බුද්ධ වන්දනාව කරද්දී මේ විදියට හිතන්න

බෝධිසත්වයාණන් වහන්සේ විසින් විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ප්‍රථම “මම බුදු වී ලෝක සත්වයාව සංසාර දුකින් එතෙර කරමි” යැයි කියන පළමු සිතුවිල්ල සිතට ආ දින සිට බුදු වන තෙක්ම අප වෙනුවෙන් කල කැපකිරීම් කොතෙක්ද ? මනෝපණිදානය, වාග් පණිදානය පුරමින් දාන, ශීල,නෙඛ්කම්ම ආදී වූ දස පාරමිතා පුරමින් නිමක් නොපෙනෙන සංසාරයේ පැමිණෙන ලදි. අප්‍රමාණ දුක් විදිමින් ඇස්, හිස්, මස්, ලේ දන්දෙමින් , ප්‍රාණය සේ වූ තම දරුවන් සහ භාර්‍යාව දන් දෙමින් කුරා කූබියෙකුටවත් වරදක් නොකර ඉතාම පවිත්‍ර වූ මාර්ගයක පැමිණියහ. බෝධිසත්ව මූලයෙදී තමන්ව කෑලි වලට කපද්දි පවා තරහ සිතක් නොගෙන උතුම් ගුණ දම් පුරන ලද්දේ මා වෙනුවෙන්ම නොවෙහිද? සෘධි සහිතවම රහත් වීමට හැකිව පවතිද්දී පවා, අතට පත් නිවන පවා අතහැර සාරා සංඛ්‍ය ක්ලප ලක්ෂයක් මේ සංසාරයේ වචනයෙන් කියා නිමකළ නොහැකි තරම් ද, එමෙන්ම සිතින්ද සිතා නිමකල නොහැකි තරම් අප්‍රමාණ කැප කිරීම් කරන ලද්දේ මා වෙනුවෙන්ම නොවෙහිද?

අනන්ත සංසාරයේ ඔබ වහන්සේ තනිවම මා වෙනුවෙන්ම පරමි පුරද්දි මා ඔබ වහන්සෙට විරුද්ධ පවා නැගී සිටින්නට ඇත.

බුදුවන ආත්මයේ සා අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට අපමණ වූ දුක් විදිමින් මා වෙනුවෙන්ම මේ සංසාර දුකින් එගොඩ කරන්නට පැමිණ බුදු වන මොහොතේ දී, ඒ මාර සේනාව පැමිණෙන විටදී දෙවිවරුන් පවා ඔබ වහන්සේ තනිකොට දමා පලා යනවිට, මා වෙනුවෙන්ම පැමිණියත් මමවත් ඔබ වහන්සෙ ළඟ නොසිටින ලදි. මෙපමණ පාරමිතා පුරමින් බුද්ධගයා බෝධි මුලයේදී දසබිම්බරක් මාර සේනාව පරාජය කරමින් මුළු ලෝකයේම අවිද්‍යා අන්ධකාරය දුරලමින් සවණක් ඝණ බුදුරැස් විහිදුවමින් දුටුවන්ගේ සිත් සුවපත් භාවයට පත් කරවමින් මා ඉදිරියේ මේ වැඩ සිටින්නේ සම්බුද්ධ රාජ්‍ය දිනූ මා වෙනුවෙන්ම පැමිණි මාගේ ඒ අමා මෑණි බුදුපියාණන් වහන්සේ නොවෙහිද ?

සුගත වූ මාර්ගයෙන් ම බුද්ධත්වයට පැමිණි මාගේ අමා මෑණී සුගතයන් වහන්සේගේ ගුණස්කන්ධය මෙතෙකැයි කියා නිම කිරීමටද එමෙන්ම සිතින් සිතා නිම කිරීමට ද නොහැක්කේය. මේ මුළු මහත් විශ්වය පමණක් නොව තුන් ලෝකයම උන් වහන්සේගේ ගුණස්කන්ධය එකතු කොට ගොඩ ගැසීමට ප්‍රමාණවත් නොවන්ණේය.

සවනක් ඝණ බුදු රැස් මුලු විශ්‍වයටම විහිදුවමින් මහා කරුණාවෙන් වැඩ සිටින ඔබ වහන්සේගේ ගුණස්කන්ධය කියන්නට මට වචන නැත. එම ගුණස්කන්ධය සිතන්නට මගේ සිත මදිය.

බුදු පියාණන් වහන්ස,…. ඔබ වහන්සෙ “අරහං” නම් වන සේක. “සම්මා සම්බුද්ධ” , “විජ්ජාචරණ සම්පන්න” නම් වන සේක. “සුගතෝ”, “ලෝකවිදු”, “අනුත්තරෝ පුරිසදම්ම සාරතී” , “සත්තා දේව මනුස්සානං”, “බුද්ධෝ”, “භගවා” නම් වන සේක.
බුදුපියාණන් වහන්ස, ඔබ වහන්සේ අසම සම වන සේක.

ඔබ වහන්සේ නිසා මා කොපමණ නම් අද දමනය වී ඇත්ද? ඔබ වහන්සේ ගැන විශ්වාසය තබා ඔබ වහන්සේ මුවින් දෙසූ ඒ උතුම් ශ්‍රි සද්ධර්ම රත්නය ගැන විශ්වාසය තබා ඒ උතුම් අෂ්ඨ පුද්ගල ආර්‍ය් සංඝ රත්නය ගැන විශ්වාසය තබා ඔබ වහන්සේ පෙන්වූ ඒ මාර්ගයේ ගමන් කිරීමට පටන් ගත් දින සිට මා ලද සැනසීම කොතෙක්ද? එම සැනසීම සදාකාලිකවම ලද දෙවියන් මනුෂ්‍යයින් බ්‍රහ්මයින් කෙසේ සැනසෙන්නට ඇත්ද?. අතීතයේ පමණක් නොව වර්තමානයේද අනාගතයේද ඒ අයුරින් නිවීමෙන් පිරිනිවීමෙන් අනන්ත සත්වයො සැනසෙන්නෝය. ඔබ වහන්සේ අසංඛ්‍යය ගණන් සත්වයින්ට සැනසීම උදා කරදෙන ලද සේක. ඔබ වහන්සේ අසරණ මා වෙනුවෙන්ම, අසරණ අපි වෙනුවෙන්ම පැමිණියේ එබැවිනි. ඒ උතුම් බුද්ධ රත්නයට මාගේ ජිවිතය පූජාම වේවා. මෙපමණ කාලයක් අප වෙනුවෙන්ම පැමිණි උන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන්ම පූජා කරමු.

~අමා සුව~

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *