජා ඇතාගේ තිබුණු සුවිශේෂිත්වය කියාපාන කතා ගණනාවක් ගෙනහැර දැක්විය හැක. දළදා අවසන් මහා පෙරහරේදී කරඬුව වැඩම කරවන ඇතා රන්සිවි ගෙය තුළින් ගමන් කරවීමත් පාවඩ එළීමත් සිදුවේ. රාජා ඇතා පෙරහරේ ගමන් කරන විට පාවඩ එළීම පරක්කු වුණොත් එකතැන හිඳ පාවඩය එළන තෙක්ම බලා සිට පාවඩය මතම කකුල් තැබීම දළදා හාමුදුරුවන්ට කරන ගරු ගාම්භීර භක්ති පූජාවකි.

කරඬුව වැඩම කිරීමේදී ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ අවස්ථා ගණනාවක් වේ. එක් අවස්ථාවක පෙරහරේ ගමන් කරමින් සිට එක්වරම එක අඩියක්වත් ඉදිරියට නොතබා නිසොල්මනේ සිටි විට ඇත්ගොව්වන්ට පෙනී ගියේ කරඬුව ඇතාගේ සිරුරට බැඳි පටිය කැඩී ඇති බවයි. එදා රාජා තව අඩියක්වත් ඉස්සරහට තැබුවා නම් කරඬුව බිම වැටීමට ඉඩ තිබූ බවයි.

තවත් අවස්ථාවක රාජා කටුගස්තොට අලි නාවන තොටේදී කුලප්පු වී ඇත.

එදා ඒ අලි නාවන තොට අද පොල්ගොල්ල ජලාශය නිසා යටවී ඇත. රාජා කුලප්පු වී පැය ගණනාවක් තිස්සේ දඟලමින් එහෙත් කිසිවකුට හිංසා නොකරමින් ගඟටම වෙලා සිටියත් හවස ඇතා බඳින තැනට යාමට පාර දෙසට දුවන්නට විය. ඇත් ගොව්වන්ද එයට ලැහැස්තිව සිට ඇතා පාරට ගෙනවිත් පාර දිගේ ඇතා දිවගෙන යනවිට පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් පාරේ සිටින අයට අයින් වීමට දන්වන ලදී.

මෙසේ යන අතරමඟ නවයාලතැන්න ප්‍රදේශයේදී කකුල් දෙකම පණ නැති යාචකයකු අත් දෙකින් වාරු ගනිමින් ඇවිද එමින් සිට ඇති අතර කිසිවකුට කර කියා ගන්නට දෙයක් නොවුණු බවත් එම යාචකයා මේ තමන් ඉදිරියට එන්නේ දළදා කරඬුව වැඩම කරන රාජා ඇතා බව දැන අත් දෙක ඔසවා වැඳගෙන සිටි බවත් එක්වරම රාජා හොඬවැලෙන් ඔහු ගෙන පාර අයිනේ කණ්ඩිය උඩින් තබා ගිය බවත් කියැවේ. කොපමණ මඳ වැටී තිබුණත් කිසිවකුට හිංසා කිරීම රාජාගේ පුරුද්ද නොවේ.

1959 මහ පෙරහර දින ඇතිවූ අලි කුලප්පුව මහනුවර ඇසළ පෙරහරේ අමතක නොකළ හැකි සිද්ධියකි. ‘14ක් මළා 1000ක් තුවාලයි’ පෙරහරට පසු දින ජනතා පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. අවසාන මහ පෙරහර දළදා වීදිය දිගේ ගොස් යටිනුවර වීදියට ඇතුළු වුණ ගමන් පෙරහරේ ගමන් ගත් අලියෙක් කුලප්පු වී මහත් කලබලයක් ඇති කළේය. අලියා මෙල්ල කර ගැනීමට නොහැකිවීම නිසා අවසානයේ අලියාට වෙඩි තබන ලදී.

යටිනුවර වීදියේ ‘අලි මුඩුක්කුව’ නම් පටුමග එසේ හඳුන්වනුයේ අලියා එම පටුමගේදී වෙඩි වැදී මිය යාම නිසායි. මේ අලි කුලප්පුව නිසා පෙරහර නැවතී ගමන් කළ සියලු දෙනා හිස් ලූ ලූ අත දිව යන්නට වූ අතර පෙරහර බැලීමට පැමිණි පිරිස්ද හිරවෙවී ආරක්ෂක ස්ථාන සොයා යන්නට වූහ.

මේ වෙලාවේ කරඬුව වැඩම කළ රාජා ඇතා එදා පොරෝලිස් ප්‍රනාන්දු ආයතනය (අද බේක් හවුස්) අසල ගසක බඳිනු ලැබිණ. විශාල කලබැගෑනියක් සිදුවුවද රාජා නිසොල්මනේ ගහට හේත්තු වී තමන්ගේ සුවිශාල රාජකාරිය වන කරඬුව ආරක්ෂා කිරීමෙහි යෙදී සිටියේය.

රාජා ඇතාගේ තිබුණු තවත් සුවිශේෂී දක්ෂතාවකි වෙනත් අලි ඇතුන් මෙල්ල කිරීම. ඉන්දියාවෙන් දළදා මාළිගයට පූජා කෙරුණ ඇතෙක් පෙරහරේ ගමන් කරමින් සිට එක්වරම කුලප්පු විය. වාසනාවට මෙන් එම ඇතා ක්වීන්ස් හෝටලය හා හැටන් නැෂනල් බැංකුව අසල වටරවුමේ ඇති ගසට හේත්තු කර එම ගසේ බැඳීමට ඇත් ගොව්වෝ සමත් වූහ. පෙරහර අවසන් වී ගෙවැදුණත් එම ඇතා එතනින් රැගෙන යාම අසීරු විය.

අවසානයේ රාජා ඇතා එතනට ගෙනවිත් කුලප්පු වූණ ඇතාට හොඬවැලෙන් පහර කීපයක් දුන් අතර ඇතා වෙව්ලමින් එතනම බිම වැතිරුණේය. ඒ අවසරයෙන් කකුල්වලට මාංචු දමා ගසෙන් ලිහා රැගෙන යන ලදී. රාජාට ඉදිරියෙන් එම ඇතා වෙව්ල වෙව්ලා ගිය හැටි අද වුවද මතක් වේ. මෙදිනම වූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ එදා පෙරහරේ පෙරමුණේ ගිය අලියා පෙරහර පිටත්වීම සඳහා තබන ලද දෙවන වෙඩිල්ලේ ශබ්දයට එක්වරම කලබල වී පදික වෙළෙන්දෙකු එතැනම පාගා දැමීමයි.

තවත් අවස්ථාවක 1973 දී පමණ රාජා ඇතා හදිසියේම මාළිගාව ළඟින් ගිය ලොරියක් දැක එයට පහරදී කලබලකාරී තත්ත්වයක් ඇතිවිය. (ඇතාට අතීතයේ ලොරියක් තම ඇඟේ හැප්පීම මතක්වීම එයට හේතුවක් වූ බව ප්‍රකාශ විය) රාජා විසින් එවක මහනුවර තැන්නේකුඹුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මාළිගාව මිදුලේ තිබුණු මාළිගාව දෙසට බරව තිබුණු පොල්ගස් දෙකක් පාර දෙසට පෙරළන ලදී. මාළිගාව දෙසට පෙරළීමට තිබුණත් මාළිගාවට ඇති ගෞරවය නිසයි පාරට පෙරළන ලද්දේ. පාරට වී පොල් අතු කමින් කිසිවකුට ළඟට යාමට නොදී පැය ගණනාවක් තිස්සේ එකම තැන රැඳී හුන් රාජා මෙල්ල කිරීමට හැකිවූයේ එවක දියවඩන නිලමේ වූ හීන් බණ්ඩා උඩුරාවන මහතා කොළඹ ගොස් හවස 3.30ට පමණ ආ පසුයි.

දියවඩන නිලම තුමා කාරයෙන් බැස හකුරු සමඟ කෙසෙල් ගෙඩිද සමඟ හෙමින් හෙමින් ඇතා ගාවට කිට්ටු විය. මෙතෙක් වේලා දඟලමින් සිටි රාජා හොඬවැල උස්සා නිලමෙතුමා ළඟට පැමිණ ඔහු අත ඇති හකුරු හා කෙසෙල් ගෙඩි කෑමට පටන් ගති. නිලමෙතුමා ඇතාගේ හොඬවැල අතගාමින් මෙල්ල කරගත් අතර ඇත් ගොව්වන් විසින් ඇතාට මාංචු දමා එතනින් රැගෙන යනු ලැබිණ. තම ස්වාමියා පිළිබඳ රාජාට ආදර භක්තියක් තිබුණු බව එයින් පෙනී යයි.

ඇසළ පෙරහර ගෙවදීමෙන් පසු රාජා දළදා මාළිගයෙන් පිටවන්නේ දළදා මාළිගයට වන්දනා කිරීමෙන් පසුවයි. දවල් පෙරහර අවසාන වී දළදා මාලිගයට වඳින විට රාජා ඇතාගේ ඇස්වලින් කඳුළු කැට කඩා හැලීම ඔහුගේ හදවතේ තිබුණු ශෝකය ප්‍රකාශ කිරීමකි.

රාජා ඇතා තරම් දළදා කරඬුව වැඩම කළ වාසනාවන්ත පින්බර ඇතෙකු තවත් නැති තරම්ය. රාජා ඇතා ජාතික වස්තුවක් ලෙස ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් විසින් 1986 දී ප්‍රකාශයට පත් කරන ලදී. තැපැල් දෙපාර්තමේන්තුව විසින් රාජා ඇතා සිහි කිරීමට 1989.12.12 දින මුද්දරය සහිත මුල් දින කවරයක් නිකුත් කරන ලදී.

1988 ජුලි 16 වන දින ඇතා මිය යාමත් එක්තරා දෛවෝපගත සිද්ධියකි. ඇසළ මාසයකම දළදා මාළිගයට පූජා කෙරුණු රාජා ඇසළ මාසයේදීම එනම් පෙරහර මාසයේදීම මිය යාම. වයස අවුරුදු 75ක් රාජාගේ වයස ලෙස සඳහන් විය.

රාජා මිය යාමත් සමඟ නවීන තාක්ෂණ ක්‍රම උපයෝගි කර ගනිමින් දළ දෙක, හිස් කබල හා ශරීරයේ කල්පවතින කොටස් උපයෝගී කර ගනිමින් ජීවමාන ස්වරූපයෙන් ඇතා ප්‍රතිනිර්මාණය කර ඇතා පරිහරණය කළ සියලුම ඇඳුම්, පලඳනා, උපකරණ හා මෙවලම් සහිතවද විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූපද සමඟ රාජා කෞතුකාගාරය පිහිටුවා තිබීම රාජා ඇතා කළ උතුම් බුද්ධ පූජාවට උපහාරයක් මෙන්ම රාජා ඇතාට කරන ලද ගෞරවයකි.

Author: admin