බුලතා ඉදිකර සොරබොර වැව

ඒ ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ එළාර පාලන සමයයි. එළාර පාක්ෂික ද්‍රවිඩ පිරිස් මහියංගණයට පැමිණියේ ගෞතම මුනිරජුන්ගේ ග්‍රීවා ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැන්පත්කොට තැනූ මියුගුණ මහා සෑයේ නිදන් ව තිබූ රන් කොල්ලකෑමට ය. අද මෙන් ම අතීතයේ ද නො රටින් පැමිණියවුන් අපේ දේ කොල්ලකාගෙන ගියෝ ය. එසේ පැමිණි කොල්ලකරුවන් අතර අසල්වැසි ඉන්දියානුවන් පෙරමුණේ සිටියි. එදා සිට අද දක්වා ම එය ඉන්දියානුවන් සතු වූ නො බිඳි වාර්තාවකි. සොරකමේ ආ මෙම පිරිස ඉන් නො නැවතී ‘ඡත්ත’ නම් නායකයකු යටතේ මෙහි ප්‍රාදේශීය රාජ්‍යයක් ද පිහිටුවා ගත් අතර එය පසු ව එළාර රාජධානියේ ප්‍රබල බලකොටුවක් බවට පත්විය.

විජාතික බලවේගයන්ගේ ග්‍රහණයෙන් ලක් මවුන් මුදවා රට එක්සේසත් කොට ජාතිය නඟාසිටුවීමේ මාහැඟි ඓතිහාසික කර්තව්‍යට පණ දෙමින්, සේනා සංවිධානය කරමින් හුන් ගැමුණු කුමරුන්ගේ රට මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ පළමු අදියර යටතේ, ඡත්ත ඇතුළු ද්‍රවිඩ චෞරයන් මහියංගණයෙන් පළවා හැර බුදුරජ පහස ලද සොඳුරු පින් බිම යළි සිංහලයන් අතට පත්කරලී ය. අනතුරු ව ගැමුණු කුමරුන් එහි ම රැඳී සිටිමින් සතුරන් අතින් විනාශයට පත් නගරය යළි ගොඩනැංවීමට පිඹුරුපත් සකසන ලදි. සුමන සමන් දෙව් රජුන් විසින් ද සරභු මහ රහතන් වහන්සේ විසින් ද අවසාන වශයෙන් දෙවන පෑතිස් රජ සොයුරු උද්ධ චූලාභය රජු විසින් ද පිළිවෙළින් සත් රියන්, දොළොස් රියන් සහ තිස් රියන් උසට කරවූ මියුගුණ සෑය විශාල කරවා අසූරියන් උසට චෛත්‍යය තැනවීම, සකසන ලද පිඹුරුපත් අතර ප්‍රධාන තැනක් ගත්තේ ය. මෙකී ප්‍රතිසංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කරමින් ද අවසන් මහ සටන සටන සඳහා සේනා සංවිධානය කරමින් ද කුමරුන් වසර කිහිපයක් මෙහි රැඳී සිටියේ ය.

අද මෙන් නො ව එකල ‘බුලත් කෑම’ දෛනික ජන ජීවිතය හා බෙහෙවින් බද්ධ වූවකි. රජ පවුලක උපන්න ද නිරතුරු ජනයා අතර ගැවසුණු ගැමුණු කුමරුන්ට ද ‘බුලත්’ නැතිව ම බැරි වූ අතර කුමරුන් හට බුලත් මෙහෙ වැඞීම පිණිස විශ්වාසවන්ත රාජ පාක්ෂිකයකු හට පුරප්පාඩු ඇති විය. සුන්දර හුන්නස්ගිරිය කඳු පාමුල උඩුදුම්බර ප්‍රදේශයේ කිරිපට්ටිය නම් කුඩා ග්‍රාමයේ විසූ ශක්ති සම්පන්න දැහැමි පුරුෂයකු මේ සඳහා පත්කරගන්නා ලදි. රජවාසල සැවොම ඔහුට ‘බුලතා’ යැයි නම් පටබැන්දහ. සිදුකරන රැකියාව, හැසිරීම, පුද්ගල ස්වභාවය අනුව අන්වර්ථ නාමයන් පටබැඳීම මෙකල මෙන් ම එකල ද ප්‍රචලිතව පැවතුණකි. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි. උදේ හීල වැළඳීමෙන් පසු ද දහවල් දස පැයට අතුරුපසෙන් පසු ද දහවල් භෝජනයෙන් පසු ද සවස් වරුවේ අතුරුපසෙන් පසු ද තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසු ද රාත්‍රී භෝජනයෙන් පසු හා රාත්‍රී නිදා ගැනීමට පෙර ද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළඟ වාරය පැමිණෙන තුරු නුවර අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේ ය.

වර්තමානයේ මෙන් නො ව එදා හෙළයා ශක්තිවන්ත ය. අනලස් ය. නිර්මාණශීලී ය. අවංක ය. එදින උදෑසන බුලත් මෙහෙය නිමවා බුලතා ඇවිද ගියේ මහියංගණ නුවරින් උතුරු දෙසට ය. රුක් ගොමුවෙන් ගැවසීගත් ගල් තලාවක් මත විවේකය පිණිස නැවතුණ ඔහු කුඩා ගල් කඳු දෙකක් මැදින් ගලාවිත් තැනිතලාව ඔස්සේ ගලාබස්නා නිල්වන් දොළ පහර දෙස බලා සිටියේ මඳ වේලාවක් නො වේ. කාලය කෙතරම් ගෙවී ගියේ දැයි ඔහුට ද නිනව්වක් නො වී ය. නිවහල්, නිර්මාණශීලී මනසේ අපූර්වත්වය මොනවාට විදහාපාමින් ඒ මනසේ ඇඳී ගිය වාරි සැලසුම විස්මිත ය. පුදුම එළවන සුළු ය. ගල් කඳු දෙක හරස්කොට වේල්ලක් බැන්ඳහොත් ඒ ඉදිවන වැවෙන් සරුසාර වන ගව් ගණනක් වූ කෙත් යාය ඔහුගේ මනසේ මැනවින් සිතුවම් විය. විස්මයකි. විවේකය පිණිස ගල් තලාව මත වාඩිවූයේ උදේ හවස බුලත් මෙහෙ වඩනා පිටිසර ගැමියෙකි. ඉන් නැගී සිටියේ විශිෂ්ට සැලසුම් ශිල්පියෙකි. ඉංජිනේරුවෙකි. නිර්මාණකරුවෙකි. ඒ හික්මවන ලද සොඳුරු මිනිස් මනසේ අපූර්වත්වයයි.

එකී වාරි සැලසුම යථාර්ථයක් වනු දැකීම බුලතාගේ අධිෂ්ඨානය විය.

ඔහු මහා මන්දිර පිළිබඳ සිහින මවා කිරි කළය බිඳගත්තේ නැත. සුපුරුදු පරිදි හේ පසු දින ද රජු හට බුලත් මෙහෙ වැඞී ය. රාජකාරිය අතරතුර ඔහුට ලැබෙනා විවේකය සිය වාරි සිහිනය යථාර්ථයක් කර ගැනීම පිණිස යෙදවීමට ඔහු සැලසුම් කළේ ය. ඒ අනුව සෑම බුලත් මෙහෙවර දෙකක් අතරතුර ම ඔහු සිය උදැල්ලත් පස් කූඩයත් ගෙන ගල් කඳු දෙක හරහා වේල්ල සැකසීම ඇරඹී ය. බුලතාගේ උදැල්ල සහ පස් කූඩය එසේ-මෙසේ එවා නො වේ. ඔහුගේ උදැල්ල තනිව එසවීමට සාමාන්‍ය මිනිසකුට නො හැකි ය. ඒ සඳහා අවම වශයෙන් සාමාන්‍ය පුද්ගලයන් තිදෙනෙකුවත් අවශ්‍ය වේ. පස් කූඩය ද එසේ ම ය. ඔහුගේ කූඩයෙන් මිනිසුන් 20-25 ඔසවන පස් තනිව එක්වර ඔසවයි.

නමුදු ‘බුලතා’ දසමහා යෝධයන්ගෙන් අයකු නො වන බව අප මෙහි ලා සිහිපත් කළ යුතු ය.

බුලත් මෙහෙයත්, වාරි මෙහෙයත් සමරබරව සිදු කරනට බුලතා වගබලා ගත්තේ ‘බුලත් මෙහෙය’ දේවකාරියටත් වඩා වැදගත් වූ ‘රාජකාරියක්’ බැවිනි. පස් කපා, ගල් කඳු දෙක අතර පුරවා, මැනවින් පාගා ශක්තිමත් ව වේල්ල ඉදිකිරීමට මේ අපූරු මිනිසාට එතරම් කලක් ගත වූයේ නැත. කර්මාන්තයේ ඊළඟ අදියර වූයේ සොරොව්ව සහ ජල පැන්නුම ඉදි කිරීමයි. වැව් කණ්ඩියේ දෙකෙළවර ම වූයේ විසල් ගල් පර්වතයන් ය. මෑත කෙළවරේ පිහිටි ගල කපා, හාරා මොහු විසින් සාදන ලද සොරොව්ව අදටත් ලොව අති දක්ෂ ඉංජිනේරුවන් මවිතයට පත් කරවයි. එවන් අග්‍රගණ්‍ය නිර්මාණ ලොව තවත් නැත. එය එතරම් ම විශිෂ්ට ය. ශක්ති සම්පන්න ය. අනර්ඝ ය. ලොව විශිෂ්ට වාරි කර්මාන්තයන් අතරේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි සොරොව්ව නිර්මාණයේ දී දක්වා ඇති මෙම විශිෂ්ට වාරි ඉංජිනේරු තාක්ෂණය නිසාවෙනි. තාක්ෂණය එතරම් දියුණුවට නො වී යැයි වර්තමාන පඬුවන් විසින් නිර්වචනය කරනු ලබන අවධියක, මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා දක්වන ලද කුසලතාව පුදුම සහගත ය. කළුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීම සඳහා බුලතා විසින් ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලූගල් උණු කළ හැකි විශේෂ සංයෝගයක් භාවිත කළ බවක් ජනප්‍රවාදයේ පවතී. එම සංයෝගය ගල් මත අතුරා මහා කළු ගල් මෙළෙක්කර ඉන්පසු උදැල්ලෙන් පස් කපන්නාක් මෙන් කපා ඉවත් කළ බව කියැවේ.

මෑත කෙළවරේ ගල හාරා සොරොව්ව සෑදූ ඔහු වැවෙහි වැඩි ජලය බැස යාම සඳහා ඈත කෙළවරේ ගල හාරා දිය පැන්නුම සකසන ලදි.

වැවේ ‘ඉහත්තාව’ නමින් හඳුන්වන ජල පෝෂක ප්‍රදේශ වෙතින් පැමිණෙන ජලය ‘කුලූ වැව්’ නමින් හඳුන්වන කුඩා වැව් 3ක් හරහා ගමන් කරයි. පළමු වැනි වැව පිටාර යන විට දෙවැන්නටත්, දෙවැන්න පිටාර යන විට තෙවැන්නටත්, තෙවැන්න පිටාර යන විට සොරබොර වැවටත් මේ ජලය එක්වේ. ‘කුල්ල’ යනු අනවශ්‍ය දෑ බැහැර කර අවශ්‍ය දේ ඉතිරි කර ගැනීමට ගේ-දොර භාවිත වන සරල උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එම තාක්ෂණය මෙහි දී ද භාවිත කිරීමට පෙළඹීම එකල මිනිසාගේ විශිෂ්ට ප්‍රායෝගිකත්වය මොනවට විදහාපායි. කඳු සේදී යාමෙන් වැසි ජලයට එකතු වන මඩ, කුලූ වැව් තුන හරහා යාමේ දී බොහෝ අඩුවන අතර එමගින් සොරබොර වැවට මඩ එකතු වීම අතිශය අවම මට්ටමකට පත් වේ. පිටවාන, සොරොව්ව, බිසෝ කොටුව, රළපනාව, වැව් බැම්ම ආදි වැවක පොදු ලක්ෂණ සියල්ලෙන් සොරබොර වැව පොහොසත් වුව ද එහි ‘මඩ සොරොව්වක්’ ඉදිකර නො තිබීම විශේෂ ලක්ෂණයකි.

මෙතරම් විස්මකර්ම කළ බුලතාට ‘මඩ සොරොව්ව’ අමතක වූවා වත් ද? නැත.

වැවේ එකතුවෙන මඩ, ජලය ගමන් කිරීමේ දී සොරොව්වෙන් යෙදෙන අධි පීඩනය නිසා බිසෝකොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යයි. මේ මඩ, ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරු මත තැන්පත් වීමෙන් පොහොර යෙදීමකින් තොරව ම සාරවත් අස්වැන්නක් ලබා දීමට දායක වී ඇත. එදා බුලතා සතුව තිබූ විශිෂ්ට හැකියාවන්, කුසලතාවන්, ඤාණයන්ගෙන් කීයක් දියුණු යැයි කියාගන්නා වර්තමාන ඉංජිනේරුවා සතු ද යන්න විමසා බැලීම වටී.

බුලතා තනිකඩයකු නො වී ය. ඔහු මෙන් ම ශක්ති සම්පන්න අනලස් බිරියක් ඔහුට විය. බුලතා වැව සාදනා විට ඔහුට කෑම ගෙන එන්නේ ඇය යි. ඕ කිරිපට්ටිය ගමේ සිට මලය පර්වතය හරහා වැටුණු දුර්ග කපොල්ලක් ඔස්සේ කෙටි මඟක් තනා ගත්තා ය. බුලතා විසින් කඩා නිමවන ගල් ගෙනගොස්, ඇය තමා යනෙන මාවත පුළුල් ව, පිළිවෙළකට සකසන ලදි. පසු කලෙක එය බොහෝ දෙනාට බොහෝ යහපත, සුවපහසුව සලසාලූ මාර්ගයක් විය. ඒ කෙසේ ද යත්, අද මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය 18 වංගුව හරහා වැටී තිබුණ ද වසර 2550කට එහා ගිය ඉතිහාසයක් සහිත මහනුවර – මහියංගණය මාර්ගය වැටී තිබුණේ හුන්නස්ගිරිය, දෙනපිටිය, නයියන්තුඩුව, කිරිපට්ටියගම, ගලිමුරය, කනහම්පිටිය ගංගොඩ, කලූන්තැන්න, පිටවල, උඩුවහහින්න, මහවල, ගල්පඩිහල, මොරයාය, වේරගංතොට යන ඉපැරණි ගම්මාන හරහා ය. බුලතාගේ බිරිය විසින් සකස් කරන ලද්දේ මෙම ඓතිහාසික මාර්ගයෙන් කොටසකි. ගල් අල්ලා සැකසූ මෙම මාර්ගයේ ඇතැම් කොටස් අදටත් සුරක්‍ෂිත ව ඇතැයි කියැවේ.

කුමරුන්ට බුලත් මෙහෙ වඩන බුලතා ද දිනපතා මියුගුණ මහා සෑ රදුන් වන්දනා කරයි. එය ඉදි වන අයුරු දකිමින් සතුටු වෙයි. ගැමුණු කුමරුන් විසින් ඇරඹි මහියංගණ නගර ප‍්‍රතිසංස්කරණ කටයුතු කෙමෙන් නිමවෙමින් තිබූ අතර මහා සෑය 80 රියන් උසින් බැඳී කිරි බුබුලක් මෙන් දිස් විය. මේ වන විට බුලතා ද සිය අභිනව වාරි මෙහෙවර සාර්ථකව නිමවා තිබිණි. මහියංගණ සෑයෙහි කොත් පැළඳවීමේ මංගල්‍යයට දීඝවාපිය, මාගම්පුර, සිතුල්පව්ව ඇතුළු බොහෝ ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළ අතර රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ.

මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා, කුමරුන් ඉදිරියට පැමිණ;

‘‘දේවයන් වහන්ස, මම වැව් පොඞ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩින සේක්වා!”

යැයි සැළ කළේ ය. බුලතාගේ ඉල්ලීම පිළිගත් කුමරුන් චතුරංගනී සේනාව පිරිවරා ‘බුලතාගේ වැව් පොඞ්ඩ’ බලන්නට ගියේ ය.

පෙනෙන තෙක් මානයේ නිල්වන් ජල දහරින් පිරී රැළි පිට රැළි නඟමින් තිබෙන වැව් කොමලිය දුටු කුමරුනටඇස් අදහා ගත නො හැකි විය. ප්‍රීතිය නිම්හිම් නැති විය. කුමරුන් සමග පැමිණ සිටි මැති, ඇමති, සෙන්පති ආදි පිරිස ද මහජනයා ද ‘තනි මිනිසකුගේ වැඩක්’ වූ මේ මහා වැව දැක අතිශයින් පුදුමයට පත් වූහ. තම රාජකාරිය ද අකුරට ම ඉටු කරමින් අංග සම්පූර්ණ වැවක් ඉතා කෙටි කලකින් නිර්මාණය කිරීම ගැන කුමරුන් විස්මය පළ කළේ ය.

‘‘මේ නම් මහා විශ්මකර්මයක්! දරුව, නුඹ මේ සඳහා තව කොපමණ දෙනකුගේ සහාය ලබා ගත්තෙහි ද?”

‘‘දේවයන් වහන්ස, මම සප්‍රාණික කිසිවකුගේ සහයක් ලබා නො ගත්තෙමි. මට සහය ලැබුණේ මෙන්න මේ හතර දෙනාගෙන්.” යැයි පවසමින් බුලතා පසෙක සඟවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් කුමරුන්ට පෙන්වී ය.

ඒ දුටු කුමරුන් හට ඔහුගේ ශරීර ශක්තිය පිළිබඳ අටුවා ටීකා අවැසි නො වූ අතර;

‘‘දරුව, නුඹගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට, ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට නුඹගේ මේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ” යි බොහෝ ප‍්‍රශංසා කළේ ය.

ගැමුණු කුමරුන් එවකට වාසය කළේ මහියංගණයේ තාවකාලික මාළිගයේ ය. බුලතා ද ඔහුගේ භාර්යාව ද තම මව් බිසව වූ විහාර මහා දේවිය වෙත රැගෙන ගිය කුමරුන්, බුලතා විසින් කරන ලද විස්මිත වාරි කර්මාන්තයත්, බිරිය විසින් නිමවන්නට යෙදුණු ගල් පඩිපෙළ සහිත මාර්ගයත් පිළිබඳ අපූර්ව විස්තරය මව් බිසව වෙත සැල කළේ ය.

ඒ ඇසූ විහාර මහා දේවිය බලවත් චිත්ත ප‍්‍රීතියට පත්ව තමන් ගෙල පැලඳ හුන් වටිනා මුතු මාලය බුලතාගේ භාර්යාවට පලඳවා උපහාර දැක්වූවා ය. කුමරුන් ද තමන් කර පැලඳි වටිනා ස්වර්ණමය උර පලඳනාව ගලවා බුලතාගේ කර පලඳවා උපහාර දක්වා ඔහුට ගම්වරයක් ලබා දී නම්බු නාමයක් ද පිරිනැමුවේ ය. නන්දිමිත‍්‍ර යෝධයා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව බුලතා, හෙළ යෝධාවලියට ද එක් වූ අතර දස මහා යෝධයන් අතරේ එකොළොස් වැන්නා බවට ද පත් විය.

එවකට ගැමුණු කුමරුන් රට, දැය, සමය බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරට සේනා සන්නද්ධ කරමින් සිටි නිසා ම බුලතා, ගාමිණී අභය රාජ සභාවේ වාරි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසින් පත්කළ බව ද කියැවේ.

මෙය හරබර වැව් කර්මාන්තයක් යැයි කුමරුන් පැවසූ හෙයින් එතැන් පටන් මේ වාරි කර්මාන්තය ‘හරබර වැව’ නම් විය. හරබර වැව පසු කලක දී ‘සරබර’ වැව වශයෙන් ව්‍යවහාර වීඇති අතර පසු කාලීන ව ‘සොරබොර’ වැව නමින් ජන වහරේත්, ඉනික්බිති වාරි කර්මාන්ත පත පොතෙහිත් භාවිත වන්නට විය.

ඔන්න බලාපන් බුලතා කරපු බලේ

යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ

එන යන්නෝ ඉඩ නෑරම බැලූම් ගලේ

සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ

ඒ, බුලතාගේ අසහාය වාරි කර්මාන්තය පිළිබඳ ඌව වෙල්ලස්සේ අදටත් ප්‍රකට ජන කවියකි. කවියා දක්වන පරිද්දෙන් ම ‘‘සොරබොර වැව නො දුටු දෑස් මොට ද පින් කළේ…?” කියා සිතෙන්නේ මෙහි යටගියාව පිළිබඳ දැනුවත් වූ පසු ව ය. ඌව වෙල්ලස්සේ බින්තැන්න (මහියංගණය) ඉසව්වට ඔබටත් යාමට අවස්ථාවක් ලැබුණහොත් සොරබොර වැවේ අසිරිය මඳක් හෝ විඳිනට අමතක නො කළ යුතු ම ය. ඔරුවේ නැඟ ගොස් වැවේ සිරි නරඹන්නට ද ඔබට අවස්ථාව ඇත. එය ඔබ දිවියේ සොඳුරු මතකයන් අතරට එක්වනු නො අනුමාන ය.

‘පින’ ගැන නො ම දැන හුන් ලෝකයට ඒ ගැන පරිපූර්ණ ව කියා දුන් අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දිවා රෑ පින් වැඩෙන මහානීය පුණ්‍යකර්මයන් පිළිබඳ ව මෙසේ වදාරණ ලද සේක.

‘‘ජනතාව උදෙසා මල් පලතුරු වවන, රුක් රෝපණය කරන, ඒ දඬු පාලම් හදන, ගිමන් හල්, පැක් පොකුණු කරවන, ගෙවල් දොරවල් දන් දෙන යමෙක් වෙයි නම්, ඔවුන්ට දිවා රාත්‍රී දෙකේ හැම තිස්සේ ම පිං වැඩෙනවා.”
(වනරෝප සූත්‍රය – සං. නි)

බුලතා යෝධයා විසින් සාදන ලද්දේ වැවකි. ඔහුගේ බිරිය විසින් සාදන ලද්දේ මාවතකි. මේවා දිවා රෑ සුවහසක් ජනතාවගේ සහසක් අවශ්‍යතා සපුරාලයි. සුවපහසුව සලසාලයි. ඒ අයුරින් ම බුලතාට ද ඔහුගේ බිරිඳට ද දිවා රෑ පුරා වැඩෙනුයේ සුළුපටු පිනක් නො වේ. ඒ සියලූ පින් දැකබලා අපිදු අනුමෝදන් වන්නෙමු. තුන්කල් වෙනුවෙන් සිය කාලය, ධනය, ශ‍්‍රමය මුළුමනින් ම කැපකොට ඔවුන් විසින් සිදු කළ මේ මහානීය පුණ්‍යකර්මය උදෙසා වර්තමානයේ හදපිරි කෘතවේදීත්වය ඒ උදාරතර අතීතයට හිමි විය යුත්තේ ම ය. රට – දැය – සමය වෙනුවෙන් සිය වර්තමානය කැප කළ ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයිනට, සොඳුරු මිනිසුනට පුණ්‍යානුමෝදනා වේවා!

සැබැවින් ම සොරබොර වැව වැනි අද්විතීය නිර්මාණ ලක් මවුනට සැබෑ අභිමානයකි. සෑම ශ්‍රී ලාංකිකයකුට ම අභිමානයකි. හෙළයන් මේ විස්කම් පෑවේ බටහිර ජාතීන් කොළ අතු ඇඳ, මස් පුළුස්සා කමින් හුන් අවධියේ වීම එහි වටිනාකම වඩාත් තීව්‍ර කරයි. හාස්‍යයට කරුණ නම් අද අපට සියලූ දේ උගන්වන්නට එන්නේ ද ගුරුහරුකම් දෙන්නේ ද එකී බටහිරයන් ම වීම ය. කනගාටුවට කරුණ නම් පිටකොඳු බිඳගත් නිවටයන් රැළක් මෙන් අප ද බටහිරට ම ආවැඞීම ය.

සොරබොර වැවේ තාක්ෂණික වගතුග

ධාරා ප්‍රදේශය : වර්ග සැතපුම් 16.89

උපරිම ජල ධාරිතාව : අක්කර අඩි 16800

වැව් බැම්මේ දිග : අඩි 1590

වැව් බැම්මේ පළල : අඩි 20

වගා බිම් ප්‍රමාණය : අක්කර 3000

වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග : සැතපුම් 1 දම්වැල් 32.5

දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග : සැතපුම් 3 දම්වැල් 20

පසු සටහන :
ඒ එකල ය. රජවරුන් ද එකල ය. මැති ඇමතීන් ද එකල ය. මහජනයා ද එකල ය. මෙකල ද රජවරු සිටිති. මැති ඇමතීහු ද සිටිති. මහජනයා ද වෙති. මෙකල ඒ සියල්ලෝ ම ඡන්ද දායකයෝ ද වෙති. මීළඟ වතාවේ කතිරය ගැසීමට පෙර…. එකල හා මෙකල වෙනස ප්‍රඥාවෙන් දැකීම බුද්ධිමත් ඔබට බාර ය.

ඇසුර : මහාවංශය, රාජාවලිය, ඞී.පී. වික්‍රමසිංහයන්ගේ මගදිගට ජන කථා සහ පුරාවිද්‍යා වාර්තා

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට යොමු කරන්න
071 555 66 66

උරුමයක සටහන
ඒ. කේ. බී. උඩුගම්පළ

උපුටා ගැනීම -https://mahamegha.lk

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *