මහකැලේ හුදකලාවූ අසිරිමත් පුදබිමක්

උතුරු පළාතේ සොයා ගනිමින් පවතින, බෞද්ධ උරුමය අතරට එකතු වන අලුත්ම පින්බිම සොයා අපි මහ වනය පීරුවෙමු. දහවලේ පවා වන අලින් ගහණ වූ මහ වනයේ ඇතුළෙහිම තැනකි. මොහොතකට පෙර වන අලින් ගැවසුණු බවට ලකුණු අප නෙත ගැටෙයි. ගිනි කාෂ්ඨක අවු රශ්මිය පරිසරය උණුසුම් කර තිබෙන මොහොතකි.

නිහඬව ඇවිද යා යුතු වනගත චාරිකාවකි.

ප්‍රදේශය ගැන හොඳින් දන්නා මැදඔයාමඩුවේ ප්‍රඥාසාර හිමියන් සහ හල්මිල්ලෑවේ ප්‍රඥාරතන හිමියන් අප ගමනේ නියමුවෝය.

මධ්‍යම නුවරගම් පළාතේ දෙමටමල්ගම තුලානේ, බෝගොඩ ගමේ ඌත්තුවෙල්ලියහි මේ පුරාවිද්‍යා නටබුන් හෙළිවෙමින් පවතී.

ඌත්තුවෙල්ලිය යනු උල්පත් ස්ථානය යන අදහස දක්වයි. බෝගොඩ ගමින් වන වැදුණු අපි කැලෑව මැද්දේ කිලෝ මීටර් කීපයක දුෂ්කර ගමනක් වන අභ්‍යන්තරයට පියමැන්නෙමු. විහාරය නුදුරින් ගලා බසින්නේ පැරණි කදම්බ නදිය යැයි කී මල්වතු ඔයයි. මහා කුඹුක් ගස් ද විසල් කළු ගල් ද අතරින් සීතල දිය දහර නිහඬව ගලා බසියි.

මල්වතුඔය අසබඩට වන්නට මේ ඉපැරණි විහාර නටබුන් රාශිය මධ්‍යම ප්‍රමාණයේ ගිරි ශිඛර කීපයක් පාදක කරගෙන පිහිටා තිබෙයි.

අඩි පාර දිගේ ගිය අපට වන මැද දකින ඒ දුර්ලභ දසුන් පෙළ සැබැවින්ම අරුමයක් විය.

ගල් කණු සිය ගණනකි. ගල් පර්වතයේ ස්වභාවික ගල් පඩි බලන බලන අත විහිද තිබෙයි. මහ වන මැද ගල් බුදු පිළිම නටබුන් සේම ඉපැරණි චෛත්‍ය ගණනාවක යැයි සිතිය හැකි ස්ථූප නටබුන් ද රැසකි. අවුරුදු ගාණක් කැලයටම නතු වූ මේ පුද බිම පළමු වරට ‘ඉරිදා ලංකාදීප’යෙන් ලොවට හෙළි කරමු.

මේ ඌත්තුවෙල්ලිය විහාරය ඉක්මනින් සංරක්ෂණය වීම ලංකාවේ වැදගත් බෞද්ධ උරුමයක් ලෝකවාසීන්ගේ අවධානයට යොමු කළ හැකි බවට ලකුණකි. මේ පැරණි විහාරය මහානාගතොට කදම්බනදී රාජ මහා විහාරය ලෙස ගම්වාසීන් අතර වඩා ප්‍රකටය.

ක්‍රි.පූ. 3 වන සියවසේ දී දේවානම්පියතිස්ස මහ රජුන්ගේ ආරාධනාවෙන් සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරය දක්වා වැඩම කෙරිණි. ඒ ගමන් මග වූයේ තිවක්ඛ බමුණුගම හරහාය. තිවක්ඛ බමුණුගම යනු වත්මන් තන්තිරිමලයයි. ජය ශ්‍රී මහා බෝධි ශාඛාව දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා වැඩමවන ගමනේ දී පළමු දින රාත්‍රිය තිවක්ඛ බමුණු ග්‍රාමයෙහි ගල් තලාව මත තැන්පත් කළ බව තන්තිරිමල විහාර ඉතිහාසය කියා පායි.

පසුදිනක මහමෙවුනා උයනේ රෝපණය කළ මහා බෝ ශාඛාවෙන් හට ගත් අංකුර අටෙන් (අෂ්ට ඵල බෝධි) එකක් තිවක්ඛ බමුණු ග්‍රාමයේ ගම් ප්‍රධානියාට ලැබිණි.
ඔහු මහත් පෙරහරින් අෂ්ට ඵල බෝධිය වැඩම කරවා ගෙන තන්තිරිමල ගල්තලා මත්තයේ රෝපණය කළේය. එතැන් පසු තිවක්ඛ බමුණුගම බෞද්ධාගමික ප්‍රබෝධය වඩ වඩාත් පැතිර ගියේය. ප්‍රදේශයේ පැතිරීගත් බෞද්ධ ප්‍රබෝධය මූලික කරගෙන සමකාලීනව ඊට යාබදව ගොඩ නැගුණ සුවිසල් විහාර ආරාමයක් හැටියට ඌත්තුවෙල්ලිය විහාර නටබුන් විශ්වාස කළ හැකිය.

තන්තිරිමලයට වඩා වැඩි කටාරම් කෙටු ගල් ලෙන් රාශියක් ඌත්තුවෙල්ලිය නටබුන් අතර හමු වේ. ඒ අනුව උතුරේ රහතන් වහන්සේලා දහස් ගාණක් එක තැනක වැඩ සිටි ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් තැනක් හැටියට මෙතැන විවාදයෙන් තොරව නම් කළ හැකිය. ඌත්තුවෙල්ලිය නටබුන් පිළිබඳව එච්.සී.පී. බෙල් මහතාගේ වාර්තාවල ද දැක්වේ.

2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතා පුරාවිද්‍යා ගවේෂණය මෙහි සිදු කරන ලදී. ඒ අනුව කටාරම් කෙටූ ගල් ලෙන්වල පැහැදිලිව කියැවිය හැකි බ්‍රාහ්මීය අක්ෂර ලෙස ලිපි සමූහය කියවා ඇත. විහාර නටබුන් ද රැසක් පිළිබඳ අනුමාන වශයෙන් අදහස් දක්වා තිබෙයි.

විහාරයේ පහළම කොටසේ කරුව සහිත දැවැන්ත ගල් කණු 40ක් පමණ සිටුවා ඇත. බැලූ බැල්මට මේ පැරණි ගල් කණු මත ඉදිවූ මහල් ගොඩනැගිල්ලක් බවට හඳුනාගත හැකිය.
විද්වතුන්ගේ අදහසට අනුව අනුරාධපුරයේ ලෝවාමහා ප්‍රාසාදය වන්ව ඌත්තුවෙල්ලියේ වැඩ සිටි දහස් ගාණක් හිමිවරුන් විනයකර්ම සඳහා මේ මහල් ප්‍රාසාදය භාවිත වන්නට ඇති බව සිතිය හැකිය. ගොඩනැගිල්ලේ කඩා වැටුණු ගල් කණු ද අවට දැකිය හැකිය. ගල් කණු යොදා හැදූ තට්ටු ගොඩනැගිල්ලක නටබුන් මෑතක හමු වී ද නැත. එබැවින් ඌත්තුවෙල්ලිය නටබුන් මෙරට ඉතිහාසය මෙන්ම බෞද්ධ උරුමය පිළිබඳ කැටපතකි. එතැනම යූප ගලක වැදගත් ලකුණ ද අපට දකින්නට ලබිණි.

ගිරි ශිඛරයේ පිහිටීම ද විශේෂත්වයක් දක්නා ලැබේ. එය පිහිටා ඇත්තේම වේදිකා ආකාරයට කොටස් වශයෙනි. ගිරි ශිඛරයේ ඒ ඒ කොටස්වල ඒ ඒ නටබුන් කොටස්ය.
මේ ගිරි ශිඛර වේදිකාවලට ගොඩවීමට ගලේම කෙටූ පැරණි පඩිපේළි තැන තැන හමුවේ. ඒවා දකින විට මේ විහාර ආරාම පද්ධතිය ඉතාම සැලසුම් සහගතව වගේම නිර්මාණාත්මකව සපුරා ගත් කාර්යයක් බවට මොනවට පැහැදිලි වෙයි.

ගලේ මධ්‍යයේ එක් කොටසක අඩි 7ක් පමණ උසැති කළු ගලින් නෙළුෑ හිටි බුදුපිළිමයකි. පිළිමය කොටස් කීපයකට කැඩී ගොස් තිබෙයි. පිළිමය බස්සවා තිබූ ආසනය ද ඊට නුදුරෙහි දක්නට ලැබේ. ගල් කන්දේ මැද මළුව කොටසේ මේ අනුව පිළිම ගෙය ඉදිවී තිබෙන්නට ඇති බව සිතිය හැකිය.

තවත් විශේෂයක් වන්නේ ඌත්තුවෙල්ලි නටබුන් අතර වේදිකා කීපයක, ඉපැරණි චෛත්‍ය 4ක පමණ නටබුන් දකින්නට ලැබීමයි. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍ය නටබුන් පැහැදිලිව හඳුනා ගත හැකිය. ඒවා ගඩොලින් කළ බව විසිර ගිය ගඩොල් කඳු දකිද්දී පෙනේ.

ඌත්තුවෙල්ලි නටබුන් අතර චෛත්‍ය 4ක් තිබුණා නම් එය කොයිතරම් ඓතිහාසික හා ජනාකීර්ණව පැවති වැදගත් පූජනීය ස්ථානයක් ද යන්න අප කල්පනා කළ යුතුය.
අනුරාධපුරයේ මිහින්තලයේ මෙවැනි චෛත්‍ය කීපයක් ගල් පවුවේ දැකිය හැකිය. සිතුල් පවුවේ ද දැකිය හැකිය. එවැනිම වූ ක්‍රමානුකූල විහාර සැලැස්මේ ස්ථූප 4ක නටබුන් දැනට හමුවීම අනුරාධපුර යුගයේ පමණක් නොව උතුරේ බෞද්ධ උරුමය තුළ ද සුවිශේෂ ලකුණක් විය යුතුය. මේ ඌත්තුවෙල්ලි විහාරය වහ වහා සංරක්ෂණය විය යුත්තේ, මහ වන අතරින් නැවත ගොඩනගා ගත යුත්තේ එහි බැලූ බැල්මට ද පේන මහා ඉතිහාසයක් කාගේ හෝ වරදින් යට ගැසී තිබෙන නිසාය.

බලධාරින්ගේ අවධානය පිණිසයි.

විහාර නටබුන් තුළ හමුවන කටාරම් කෙටූ ගල් ලෙන් කුඩා ප්‍රමාණයේ ඒවා නොවේ. මහ ගල් ලෙන ඇතුළට දීර්ඝව යා යුතුය. ඒ ලෙන් ද උසින් වැඩි විශාල ලෙන් වේ. හඳුනාගත් ගල් ලෙන් 6කම ඒවා පූජා කළ ප්‍රාදේශීය නායකයන් පිළිබඳව තොරතුරු බ්‍රාහ්මීය අක්ෂරවල සඳහන් බව මහාචාර්ය ආරිය ලගමුව මහතා පවසයි. මේ බ්‍රාහ්මීය අක්ෂර ද ඉතා දීර්ඝව ලියා ඇත්තා සේම ඉතා පැහැදිලිව සටහන් වශයෙන් අදත් දැකීමට පුළුවන්කම තිබේ.

කෙසේ වෙතත් හඳුනා ගත යුතු තවත් බොහෝ නටබුන් ඌත්තුවෙල්ලිය ගිරි ශිඛර කීපය ආසන්නයේ තව බොහෝ තිබිය හැකිය. ගල්ලෙන් තව තවත් තිබිය හැකිය. කාලය ඇවෑමෙන් පොළොවට යට වූ බුදු පිළිම, ආසන ගල්, පඩි ප්‍රාකාර, පොකුණු තව තවත් සොයාගත යුතුව ඇත.

නිවැරදි කැණීමක් කළොත් ඌත්තුවෙල්ලි විහාරය සිතුල්පවුව විහාරයට ආසන්න ක්‍රමවේදයකට එදා පැවැති බවට ඉතිහාසයේ ගොඩ ගත හැකි බව නම් කිව හැකිය. තව ද විහාරය වට කරගෙන දැවැන්ත ප්‍රාකාර බැම්මක නටබුන් හමුවී ඇත. මෙහි වැඩහිටි හිමිවරු පැන් පහසු වූ පොකුණු කීපයක නටබුන් දැකිය හැකිය. දැනට වනය අතරින් හමුවූ ගල් කොටස් තැන්පත් කොට හැදූ වෘත්තාකාර ආකාරයේ විශාල පොකුණක් දැකිය හැකි වේ.

තවත් විශේෂත්වයක් වන්නේ විහාරය මායිමේ පැරණි කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ගලා බැසීමයි. මල්වතු ඔය අසබඩ මේ විහාරය ගොඩනැගීම තුළ, ලංකාවේ බොහෝ පැරණි විහාරවල හමුනොවන සෞන්දර්යාත්මක පරිසර ලක්ෂණ හා පරිසර වටිනාකම් රැසක් අපට දක්නට ලැබේ. ඒ අනුව කදම්බ නදී පාමුල එදා මේ විහාරාරාම සංකීර්ණය කෙතරම් සිත් ගන්නා සුලුව පවතින්නට ඇතිද?

මීට මහානාගතොට කදම්බ නදී විහාරයයි, ප්‍රදේශවාසී ජනී ජනයා කියන්නට ද පසුබිමක් ඇත. මහා නාග යනු මේ ප්‍රදේශයේ ජීවත් වූ සිටුවර මට්ටමේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු බව ඉතිහාසගත තොරතුරු මතු කරයි. ඔහුගේ වෙළෙඳාම වූයේ මේ ප්‍රදේශයේ සිට උළු, ගඩොල්, කළු ගල් ආදිය විහාර ආදී කර්මාන්ත සඳහා කදම්බ නදිය දිගේ පාරු දිගේ ප්‍රවාහනය කිරීම බවට මතයක් ඇත. ඔහුගේ නමින් මල්වතු ඔයට සම්බන්ධ වන අතු ඇළක් තිබී ඇත. මහානාග තොටෙහි පිහිටි කදම්බ නදී විහාරය යැයි නූතනය මෙතැන නම් කිරීම ඉතා කාලෝචිත බව අප ද විශ්වාස කරමු.

දවසින් දවස එළිය විය යුතු පුද බිමක් දවසින් දවස වැසී යාම ජාතියේ අවාසනාවකි. කලක් එල්.ටී.ටී.ඊ.ය උදුරාගත් පය තබන්නට නොදුන් ඌත්තුවෙල්ලිය දැන්වත් එළිකර රටට ලෝකයට විවර කරමු ද?

තන්තිරිමල රාජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි බලධාරීන් ඉක්මන් වෙනවා නම් තවත් සිතුල් පවුවක්, තවත් වෙස්සගිරියක් වැනි මහානාග තොට කදම්බ නදී පුද බිම වැඳ පුදා ගන්නට කවුරු කවුරුත් භාග්‍යවන්ත වනු ඇත.

එසේ නොවුනොත් තවත් දශක ගාණක් මේ පුද බිම වන අලි වෙසෙන මහ කැලේ හුදෙකලා වනු ඇත. මේ පුරා උරුමය විනාශ වීම, නිදන් හොරු රජ කිරීම නියත වනු ඇත. ඌත්තුවෙල්ලි නටබුන් පිළිබඳ සලකද්දී පමාව පසුතැවීමක් බව දකින්නට හේතු ඇත්තා සේම මතුවට එසේ නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

සටහන හා ඡායාරූප –
අසංක ආටිගල

උපුටා ගැනීම -http://www.lankadeepa.lk

Author: admin