බුදු රැස් විහිදෙන සෝමාවතී සෑ රජාණන් වහන්සේ

සුළග මිදිනි. හිරු නතර විනි. ගහ කොළ ගල් පිළිම සේය. කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේ

සාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිිළිරැව් දුන්නේය.

ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි.

දූවිලි වලාවන් මැදින් යන සෝමාවතිය ගමන තරමක්‌ කටුකය. එහෙත් එදින සතර දිග් භාගයෙන් පැමිණි බැතිමතුන්ගෙන් සෝමාවතිය පුදබිම එකම ජන ගගක්‌ බවට පත්ව තිබිණි. එමෙන්ම ඒ පින්බර දිනය පුරා සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස පින්කම් රැසක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. එදින රාත්‍රියේ වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර පැවැත්වීමට ද සියල්ල සූදානම් කර තිබිණි. ඒ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබා දී තිබුණේ කොළඹ ආර්ය සිද්ධි පදනම විසිනි.

සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි විශාල ජනකායගේ කුස ගිනි නිවීමට බත්, කඩල, සුප් දන්සල් සේම පිපාසය සංසිඳුවාලීමට සිසිල් පැන්, ඛෙලි මල්, තේ පැන් දන්සල් ද බොහෝමයකි. මේ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබාදීම සඳහා කොළඹ සිට විශාල සැදැහැවතුන් පිරිසක්‌ සෝමාවතිය පුදබිමට ගොස්‌ සිටියහ.

හිරුගේ රශ්මිය හමන සුළග මදකට සිසිල් කරන්නේය. අපි ඒ පුද බිම වටා ඇවිද ගියෙමු. ගහ කොළට මුවා වී ඉටි පැදුරුවලට බර දී ඇතැම්හු සිල් සමාදම් වී සිටියහ. තවත් බැතිමත්හු මොහොතකට විඩාව දුරුකරගනු වස්‌ තුරුපත් සෙවනේ හාන්සි වී සිටියහ. දෙනෝ දාහක්‌ බැතිමත්හු සෝමාවතිය පුද බිම වටා ඔබ මොබ ඇවිද යමින් සිටියහ. අපි චෛත්‍ය වටා සක්‌මන් කරමින් සිටිමු. ඇසිල්ලෙන් මේ ඓතිහාසික පුද බිමේ ආශ්චර්යවත් සිදුවීම් පෙළක්‌ මගේ සිතේ පෙළගැසෙන්නට විය. ඒ සෝමාවතියේ අප දැන සිටි ආශ්චර්ය පමණි. අප නොදත් තව බොහෝ දේ ඒ අසිරිමත් පුද බිමේ සිදුව ඇති බවට සැක නැත.

ඒ ගැන හොඳින්ම දැන සිටින්නේ සෝමාවතිය රජමහා විහාරයේ වැඩ සිටින විහාරාධිපති අතිපූජ්‍ය රාජකීය පණ්‌ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. සෝමාවතියේ නොදත් ආශ්චර්ය ගැන විමසා බැලීමට දැන් අපි උන්වන්සේ බැහැ දකිමු.

මම මේ චෛත්‍යයෙන් බුදු රැස්‌ විහිදෙනවා මුලින්ම දැක්‌කේ 1967 අවුරුද්දෙ. එතකොට මෙච්චර දියුණු නැහැ. ලැගුම් ගන්න හරියට පන්සලක්‌වත් තිබුණෙ නැහැ. ඊට පස්‌සෙ 1983 අවුරුද්දෙ චෛත්‍ය වහන්සේට කොටි පහර දුන්නා

සුපහන් සිදුවීම් පෙළකින් පිරී තිබුණු මගේ සිතට කාලකණ්‌ණි මතකයක්‌ නැගෙන්නට විය. මේ ප්‍රදේශ මිනී මරු කොටි ග්‍රහණයේ පැවති සමයේ මේ ඓතිහාසික පුද බිම ගණ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. එමෙන්ම ත්‍රස්‌තවාදීහු මේ පුද බිමේ පිවිසුම් දොරටුව වන සුංගාවිල ප්‍රදේශයේ සිටි මිනිස්‌සු පවුල් පිටින් කැති ගා දැමූහ. ඒ කාලේ මරණය සුලභ බැවින් එබඳු මරණය සමාජය තුළ කම්පනයක්‌ ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මිනී මරු ප්‍රභාකරන් මේ රටේ ජන ජීවිතවලට ගිනි අවුලා තිබුණේ එලෙසිනි.

ත්‍රස්‌තවාදීන්ගෙන් මේ ප්‍රදේශ මුදාගත්තට පස්‌සේ 2002 අවුරුද්දෙ අපි නැවත පන්සලට ආවා. ඒ අවුරුද්දෙම අප්‍රියල් 26 වැනිදා උදේ මම අවදිවෙලා චෛත්‍ය දිහා බලන කොට බුදුරැස්‌ විහිදෙනවා. අලි ඇවිත් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කාලේ අපිට පින්තූර ගන්න කැමරා තිබුණෙ නැහැ.

නැවත චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය කරලා 2002 අවුරුද්දෙම ජුනි මාසේ 19 වැනිදා කොත් පළඳවන අවස්‌ථාවේත් බුදුරැස්‌ විහිදුනා. ඒ අවස්‌ථාව නම් ඡායාරූපයකට අරගන්න පුළුවන් වුණා. මෙතැන බෝධීන් වහන්සේ නමක්‌ වැඩ සිටියේ නැහැ. මේ ස්‌ථානය ටික ටික දියුණු වී ගෙන එනකොට බෝධීන් වහන්සේ නමක්‌ ඉබේම පහළ වුණා.

2003 අවුරුද්දෙ පෙබරවාරි 4 වැනිදා පිරිත් පින්කම් දවසේ පාන්දර 1.30 ට විතර චෛත්‍ය උඩින් විශාල දුමක්‌ ඇවිත් මොහොතකින් බුද්ධ රූපයක්‌ මතු වුණා. ඒ වගේම මුලින්ම දළදා පෙරහැර පවත්වනකොට චෛත්‍ය ඇතුළෙන් එළියට පෙරහැරක්‌ ආවා. දළදා පෙරහැර පැවැත්වූවේ අලි ඇතුන් ඇතිවයි. පෙරහැරට ඉස්‌සරින්දා කැලෙන් පුංචි අලි පැටියෙක්‌ ඇවිත් මගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා. ඒ අලි පැටියත් එදා පෙරහැරේ ගියා. ඒ අලි පැටියත් එක්‌ක සුදු අලි පැටියෙකුත් පෙරහැර යනවා මිනිස්‌සු දැකලා තිබුණා. ඡායාරූපවලටත් හසු වෙලා තිබුණා. ඒක වුණේ 2009 අවුරුද්දෙ ජුලි 08 වැනිදා. ඒ මාසෙම ජුනි 28 වැනිදා චෛත්‍ය ඇතුළෙන් සුදු අලි පැටියෙක්‌ එළියට ඇවිත් පුංචි දරුවකුගේ ඇගේ හැපිලා තියෙනවා. ඊට පස්‌සෙත් කීප වතාවක්‌ම බුදු රැස්‌ විහිදුනාල

නැවත අපි බැතිමතුන් අතරට ගියෙමු. ගිනි මද්දහනේ මිනිස්‌සු පෝලිම් ගැසී සිටිති. සෑම කෙනෙකුගේම සුරතේ අටපිරිකරකි. සෙසු පිරිකර දෑතට ගත් බැතිමතුන් ද නොසිටියාම නොවේ. සාධු නාදය පුද බිම සිසාරා යද්දී අටපිරිකර පෙරහැර චෛත්‍ය රජායාණන් වහන්සේ අභියසට එක පෙළට ගමන් කරයි. පෙරහැරේ ගමන් කළ දහසකට වැඩි බැතිමතුන් අතරින් එක්‌ මවක්‌ අසල මගේ දෙනෙත් නතර විය. හරි හැටි ඇවිද ගැනීමට බැරි තරමට ඇය වියපත්ය. දෙනෙත් පෙරහැර පුරා ගමන් කරයි. මේ සා වියපත් මවක්‌ නම් මගේ ඇස නොගැටේ. අටපිරිකර පෙරහැර අවසානයත් සමග මම ඒ මව අසලට ගියෙමි.

අම්මා කොහේ ඉඳන්ද ආවේ… ඇයව කතාවට සම්බන්ධ කරගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි.

දඹදෙණියෙ ඉඳලා.

අම්මගෙ නම…?

ලීලා බෝතේජු.

අම්මා කොච්චර කාලෙක ඉඳලා සෝමාවතිය වඳින්න එනවාද?

මම මුලින්ම ආවේ 1960 ගණන්වල පුතේ… එතකොට මේවා මහා කැලෑව. චෛත්‍ය ගරා වැටිලා. ඉන්නත් බයයි. ඉක්‌මනට චෛත්‍ය වැඳලා ආපස්‌සට දුවනවා. ඒ කාලේ සුංගාවිල ඔයෙන් එගොඩ වෙන්න පාලම් තිබුණෙ නැහැ. පාරුවෙන් එගොඩ වෙලා සෝමාවතියටම ආවේ පයින්. ඉඳල හිටලා ට්‍රැක්‌ටර්යක්‌ හම්බ වෙනවා. නැත්නම් හැතැප්ම දොළහම පයින් ගාටන්න ඕනා. එහෙම එන වෙලාවට පාර අයිනේ අලි ඉන්නවා. කිසිම දවසක උන්ගෙන් අපිට හිරිහැරයක්‌ වෙලා නැහැ.

එක දවසක්‌ පුතේ අපි එනකොට තුන්පත් රැන අපේ ඉස්‌සරහරට එනවා. අපි එකතැන නතර වුණා. දැන් ගහයි… දැන් ගහයි කියලා බය හිතුනා. අනේ පුතේ උන් තුන්දෙනා අපි දිහා බලාගෙන ඉඳලා අපිට යන්න දීලා පාර අයිනට ගියා. මේ කැලේ සත්තුත් මේ පින්බිම වැඳ පුදා ගන්නවා පුතේ…

ලීලාවතී අම්මාට දැන් වයස අවුරුදු 88 කි. 2002 වර්ෂයේ සෝමාවතිය පුද බිම නැවත ප්‍රතිසංස්‌කරණය කර වැඳුම් පිදුම් සඳහා ජනතාවට විවෘත කළ දින සිට සෑම වසරකම ඇය සෝමාවතිය වඳින්නට එයි. අපි ලීලාවති අම්මා සමග කතා කරමින් සිටියදී ඇයත් සමග පැමිණි තවත් මවක්‌ අප සමග කතාබහට එක්‌ වූවාය.

මෙතැන පුදුම විදිහට හාස්‌කම් තියෙන තැනක්‌ මහත්තයෝ… මේ චෛත්‍ය දිහා බලාගෙන මොනවහරි ප්‍රාර්ථනා කළොත් ඒක තක්‌කෙටම හරි යනවාල

අපේ ගෙවල් තියෙන්නෙ අලව්වේ. මගේ රට ඉන්න ලොකු පුතා කියනවා එයාට ඉබ්බාගමුවෙන් ඉඩමක්‌ ගන්න කියලා. මම පුතාට කිව්වා… පුතේ ඉබ්බාගමුව ගොඩක්‌ දුරයි ඒ වගේම දුෂ්කරයි අපි ගෙවල්වලට කිට්‌ටුවෙන් ඉඩමක්‌ ගමු කියලා. කොහේද පුතා අහුවෙම නැහැ. ඊට පස්‌සෙ මමයි මහත්තයි ඉඩම් බලන්න ඉබ්බාගමුවේ නොගිය තැනක්‌ නැහැ. අපි එහෙම ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි. පුතාගෙ බලකිරිල්ලට. අපිට ඉන්නෙ දරුවො දෙන්නයි. ඒ දෙන්නව අපි ළගින් තියාගන්න තමයි අපි කැමතියි. මගේ හිතටත් මේක හරිම වධයක්‌ වෙලා තිබුණෙ.

මේ වෙසක්‌ පෝයට අපි පොළොන්නරුවෙ ආපු වෙලාවේ සෝමාවතිය වඳින්නත් ආවා. එතකොට මම චෛත්‍ය දිහා බලාගෙන මගේ හිතේ තියෙන ප්‍රශ්නය කියලා දරුවගෙ හිත වෙනස්‌ කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරලා ගෙදර ගිහින් දවස්‌ දෙකක්‌ විතර යනකොට ලොකු පුතා මට කතා කරලා කියනවා ~අම්මේ මට ගම පැත්තෙන්ම ඉඩමක්‌ හොයන්න. මම ඉබ්බාගමුව පැත්තට යනවට අම්මල කැමතිත් නැහැනේ කියලා. මට අදහාගන්න බැරි වුණා. අපිට වෙනස්‌ කරගන්න බැරි වුණු පුතාගේ හිත එක පාරටම වෙනස්‌ වුණේ කොහොමද? ඇත්තටම මේ පින්බිමේ බලයෙන් තමයි එහෙම වුණේ…

අලව්වේ සිට පැමිණ සිටි චන්ද්‍රාවතී අම්මා අපේ කතාවට එසේ ජීවයක්‌ එකතු කළාය. එහෙත් මේ අසිරිමත් පුදබිමේ ආශ්චර්ය මෙන්ම හාස්‌කම් ගැන තව තවත් අපිට කතාබහර කිරීමට කාලය ඉඩ නොදේ. කළුවර වැටෙන්නට තව ඇත්තේ හෝරා දෙකකටත් අඩු කාලයකි. වෙනත් දිනයක සෝමාවතියේ දළදා පෙරහැර නරඹන බලාපොරොත්තුවෙන් අපි ඒ පුද බිමෙන් සමු ගත්තෙමු.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *