පූජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනයක්

පූජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනයක් මාවනැල්ල හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණි. හෙම්මාතගම එක්සත් බෞද්ධ බලමණ්ඩලය විසින් මෙම ධර්ම දේශනය සංවිධානය කර තිබුණි. එහිදී ධර්ම දේශනය පැවැත්වූ දේශකයාණන් වහන්සේ මෙසේ පැවසූහ.
‘අනාගතයේ ධනවත්වීමට නම් අද ඔබ අධිෂ්ඨානයෙන් ඉගෙන ගත යුතුයි. රටේ ප්‍රබල ප්‍රධාන වෘත්තීන්වලට අපේ දරුවෝ පත් වෙන්නම ඕනෑ. එක අත්‍යවශ්‍යයි. එය රාජ්‍ය අංශයේද පුද්ගලික අංශයේද කියලා වැඩක් නැහැ. ඔබ මුදල් ඉපැයිය යුතුයි. ඒ නිසා ඔබ ඉපැයිය යුත්තේ කොතැනින්ද, එතැනින් උඩට යන්න ඕනෑ. හැබැයි මතක තියා ගන්න, අපි මුදල් ඉපැයිය යුත්තේ වැරදි ක්‍රමෝඋපායන්ගෙන් නොවෙයි කියලා. අපට ඒවාට අයිතියක් නැහැ.* යැයි පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පැවසූහ.එහිදී වැඩිදුරටත් දේශනයේ යෙදුණ උන්වහන්සේ,

‘අපි ඉන්න ඕනෑ සම්මා කියන පදයට යටත්ව යහපත්වයි. අපි සල්ලි උපයන ක්‍රමය නිවැරදි වෙන්න ඕනෑ. අපිට අයිතියක් නැහැ මත්ද්‍රව්‍ය, මත්වතුර, වස විෂ විකුණන්න. ඒවගේම මිනිස් ජාවාරම් සිදු කරන්න, සත්තු මරලා විකුණන්න අපිට අයිතියක් ඇත්තේ නැහැ. එවැනි දේවල්වලින් වැළකී ධර්මානුකූලව ව්‍යාපාර කරලා හෝ වෘත්තියක නියැළිලා මුදල් ඉපයිය යුතුයි.

ඒක තමයි අපේ තථාගතයාණන් වහන්සේ නිවනට හානි නොවෙන්න දුකෙන් නිදහස් වන ගමනට හානි නොවෙන්න අපිට ජීවත් වෙන්න කියපු ක්‍රමවේදය. උට්ඨාන වීර්යය තිබෙනවා නම් කැපවීම තිබෙනවා නම් අපිට අපේ රටේ සල්ලි හොයාගන්න බැරිකමක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ කම්මැලිකමයි. සිංහල බෞද්ධ ගෙදරක එක් කෙනෙක් හම්බ කරද්දි කීදෙනෙක් නිකම් කන්න ඉන්නවාද? එක් අයෙක් උපයද්දී අනෙක් අය සියලු දෙනාම යැපෙන්නෝ. අර දෙන්නා තමයි සියලුදෙනා ජීවත් කරවන්නේ. එහෙම වෙද්දී අපේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැහැ.

අවුරුදු 18 වැඩි හැම දුවෙක් සහ පුතෙක්ම සල්ලි හම්බ කරන්න ඕනෑ. ලැබෙන රැකියාව කුමක් වුණත් අනතිමානීව එය සිදු කළ යුතු වෙනවා. ඔබ අභිමානවත් වෙන්න ඕනෑ මට රැකියාවක් තියෙනවා කියලා.
අපිට සිද්ධවෙලා තියෙන්නේ අපේ මානය වැඩිකම. මානය වැඩි නිසා සාමාන්‍ය පෙළ පාස් වුණේ නැති කෙනාත් හොයන්නේ කන්තෝරුවල වැඩ කරන්න. නිකම් කන්තොරු නොවෙයි වායු සමීකරණය කරපු කන්තෝරුවල ටයි පොල්ලකුත් දාගන්න පුළුවන් නම් තවත් සතුටුයි.

නමුත් සාමාන්‍ය පෙළවත් අසමත් දරුවන්ගේ දෙමවුපියොත් තමන්ගේ දරුවන්ට දේශපාලඥයන් ගාවට ගිහින් ඉල්ලන්නේ රජයේ රැකියාවක්. නිකම් අවුරුදු 20ක් විතර ගිලින්න පුළුවන් රැකියාවක් තමයි හොයන්නේ. මම ඔබට යෝජනා කරනවා කරුණාකරලා මේ හිතන ක්‍රමයෙන් නිදහස් වුණේ නැත්නම් අපි ජාතියක් විදිහට ඉතාම අසමත් කියලා. ඒ නිසා මේ හිතන විදිහ වෙනස් කර ගන්න.

මම ඇමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් 40කට ගිහින් තියෙනවා. ඒ රටවල්වලදී මම දැකලා තියෙන දේවල් මම හිතන විදියට අපේ ජාතියට නම් ඉතා ආදර්ශවත්. මම ඇමෙරිකාවේ වර්ජිනියා නුවර මා වැඩ සිටි ස්ථානයට එනවා නගර සභාවේ කුණු ගෙනයන ලොරිය. එහි එක්කෙනායි එන්නේ. රියදුරාත් ඔහුයි. කසළ පටවා ගන්නෙත් ඔහු. එයා හරි සතුටින් ඒක කරන්නේ. ගෙවල් හිමියන්ට ඉතා සතුටෙන් කතා කරලා සුබ උදෑසනක් කියලා කියමින් කුණු භාජනය ඉල්ලා ගන්නවා. හරි අභිමානයෙන් ඔහු ඒක සිදු කරන්නේ.


මම ඔහුගෙන් ඇසුවා ඔබට අසතුටක් නැද්ද ඔබට මෙ කුණු අදින්න වුණු එක කියලා. ඔහු නැහැ කියලා කියන්නේත් ඉතා සතුටින්. මේක මගේ රැකියාව කියලා ඔහු පවසන්නේ ඉතාම ආඩම්බරයෙන්, අභිමානයෙන්. එයාලා සතුටු වෙන්නේ එයාට රැකියාවක් තියෙනවා කියලා. අපි සතුටු වෙන්නේ ලෝකයේ ලොකුම රැකියාවක් ලැබුණාම, අඩුවෙන් වැඩකරන්න පුළුවන් රැකියාව ලැබුණාම, වැඩිම කපටි වෙන්න පුළුවන් රැකියාව ලැබුණාම. ඔක්කොම හොයන්නේ ආණ්ඩුවේ රැකියාවක්.


අපි පුද්ගලික අංශයේ හරි හොඳ රැකියාවක් ගන්න සුදුසුකම් ලැබිය යුතුයි. පුද්ගලික අංශයේ හිටියා කියලා සල්ලි නැත්තේ නැහැනේ. පොඩි වයසින් වෙනත් දේවල් ඔළුවට දාගත්තට පස්සේ තමයි ළමා මවුවරුන් බිහිවෙන්නේ. ඒකෙන් තමන්ගේ වගේම රටේ ආර්ථිකයත් දුර්වල වෙනවා. අන්තිමේට හිඟා නොකා හිඟාකන තත්ත්වයට සිංහල මිනිස්සු ටික පත් වෙනවා. ඒ නිසා ඉගෙන ගන්න තාත්තලාත් අම්මලාත් බුද්ධිමත්ව ධනය උපයන්න. අපි හම්බ කරන එකේ නොවෙයි ගැටලුව. ඒවා පාවිචිච් කරන්න දන්නේ නැති එකයි. සිංහල මිනිස්සු පිරිහිලා තියෙන්නේ සිංහල මිනිසුන්ගේම වැරදි ජීවන ක්‍රම නිසා. ඒ අයගේ ශ්‍රද්ධාව නැහැ. තථාගතයාණන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. තථාගතයාණන් වහන්සේ එපායැයි වදාළ දේම වැලඳ ගන්නවා. තථාගතයාණන් වහන්සේ කරන්න කියපු ටික කරනවා නම් සිංහල බෞද්ධ මිනිසුන් බියෙන් ජීවත් විය යුතු නැහැ. මොකද උන්වහන්සේ අපේ ධනය විනාශ නොවෙන්න අපට උගන්වලා තියෙනවා.* යැයි ද පවසා සිටියහ.

කපුරැක්ක විහාරාධිපති ශාස්ත්‍රපති හකුරුගම්මන සුසීල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර

උපුටා ගැනීම-http://www.ada.lk

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *