බුදු රජුන් දෙසු ලෝකයේ දුර්ලභ කරුණු මෙන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ


කිච්ඡං මච්චාන ජීවිතං


කිච්ඡං සද්ධම්ම සවණං


කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර මහරි වෘක්‍ෂයක් මුල වැඩ සිටින සමයෙක ඒරකපත්ත නාරජු අරබයා මෙම ගාථාධර්මය දේශනා කළ සේක. මෙකී ඒරක පත්ත නාගරාජයා පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම බුදු සසුනෙහි දිවි ඇතිතෙක් මහණ දම් පුරා එහෙත් උතුම් මිනිස් දම් නොලබාම යළි පාප කර්මයක ප්‍රතිවිපාක වශයෙන් සසරගතව තිරිසන් ආත්මයක් ලැබූවෙකි.

එදවස කිසියම් කාරණයකට ගඟකින් එතර වීම සඳහා අගුලකට නගිද්දී ඒරුගසක අත්තක් අල්ලා ගන්නා ලදින් එයින් කොලයක් කැඩී ගඟට වැටින, උපසපන් භික්‍ෂුවක් ගස්වැල් සිඳ බිඳ දැමීම ආපත්ති දෝෂයක් බැවින් ආයති සංවරය සඳහා ඇවැත්දෙසිය යුතුවේ. එහෙත් මෙම භික්‍ෂුව එසේ ඇවැත් නොදෙසීමෙන් එම අරමුණ පිළිබඳව චිත්තසන්තානයේ කැළඹීමක් ඇතිවී මරණාසන්න චිත්ත වීථියට සංයුක්තව මරණින් පසු ඔරුවක් පමණ විශාල නාගරාජයෙක්ව උපන්නේය. අප බුදුරදුන් බරණැස මහරිරුකමුල වැඩ සිටින බව දැන එතැනට පැමිණ සිරිපා වැඳ අඬන්නට විය. කාශ්‍යප බුද්ධ කාලයෙන් පසු මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් දැක පිනක් කිරීමට නොහැකි වීමත් නිසා ශෝකය ඉවසුම් නැතිව ඇඬෙන බව බුදුරදුන්ට ප්‍රකාශ කළේය. නාගරාජයාගේ මෙම ශෝචනීය ස්වභාවය නිමිත්තෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ දුර්ලභ කරුණු හතරක් දේශනා කර වදාළ සේක.

විශ්වයේ අපමණ ලෝකවල අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් සිටින නමුත් මෙම සක්වල මිනිස්ලොව මිනිස් බව ලබන සත්වයන් ඉතාම ස්වල්ප වන අතර මිනිසත් බව ලබා ගැනීමද ඉතා දුෂ්කර වේ. සිතිවිලි අනුව භවය පවත්නා බව සත්ව විශ්ලේෂණයේදී ප්‍රකට වන පරම සත්‍ය ධර්මතාවයකි. විද්‍යාව හා ආගම යන විෂය දෙකම සත්වයාගේ පැවැත්මට අදාළ වන අතර මිනිසාගේ හා සෙසු ජීවින්ගේ උපත හා පැවැත්ම සත්ධර්ම හා අසත්ධර්මයන්හි ප්‍රතිවිපාක ලෙස සිදුවන බව බෞද්ධ දර්ශනයේ පැහැදිලි වේ. චින්තනයෙන් උස් පහත් වීම මනුෂ්‍ය තිරිසන් වෙනස බව පිළිගැනීම සෑම ආගමක මෙන්ම විද්‍යාවෙන්ද ඉගැන්වෙන නමුත් එම චින්තනය යථාපරිදි වෙනස් කිරීමට මනුෂ්‍යත්වයට අදාල වන ලෙස සකස් කිරීමට අවශ්‍ය මානසික භූමිකාව ගොඩනගාගන්ට උගන්වන එකම විෂය බුදුදහමයි. එහෙත් එය අන්තර්ඤාණයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට නොහැකි කෝටි සංඛ්‍යාත මිනිසුන් මනුලොව ජීවත්වීම නිසා සෙසු මිනිසුන්ටද එම ප්‍රවණතාවය විශාල පීඩනයකි. මෙයට ප්‍රධාන හේතු කීපයකි.

01.මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳව නොසිතීම

කර්ම නියමය නොපිළිගැනීම

විවේක බුද්ධියක් නොතිබීම

භෞතික සම්පත් පිළිබඳ ආශාව

මේ නිසා අතීත පිනකින් මිනිසත් බව ලැබුවද කෝටි සංඛ්‍යාත මානව සමාජයේ මිනිස් සිතකින් ජීවත්වන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මනුෂ්‍ය සමාජයේ වැඩි පිරිසකට මනු කය පැවතියද චින්තනය තිරිසන් වේ. එම මිනිසුන් මානව පරපුරටම ශෝක සන්තාප ගෙන දී යළි උපදින්නේ තිරිසන් කයෙනි. මේ ලෝකයේ ඉතාම දුෂ්කර වන්නේ මනුෂ්‍යත්වය ආරක්‍ෂා කිරීමයි. එවන් බෞද්ධයෙක්ව බුද්ධ ශාසනයේ පැවිදිව ශ්‍රේෂ්ඨ මහණකම ආරක්‍ෂා කරගන්නේ නම් ඒ උතුමා යථාර්ථයෙන්ම කයින්, මනසින් ආශ්චර්යවත් උත්තරීතර මනුෂ්‍යයෙකි. එවන් මනුෂ්‍යත්වය ලබාගැනීම ඉතා දුෂ්කර බව බුදුරදුන් විසින් හේතුඵල සහිතව දේශනා කරන ලදී.

“ මිනිසත් බව ලැබීම මෙන්ම පවත්වාගෙන යාමද ඉතා දුෂ්කර වේ. මිනිසෙකුට මනුෂ්‍යත්වය ආරක්‍ෂා කර ගැනීමට ප්‍රධාන කාරණා කීපයක් අත්‍යවශ්‍ය වේ.

මනුෂ්‍යත්වය පිළිබඳ මනා දැනීම

ධාර්මික ජීවන පැවැත්ම

ජීවන දර්ශනය

කල්‍යාණ මිත්‍ර සේවනය

අතීත සංසාරික ජීවිතවලදී කළ කුසල චේතනාවක ප්‍රතිවිපාක වශයෙන් මානුෂික මවුපියන්ගෙන් උපදින්නට වාසනාවන්ත වූ මිනිසෙකු ක්‍රමයෙන් කයින් මනසින් හැදී වැඩී මනුෂ්‍යත්වය පිළිබඳ දැනීමක් ලබා ගත යුතුවේ. විශේෂයෙන් මෙයට පරිසරය මහෝපකාරී වන අතර ආධ්‍යාත්මික ගුණයෙන් මූර්තිමත් මිනිසුන් හා සුන්දර පරිසරය තුළින් සත්පුරුෂයන් බිහිවන අතර අසත්පුරුෂයන් සිටින අසුන්දර අපි‍්‍රය පරිසරයක අසත්පුරුෂ මිනිසුන් බිහිවීම ස්වාභාවික වේ.

මිනිස් කය උපදින විට ලැබෙන අතර මිනිස්කම අවබෝධයෙන් ලැබේ. එය ආරක්‍ෂා කර ගැනීමට ධාර්මික ජීවන පැවැත්මක් අත්‍යාවශ්‍ය වේ. “ ධම්මිකෝ ධම්මජීවි “ යනුවෙන් අප බුදුරදුන් වදාළ පරිදි ප්‍රාණඝාත අදත්තාදානාදී පස් පව් කිරීමෙන් වැළකී ධාර්මික ජීවන පැවැත්ම උදාර මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියයි. කෙතරම් සමාජය පරිවර්තනය වුවද ධාර්මික ජීවන වෘත්තියක් නොමැති නම් උපයා සපයා ගන්නා සම්පත මිනිස්කමට විපතක්ම වේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවට අනුව සම්මා කම්මන්ත සම්මා ආජීව යන ආර්ය ගුණාංග මිනිසත් බව ආරක්‍ෂා කර ගැනීමට ද ලෝකෝත්තර නිවන් සුව ලැබීමට ද හේතු කාරක වේ. ලෝකයේ ඉතා දුර්ලභ කාරණා අතර සත්ධර්මය ඇසීමද කාලාන්තරයකින් ලබන වාසනාවකි. ධර්මය ලෝක ස්වභාවයයි. එය සත් අසත් වන්නේ මිනිසාගේම චින්තනයෙන් හා ක්‍රියාකාරිත්වයෙනි. බුද්ධාදී උත්තමයන් ලෝක ධර්මය දේශනා කරන්නේ අවබෝධයෙන් පරාර්ථකාමී මහා කරුණාවෙනි. එබැවින් බුද්ධ ධර්මය සම්පූර්ණයෙන්ම සත්ධර්මය වන අතර එය ඇසීමෙන් දැරීමෙන්, පිළිපැදීමෙන් දෙලොව යහපත ඒකාන්තයෙන් ලැබේ.

ලෝක ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් නොදැන අනුමානයෙන් දැනගෙන ආත්මාර්ථකාමිත්වයෙන් සිතන කියන දේශනා අසත්ධර්මය වේ. එවන් දහම් ලොව සැමදා අසන්නට ඇති නමුත් සත් ධර්මය අසන්නට වාසනාවන්ත වන්නේ කල්පාන්තරයකට පසුව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් මනු ලොවක, මිනිසත් බව ලබා අවබෝධයෙන් එම බුදුරදුන් ට සවන් දීමෙනි. ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය. සත්ධර්මය ඇසීමෙන් , සිතීමෙන් බිනීමෙන් පිළිපැදීමෙන් වන්නා වූ ආනිශංස අපමණය. ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය, භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ , ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින් සැනසීමට හේතු වෙයි . පරපුරෙන් පරපුරට ඉපදෙනා මැරෙණ, කෝටි ප්‍රකෝටි මිනිසුන් අතර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම සිදුවන්නේ කල්පාන්තරයක් ගත වූ පසුය. එවන් ආශ්චර්යවත් අවස්ථාවක අති දුර්ලභ වූ, උතුම් මනුෂ්‍යත්වය ලබා එම බුදුරදුන් කරා පැමිණීමට බුදුබණ අසා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරීමෙන් සසරින් මිදීමට ලැබීම කෙතරම් වාසනාවක්ද?.
384

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *