මෛත්‍රී බෝසතුන්

කුෂාණ යුගයේ මෛත්‍රී බෝසත් පිළිමයක්

මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා කීපයක්ම මීට කළින් සටහන්වලිනුත් කතා කළා මතක ඇතිනේ. අද කියන කතා කීපයත් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතාමයි.

පළමු කතාවේ විශේෂත්වය මේ කතාවේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වුණු අපේ බෝසතාණන් වහන්සේත් ඉන්න එක. ඒ වගේමයි මම දන්නා තරමින් මේ කතාව සාහිත්‍ය මූලාශ්‍රවල නැතත් ජනප්‍රවාදයක් විදිහට තමා අද දක්වාම පැවැත ගෙන එන්නේ.

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.

ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මට හිතෙන විදිහට නම් එහෙම කතාවක් ඇතිවෙන්න බලපෑවේ ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික වශයෙන් ලොවුතුරා බුදුවරුන්ගේ ආකාර තුනක් පැවතීම වෙන්න ඕනේ. මේ ආකාර තුන නිසා ලොවුතුරා බුදුවරුන් අතරේ සර්වඥතා ඥානයේ හරි එහෙමත් නැත්නම් සෘද්ධි බලයේ හරි කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒත් ඒ ඒ බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරන කාල සීමාවන් වෙනස් වන නිසයි ඒ ආකාරයෙන් ආකාර තුනක් තිබෙන්නේ.

හරියටම ඒක විස්තර කළොත් ප්‍රඥාධික බුදුවරුන්ගේ බෝසත් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදුවරුන්ගේ බෝසත් කාලය අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. වීර්යාධික බුදුවරුන්ගේ බෝසත් කාලය දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක්.

මේ වෙනස්කම නිසා ඒ ඒ බුදුවරුන් පහළ වන කාලය වගේම බුදුවරුන්ගේ ආයුෂ තීරණය වෙනවා. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. උන්වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 120 ක් වුණා වගේම උන්වහන්සෙගේ ආයුෂ වසර 80 ක් වුණා. ධර්මය දේශනා කරද්දී විවිධ බාධකවලට මුහුණ දෙන්න උන්වහන්සේට සිදුවුණා.

ඒත් ශ්‍රද්ධාධික බුදුවරුන් පහළ වන කාලය ආයුෂ වගේම පහළ වන කාලයත් ප්‍රඥාධික බුදුවරයෙකුගේ කාලයට වඩා සෞභාග්‍යමත් කාලයක්.

ඊටත් වඩා සෞභාග්‍යමත් කාලයක් වීර්යාධික බුදුවරයෙක් පහළ වන කාලයේදී පවතිනවා. ඒ වගේමයි ඒ කාලයේ පරමායුෂ අවුරුදු 80,000 ක් පමණ වෙනවා. අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක්.

මෙන්න මේ වගේ කරුණු නිසා වෙන්න ඇති හුඟක් දෙනා මෛත්‍රී බුදුන් පහළ වන කේතුමතී කියන අසිරිමත් සෞභාග්‍යමත් පුරවරයේ ඉපදෙන්නත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නත් ප්‍රාර්ථනා කරනවාත් ඇත්තේ.

මේ ගමන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා වගේම මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගනිපු කතාවත් කියන්නම්.

බුදු හාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ පළමු වතාවට තමන්ගේ උපන් බිම වුණු කිඹුල්වත් පුරයට එහෙමත් නැත්නම් කපිලවස්තුවට පිටත් වුණානේ [කපිලවස්තුව කිව්වාමනේ දැන් හුඟක් අය දන්නේ] ඉතින් උන්වහන්සේ ඇතුළු මහා සංඝයාව සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍ය රජ දරුවෝ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. හැබැයි මෙහෙම දේකුත් වුණා.

ඒ තමා ශාක්‍ය කියන්නේ බොහොම ආඩම්බරකාරයෝ නිසා වැඩිමහල් ශාක්‍යයෝ හිතුවා සිද්ධාර්ථ දැන් බුදුවෙලා කියලා කිව්වාට එයා අපිට වඩා බාලයි. අපි මොකටද එයාට වඳින්නේ කියලා. ඒත් ප්‍රසිද්ධියේ බුදු හාමුදුරුවන්ට වඳින්නේ නැතුව හිටියොත් වැඩේ සවුත්තු වෙන නිසා එයාලා ඒකටත් උපායක් යෙදුවා.

උපාය තමා එයාලා ලාබාල ශාක්‍යයන්ට කිව්වා බුදු හාමුදුරුවන්ට වැඳලා එතැනම වාඩිවෙන්න පිටිපස්සට ආපහු එන්න එපා කියලා. එතකොට වඳින්න එන්න ඉඩකඩ නැති නිසා නොවැඳ ඉන්න පුලුවන්නේ. බුදු හාමුදුරුවොත් මේ ශාක්‍යයන්ගේ මාන්නාධික බව තේරුම් අරගෙන ශාක්‍යයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පෑවා.

යමා මහ පෙළහර කියන එකත් කෙටියෙන් සහ සරලව විස්තර කරන්නම්.

යමා මහ පෙළහර කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම.

පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා…..

මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.

මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා.

බුදු සිරිත තුළ බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් හමුවෙනවා.
පළමු අවස්ථාව තමා බුද්ධත්වයට පත්වෙලා පළමු සතියේදී බෝසතාණෝ බුදුවුනාද කියලා දේවතාවන්ට ඇතිවුනු සැකය දුරු කරන්න
දෙවෙනි අවස්ථාව තමා අද කතාවට සම්බන්ධ ශාක්‍යයන්ගේ මානය බිඳපු ආකාරය
තුන්වෙනි අවස්ථාව තමා ගණ්ඩබ්බ කියන අඹ රුක මුලදී තීර්ථකයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පාපු අවස්ථාව.


ඉතින් නැවතත් කතාවට ආවොත් බුදුන් වහන්සේ මේ ආකාරයෙන් කිඹුල්වත් පුරයේදී යමා මහ පෙළහර පාන ආකාරය රජගහ නුවර ගිජුකුළු පර්වතයේ ඉදන් දැක්ක සැරියුත් මහ රහතන් වහන්සේ මේ උත්කර්ෂවත් අවස්ථාවේ එතැනට රැස්වෙලා ඉන්න දෙවි මිනිසුන්ට යහපතක් කරන්න ඕනේ කියන අරමුණෙන් බුදුන් වහන්සේගෙන් බුද්ධවංශ දේශනාව පිළිබඳ විචාරනවා කියලා අරමුණු කරගෙන තමන්වහන්සේ සමඟ හිටිය රහතන් වහන්සේලාත් සමඟ අහසෙන් කිඹුල්වත් පුරයට වැඩම කරනවා.

බුදුන් වහන්සේට නමස්කාර කරන සැරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රථම ප්‍රණිධානයේ ඉදන් බුද්ධත්වය ලැබීම දක්වා වන බුද්ධ වංශය පිළිබඳ දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ අනුව බුදුන් වහන්සේ තමන්වහන්සේ බෝසත් සමය ගත කරපු ආකාරය වගේම අනියත විවරණ සහ නියත විවරණ ලබාගත් ආකාරයත් දේශනා කරනවා.

අවසාන වශයෙන් නැවත වරක් සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීමෙන් අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරදුන් සම්බන්ධවත් කරුණු දේශනා කරනවා. අනාගත වංශ දේශනාව කියලා හැඳින්වෙන්නේ ඒ දේශනාව.

ඒ යටතේ කල්ප විනාශය, මෛත්‍රී බෝසතුන්ගේ බෝසත් සමය, කේතුමතී පුරය ඇතිවීම, බෝසතුන් කේතුමතියේ පහළවීම, මහබිනික්මන, බුද්ධත්වය වගේ කරුණු කාරණා සියල්ලම බුදුන් වහන්සේ දේශනා කරනවා.

බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කරවීම

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් වහන්සේගෙන් අවසන් නියත විවරණය ලබාගත්තු කතාවත් කියන්නම්කෝ. මම කලින් දවසක බුද්ධ කාලයේ මිහිපිට ජීවත්වුණු තව්තිසාවේ දෙවිවරුන් සටහනෙන් බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලය තව්තිසාවේ ගත කරමින් මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කරලා අවසානයේදී මිනිස් ලොවට වැඩම කරපු අවස්ථාවේ සිදුවුණු ආශ්චර්යමත් සිදුවීම මතකනේ.

මේ අවස්ථාවේ එතැනට පැමිණිලා හිටියා සංකස්ස පුරයේ මහාසාල කියන බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන කියන ගෘහපතියාට දාව භද්‍රාවතී කියන බැමිණියට ඉපදුණු සිරිවර්ධන කියන තරුණ බමුණු කුමාරයා. විවාහ වෙලා ගිහි ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳිමින් හිටියත් බුදුන් වහන්සේගේ මේ අසිරිමත්බව නිසාම උන්වහන්සේ ගැන පැහැදුණු තරුණ සිරිවර්ධන කියන බමුණු කුමාරයා බුදුන් වහන්සේ සමීපයේ මහණ වෙනවා. මහණ වුණු සිරිවර්ධන කුමාරයාව හඳුන්වන්නේ “ආර්ය මෛත්‍රී” කියන නාමයෙන්.

ඉල් පොහොය දවසේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ තමන්වහන්සේට ලැබුණු වටිනා කියන වස්ත්‍ර දෙකක් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියට අරගෙන ගිහින් ඒ වස්ත්‍ර දෙකෙන් ගන්ධ කුටියේ වියනක් බැඳලා අලංකාර කරනවා.

ඊට පස්සේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ බුදුන් වහන්සේට වන්දනා කරලා උක්කුටියෙන් හිඳගෙන බුදුන් වහන්සේ වෙනුවෙන් අනිමිස ලෝචන පූජාවක් කරනවා. එතැනට රැස්වුණු මහා සංඝයා වහන්සේලා අමතන බුදුන් වහන්සේ

“මහණෙනි, වටිනා වස්ත්‍ර දෙකක් බුදුන්ට පුදා මේ ආකාරයෙන් අනිමිස ලෝචනයෙන් ඉන්න මාගේ ශ්‍රාවක ආර්ය මෛත්‍රී භික්ෂුව දිහා බලන්න. මේ මහා භද්‍ර කල්පයේ මීළඟට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව කේතුමතී නමින් පුරයක් පවතිනවා. එය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිණිය මෛත්‍රී බුදුරදුන්ගේ දෙමාපියන් වෙනවා. නා ගස මෛත්‍රී බුදුරදුන්ගේ බෝධි වෘක්ෂය බවට පත්වෙනවා”

යනාදී වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය ලබාදෙනවා.

ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා නිම කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා…..

බෝසත් වන්දනාව නිසා මෛත්‍රී බෝසතුන්ගේත් ප්‍රතිමා විහාරවල ඉදිකරලා වන්දනා මාන කරන එක බෞද්ධයන්ගේ සිරිතක් වෙලා තියෙනවා. මෛත්‍රී බෝසතුන් වන්දනා කරන ගාථා තමා මේ.

මෙත්ත්‍යෙය නාමේන බුද්ධෝ භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදානි තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං

මෛත්‍රී නාමයෙන් බුදු බවට පත්ව නිවන් මඟ පිණිස දහම් දෙසන තුසිත දිව්‍ය ලෝකයේ වැඩ වසන ඒ මහා බෝසතුන්ට මාගේ නමස්කාරය වේවා…

වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමි තං වීතරාගී මුනින්දං

වීර්යාධික වූ ඒ උතුම් බෝසතුන් අනාගතයේදී කේතුමතී පුරයේ ඉපිද, බුදුව ලෝසතුන්ගේ හිත සුව පිණිස දහම් දෙසන සේක. ඒ වීතරාගී බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා….

එහෙම නම් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා අවසානයි.

තවත් මෛත්‍රී බෝසතුන් ගැන දැනගන්න කැමති නම් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිත “මෛත්‍රී බුදුපියාණෝ” කෘතිය මෙතනින් භාගත කරගන්න පුලුවන්….

උපුටා ගැනීම-www.histats.com

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *