පිටසක්වලින් ආ බෝසතුන්

පිටසක්‌වල බෞද්ධයන් ගැන මෙතෙක්‌ ලියූ ලිපි පෙළ හදිසියේම වෙනත් අතකට හැරවීම නිසා සහෘද පාඨක පිරිස තරමක්‌ නොඉවසිලිමත්ව සිටිති. කම්මැළි අක්‍ෂෝභය ගැන, යකාටවත් බය නැති වජ්‍රසත්ව ගැන, එතැනින් ගියහම අමිතාභය බුදුහාමුදුරුවන් ගැන රස කර කියන කතා අසන්නට වැඩි දෙනෙක්‌ ප්‍රිය කරති.එනමුත් මාර්ගඵල පිළිබඳ කතාව එක හුස්‌මට කියා අවසන් කරන්නට මම වැඩිපුර කැමැත්තෙන් සිටිමි. පසුගිය ලිපි වලින් සෝවාන් මාර්ගයත් සෝවාන් ඵලයත් ගැන බොහෝ දේ හෙළිදරව් කළෙමි. ඊට ලැබුණු ප්‍රතිචාර මා බලාපොරොත්තුව සිටියාට වඩා බෙහෙවින් උණුසුම්ය. කාලයක්‌ තිස්‌සේ ථෙරවාදී රාමුව තුළ සිරව සිටි බොහෝ බෞද්ධ පිරිස්‌ අද සම්ප්‍රදායේ යදම් බිඳදා සිය දෙපය මත නැගී සිට ආර්ය මාර්ගය තරණය කිරීමට කැමැත්තෙන් ඉදිරිපත්ව සිටිති. මුලදී මා දෙස වපර ඇසින් බැලූ පිරිස්‌ පවා දැන් මා කියන දේ අනුමෝදන්ව මා සමඟ සත්‍යවබෝධය නම්වූ මන්දිරයේ දොරගුළු විවර කර බැලීමට සූදානම්ව සිටිති.ඒ කා හටත් රසකර කියවිය හැකි තවත් සුභාරංචි රැසක්‌ මා සතුව ඇත. මා ඒ සුභාරංචි ඔබ වෙත ගෙන එන්නේ පිටසක්‌වල බෝසත්වරුන්ගේ පණිවිඩකරුවකු වශයෙනි. එබැවින් මා අලුතින් හෙළිදරව් කළ කරුණු පෙළගැස්‌මෙහි යම් යම් අඩුපාඩු තිබිය හැකිය. එනමුත් බෝසත්වරුන් විසින් මා වෙත හෙළිදරව් කර ඇති රහස්‌ මාගේ පෞද්ගලික මතය සමඟ යා නොකොට හැකිතාක්‌ පිරිසිදුව ඉදිරිපත් කිරීමට සාධාරණ උත්සාහයක අදටත් නිරත වෙමි.මාර්ගඵල ගැනත් මාර්ගඵල වෙත පැමිණීමේ මාවත ගැනත් අප මින් පෙර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඔබට මතක ඇතැයි සිතමි. මුල් බුදුසමයෙහි එන සෝවාන් මාර්ගයට වඩා ථෙරවාදයේ සෝවාන් මඟ ගව් ගණනක්‌ ඈතින් ඇති බව මම හෙමි හෙමිහිට ඔප්පු කර පෙන්වූයෙමි. අද මා ඉදිරිපිට ඇත්තේ ඊටත් වඩා දැවැන්ත අභියෝගයකි. ඒ අභියෝගය නම් මෙතෙක්‌ මුල් බුදුසමයෙන් හෝ ථෙරවාදයෙන් හෙළි නොකළ තවත් වැදගත් කරුණු රැසක්‌ මුල් වරට හෙළි කිරීමයි.අද මම පිටසක්‌වල බෝසත්වරුන්ගේ මාර්ගඵල රහස්‌ එකින් එක ටිකෙන් ටික ඔබ වෙත හෙළිදරව් කරමි.මාර්ගඵල ගැන කථා කරන විට වජ්‍රසත්වයන්ගේ නාමය කිසිදින අමතක කළ නොහැකිය. වජ්‍රසත්වයන් ගැන අමතක වී ඇත්නම් අපි යළි එතුමා ගැන මතක්‌ කර ගනිමු. වජ්‍රසත්ව යනු විමලා ලෝක ධාතුවෙහි වෙසෙන අසහාය ධර්මධරයෙකි. සෘද්ධිලාභියකු වන වජ්‍රසත්ව පෘථිවියෙහි බුද්ධ ශාසනය චිරාත්කාලයක්‌ පැවතීමට කැමැත්තෙන් යුතුව වරින් වර මෙහි පැමිණෙයි. වජ්‍රසත්වයන්ගේ මුල්ම පෘථිවි චාරිකාව දැනට වසර දෙදහසකට පමණ පෙර නැගෙනහිර හෝ මධ්‍යම ආසියාවේ කිසියම් ස්‌ථානයකදී සිදුවූ බව ඓතිහාසික මූලාශ්‍ර අනුව පෙනෙයි. වජ්‍රසත්ව දෙවැනි වර පැමිණියේ ඉන්දියාවටය. දැනට වසර දහසකට පමණ පෙර වජ්‍රසත්ව හා නාගර්ජුණ නම් යෝගියා අතර හමුව ඉන්දියාවේ සුප්‍රකට අයෝමය කුලුණ නම් ස්‌ථානයේදී සිදුවිය.වජ්‍රසත්වයන් තෙවැනි ගමන ලංකාවට පැමිණියේ යෑයි මා කීවොත් සමහරුන් එය පිළිනොගනු ඇත. බාගෙවිට මා පිස්‌සු විකාර කියන බවක්‌ මේ ලිපි පෙළ මුල් වරට කියවන කෙනෙකුට සිතෙන්නට හැකිය. නමුත් මම සුපුරුදු ලෙස හදවතට එකඟව සියලු කරුණු නොවලහා හෙළිදරව් කරමි. වජ්‍රසත්වයන් මා වෙත පැමිණීමට හේතු බොහෝ විය.මුල් බුදුසමය නැවත කැදවා ගැනීමේ අවශ්‍යතාවයක්‌ මට වෙයි. රහතන් වහන්සේලාගේ යුගය නැවත ඇති කිරීමේ අවශ්‍යතාවයක්‌ මට වෙයි. සම්බුද්ධ ධර්මය චිරාත්කාලයක්‌ ආරක්‍ෂා කරනු පිණිස ක්‍රමෝපායයන් සකසා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක්‌ මට වෙයි. මෙරට ආගමික නායකයන්ටත් එවැනි ”දැවෙන” අවශ්‍යතාවයක්‌ තිබී නම් මා හමුවට පැමිණීමට පෙර වජ්‍රසත්ව ඔවුන් හමුවටද පැමිණෙනු නියතය.අපි දැන් වජ්‍රසත්වයන් මාර්ගඵල ගැන හෙළිකළ වැදගත් රහස්‌ වෙත සෘජුවම යොමු වෙමු. මෙහි එන කරුණු වල අනුපිළිවෙළ මා විසින් නැවත සකසා ඇත. ඒ ඒ මාතෘකාවට අදාළ කොටස්‌ එක ළඟට ගැනීමේ වැදගත්කමක්‌ ඇති බැවින් එසේ ඒ ධර්ම කරුණු නැවත පෙළගස්‌වා ඇත. බාගෙවිට මේ ලියවිල්ල පිටසක්‌වල බෞද්ධයකු සමඟ සිදුව සම්පූර්ණයෙන් වාර්තාගත කරන ලද මුල්ම ධර්ම සාකච්ඡාව විය හැකිය.

ප්‍රශ්නය :- මා ඔබ කෙසේ ඇමතිය යුතුද?

පිළිතුර :- ආර්ය වජ්‍රසත්ව නාමයෙන් අමතනු ලැබීමට කැමති වෙමි.

ප්‍රශ්නය :- ඔබ මෙහි ආවේ?

පිළිතුර :- පෘථිවියේ සිට ගණන් කරන විට තුන්වැනි ලෝක ධාතුව වන විමලා ලෝකයෙනි.

(මෙතැන් සිට ඉදිරියට ඇති ප්‍රශ්න ගණනාවක්‌ම ආර්ය මාර්ගයට අදාළ නොවන බැවින් ඒ කොටස්‌ ඉවත් කළෙමි.)

ප්‍රශ්නය :- මාර්ගඵලයක්‌ ලැබීමට අවශ්‍ය ප්‍රධානතම සාධකය කුමක්‌ද?

පිළිතුර :- කළ්‍යාණ මිත්‍ර සම්පත්තියයි.

ප්‍රශ්නය :- මාර්ගඵල නොලැබීමට හේතුවන බාධක ධර්මතා මොනවාද?

පිළිතුර :- එවැනි බාධක ධර්මතා බොහෝය. මිත්‍රභේදය ඉන් වඩාත් භයානක එකකි. මිත්‍රභේදය කළ්‍යාණ මිත්‍ර සම්පත්තියේ විරුද්ධ පදයයි. මිත්‍රභේදයේ යෙදෙන පුද්ගලයා මාර්ගඵල ලැබීමට නුසුදුස්‌සෙකි.

ප්‍රශ්නය :- මිත්‍ර භෙදය යන්නෙන් කුමක්‌ අදහස්‌ කරන්නේද?

පිළිතුර :- මාර්ගඵල විෂයෙහි කතා කරන කල, මිත්‍ර භේදය යනු ආර්ය මාර්ගයෙන් ඉවතට අනුන් හරවා යෑවීමයි.

ප්‍රශ්නය :- එම ක්‍රියාවේ ප්‍රතිවිපාක කවරේද?

පිළිතුර :- මිත්‍ර භේදයේ විපාක ලෙස මේ අත්බැව්හි ස්‌වකීය නිවස අත්හැර යැමට සිදුවෙයි. නිර්ධන වෙයි. සිහි මුළාව තැනතැන ඇවිදීමට සිදුවෙයි. මරණින් මතු දුගතියෙහි ඉපදීමට හේතු වෙයි.

ප්‍රශ්නය :- මාර්ගඵල ලැබීමට ඇතිවන වෙනත් ප්‍රකට බාධා කවරේද?

පිළිතුර :- තිස්‌එක්‌ තලයකින් සෑදුනු සක්‌වලෙහි මාර්ගඵල උපදවීමට නොහැකි ස්‌ථාන ගණනාවකි. සතර අපායෙහි උපත ලැබීම, පංච අභව්‍ය තලයට පැමිණීම ඉන් වඩාත් ප්‍රකටය.

ප්‍රශ්නය :- පංච අභව්‍ය තලය ගැන මා අසා නැත. කරුණාකර පැහැදිලි කරන්න.

පිළිතුර :- අරූපාවචර ලෝක සතරද අසංඥසත්ව නම් රූපාවචර භූමියද මාර්ගඵල ඉපිදවිය නොහැකි ස්‌ථාන වන්නේය. එහි උපත ලද්දකුට මාර්ගඵල ලද නොහැකිය.

ප්‍රශ්නය :- අද කාලයේ බොහෝ පිරිස්‌ මාර්ගඵල ලැබීමට උත්සාහ දරා පසුව එය අත්හැර දමති. ඊට හේතුවන වරද කුමක්‌ද?

පිළිතුර :- එම සිද්ධිය කරුණු කාරණා ගණනක එකතුවකි. කාලමාපක විද්‍යාව අනුව දැන් පෘථිවිය එළඹ ඇත්තේ කලි යුගයටයි. කලියුගයේ පෘථිවිය මත පින් පළ දීම අඩුය. පව් පළ දීම වැඩිය. පෘථිවිය මත පින්වතුන් අඩුය. පව්කාරයන් වැඩිය. පින් ඇති අයකුට වුව ධ්‍යාන හා මාර්ගඵල උපදවා ගැනීමට බොහෝ උත්සාහ දැරීමට සිදුවෙයි.

තවද මෙකල සිටින සමහර පිරිස්‌ වෙනත් බුද්ධ ශාසන වලදී මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණීමේ ප්‍රාර්ථනාවන්ට යටත්ව මාර්ගඵල නොලබති. එවන් ප්‍රාර්ථනා ඇති අය මෙකල මාර්ගඵල නොලබති.

ප්‍රශ්නය :- මාර්ගඵල ලැබීමට කවරාකාර කොන්දේසි සම්පූර්ණ කළ යුතුද?

පිළිතුර :- පාරමිතා බලය, නිවැරදි මාර්ගය හමුවීම හා නිවැරදි උත්සාහය යන කොන්දේසි සම්පූර්ණ විය යුතුය.

ප්‍රශ්නය :- ඒ කොන්දේසි තුන සම්පූර්ණ වුවත් පෙර කී වෙනත් බාධක නොතිබුණත් මාර්ගඵල ලැබීමට නුසුදුසු පිරිස්‌ වෙත්ද?

පිළිතුර :- එසේය. සමස්‌ථයක්‌ ලෙස ගත් කල අද භාවනාවෙහි යෙදෙන වැඩි පිරිසකගේ පාරමී බල සම්පූර්ණය. නමුත් ඔවුන්ගෙන් විශාල පිරිසක්‌ සංසාර ගමනේදී ආර්යෝපවාද පාපකර්මයට ලක්‌ව සිටිති.

ප්‍රශ්නය :- ආර්යෝපවාද කර්මයට ලක්‌වීමෙන් සිදුවන බාධාව කුමක්‌ද?

පිළිතුර :- ආර්යයන්ට නින්දා පරිභව කරන තැනැත්තා මාර්ගඵල ලැබීමට නුසුදුස්‌සෙක්‌ වෙයි. කෙතෙක්‌ උත්සාහ කළ ද ඔවුන්ට මාර්ගය නොවැඩෙයි.

ප්‍රශ්නය :- මාර්ගඵල නොලද පිරිසට කුමක්‌ සිදුවේද?

පිළිතුර :- ඔවුන්ගෙන් බහුතරය මරණින් මතු අපාගත වෙති.

ප්‍රශ්නය :- බොහෝ පින් ඇති අය එලෙස මරණින් මතු අපාගත වීමට ඉඩ ඇත්ද?

පිළිතුර :- ශරීරය ගැන මොහොතකට සිතන්න. එහි කොතැනින් කැපුවත් ඇත්තේ ලේ ගලන තුවාලයකි. සැබැවින්ම ශරීරයේ ස්‌වභාවය එවැනිය. ශරීරයේ විවිධ තැන් වලින් සෑම කල්හිම නිරන්තර වේදනා ඇති වෙයි. ඒ වේදනා මැඩපැවැත්වීමට රසායනික ද්‍රව්‍යයක්‌ ශරීරය තුළින්ම නිපැදවෙයි.

ප්‍රශ්නය :- ඒ කරුණු බහුතර පිරිසක්‌ මරණින් මතු අපාගත වීමට සම්බන්ධ කරනුයේ කෙසේද?

පිළිතුර :- මා කලින් මතක්‌ කළ අයුරින්ම මුළු සිරුර පුරාම ඇත්තේ විවිධ දිශාවලට ලේ ගලන තුවාලයකි. ස්‌වභාවික වේදනා නාශක ක්‍රියාවලිය ජනක කර්මය සමඟ කෙළින්ම සම්බන්ධවෙයි. ජනක කර්මයේ බලය බාහිරින් පැමිණ හිස්‌ මුදුනටත් එතැනින් හෘදයටත් රැහැනක ආකාරයෙන් සම්බන්ධ වෙයි. ජනක කර්මය අහෝසි වීමත් සම`ග ජනක කර්ම රැහැන හෘද චක්‍රයෙන් ගැලවී යයි. එතැන් පටන් සිරුරේ ස්‌වභාවික වේදනා නාශක ක්‍රියාවලිය අඩපණ වී යයි.

ප්‍රශ්නය :- මරණාසන්න වූ කල්හි කුමක්‌ දැනේද?

පිළිතුර :- එකල්හි ස්‌වභාවික වේදනා නාශක ක්‍රියාවලිය අඩපණ වන බැවින් ආයුධයකින් පෙළන්නාක්‌ මෙන්ද සිරකරන්නාක්‌ මෙන්ද ඉසිළිය නොහැකි තරම් වේදනා දැනෙයි. මරණාසන්න වේදනාව හේතු කොටගෙන බොහෝ දෙනෙකුගේ සිහි විකල්වේ. දැඩි බයක්‌ හටගනී. තමන් මෙතෙක්‌ පරිහරණය කළ දේට දැඩි ආශාවක්‌ හට ගනී. තම නෑසියන් ගැන දැඩි ඇල්මක්‌ හට ගනී. ඒ නිසා පෙර කළ පින්කම් වල බලය පවා බොහෝ විට යටපත්ව යයි. මේ හේතුවෙන් වැඩි දෙනෙක්‌ මරණින් මතු සතර අපායෙහි උපදිති.

අහෝ දෙයකි මාර්ගඵල නොලද්දවුන් වැඩි දෙනකු මරණින් මතු අපාගත වන ආකාරය වජ්‍රසත්වයෝ සිත් කම්පා කරවමින් පැහැදිළි කරමින් සිටිති. මා එතුමාගේ කීම පිළිගන්නේද නැතහොත් සැක ඇති තැන් විමසා නිරවුල් කරගත යුතුද? කවදත් මම සැක තබාගෙන ජීවත්වීම අප්‍රිය කරමි. වජ්‍රසත්වයන්ගේ ඉගැන්වීම් කෙරෙහි සාධාරණ සැකයක්‌ මට ඇතිවිය. මම නැවත එතුමාගෙන් මෙසේ විමසුවෙමි.

”ආර්ය වජ්‍රසත්වයනි, ඔබතුමා කී දෑහි යම් යම් ගැටලු තැන් මම දකිමි. වැඩි දෙනෙක්‌ මරණින් මතු අපායගාමීව බියකරු සසරෙහි අතරමං වන්නේ නම් බෝසත්වරුන් පාරමී දම් පුරා බුදුවන්නේ කෙසේද? බෝසත්වරුන්ද සසරෙහි අතරමං වනු ඇති නේද?

මා ඇසුවේ වජ්‍රසත්වයන් පමණක්‌ නොව වෙනත් ඕනෑම බහුශ්‍රැතයෙකු හිරවන ප්‍රශ්නයකි. ඔහු ඒ පැනයට පිළිතුරු දීමට පෙර කල්පනාවෙහි නිමග්න වනු ඇතැයි බලාපොරොත්තු වූයෙමි. නමුත් සිදුවූයේ අනිකකි. වජ්‍රසත්වයෝ මා අපේක්‍ෂා නොකළ පරිදි ව්‍යක්‌ත ලෙස ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්හ.

”පින්වත, බෝධිසත්වවරුන්ට පවා සෝවාන් මාර්ගය සාධාරණය. අවසාන භව සත තුළ සෝවාන් වීම බෝධිසත්වයකුට පවා පිහිටට ඇති එක්‌ උපායකි. සතර අපායෙහි කිසිදින නොවැටී ඕනෑම දුරක්‌ ඕනෑම කාලයක්‌ සසර තරණය කළ හැකි අංග නවයකින් සමන්විත ප්‍රතිපදාවක්‌ ඇත. ඒ ප්‍රතිපදාව වඩන කෙනකුට සතර අපාය මඟහැර වඩාත් සුරක්‍ෂිතව ගමනාන්තයට ලංවිය හැකිය.”

”අපායෙහි නොවැටී සසර තරණය කරන ප්‍රතිපදාව කුමන නමකින් හැඳින්වේද?”

”ඊට ගමන් බල යනුවෙන් කීමට හැකිය. සතර අපායෙහි නොවැටී ගමනාන්තයට යාමට කැමති බෝධිසත්වයා දස පාරමී බලවලට අමතරව ගමන් බල ප්‍රගුණ කළ යුතුය.”

”පිහිටක්‌ නැති සරණක්‌ නැති සසරෙහි බෝධිසත්වයා ගමන් බල ගැන දැන සිටින්නේ කෙසේද?”

”බෝධිසත්වයකු ඕපාපාතික ලෙස උපත ලදහොත් සංසාරික මතක සටහන් වල සහය ඔහුට ළඟා කර ගත හැකිය. නමුත් අභව්‍ය මරණීය හේතුවක්‌ මත මියගොස්‌ නැවත උපදින බෝධිසත්වයෙකුගේ සංසාරික මතකය අඩාල වෙයි.”

”සංසාරික මතකය අඩාලවූ බෝධිසත්වයකුට කුමන ඉරණමක්‌ අත්වේද?”

”බෝධිසත්වයා විශ්වයෙහි තනි වූවෙකු නොවේ. විශ්වයෙහි බෝසත්වරු රාශියක්‌ සිටිති. අභිංඥාලාභී බෝසත්වරු ඒ බෝධිසත්වයාගේ තනි නොතනියට සිටිති. ස්‌වකීය අභිංඥා බලයෙන් ඔහු කරා ළඟා වන බෝසත්වරු ඔහුගේ අරමුණ, ගමනාන්තය හා ගමන් බල හෙලිදරව් කර නිවැරදි මාර්ගයට ඔහු යොමු කරවති.”

වජ්‍රසත්වන් කියන හැටියට මෙයාකාර අෙන්‍යාන්‍ය උපකාර කර ගැනීමක්‌ නොවන්නට බෝධිසත්ව සිහිනයක්‌ම පමණක්‌ වනු ඇත.

වජ්‍රසත්ව යනු බුදුවරයකු නොව බෝධිසත්වරයකු බව සිහිපත් කර ගැනීම වැදගත්ය. එතුමා වරින් වර පෘථිවියට පැමිණෙමින් ඉටු කරනුයේද බෝසත්වරයකු සතු යුතුකමයි. එයාකාරයෙන් විවිධ ලෝකධාතු වල බුද්ධ ශාසනයන් ආරක්‍ෂා කර දීම තුළින් වජ්‍රසත්වයන්ගේ තේජස තවතවත් වැඩි වෙයි.

අනාදිමත් කාලයක සිට විශ්ව බෞද්ධ ප්‍රජාවට නායකත්වය දෙන ප්‍රධානීන් දෙදෙනෙක්‌ වෙති. උන්වහන්සේලා සමන්තභද්‍ර හා අමිතාභය බුද්ධ නම් වෙති. වජ්‍රසත්ව ඇතුළු බෝධිසත්වවරුන් බෞද්ධයන්ට උපකාර කරන තරමට ඔවුන්ට අමිතාභය බුදුන් වහන්සේගේ අවධානය හිමිවෙයි. අමිතාභය බුදුන් වහන්සේට කළ හැකි දේ බොහෝය. නමුත් උන්වහන්සේ බලගතු හේතුවක්‌ නොමැතිව කිසිවකට මැදිහත් නොවෙති. කිසිදු හේතුවක්‌ මත සක්‌වල තරණයෙහි නොයෙදෙති. කිසිම බුදුවරයෙක්‌ පරකාය ප්‍රවේශයේ නොයෙදෙති. කිසිම බුදුවරයෙක්‌ කාලතරණ යෝගයේ නොයෙදෙති.

වජ්‍රසත්වයන්ගේ භාෂාවෙන් කියන හැටියට සියලු රහතන්වහන්සේලාගේ අවසෘත කර්ම රැහැන සිඳී ඇත. එහෙයින් ශරීරය ගැන හෝ වෙනයම් සැපයක්‌ ගැන යළි බලාපොරොත්තු කිසිවක්‌ නැත. මෙයාකාර අද්භූත හේතු කාරණා මත සමහර අභිංඥාවන් රහතන් වහන්සේලාට හෝ බුදුවරුන්ට නොමැත.

දැන් මට වඩාත්ම වැදගත් කාරණය නම් ගමන් බල ගැන වජ්‍රසත්වයන්ගෙන් අසා දැන ගැනීමයි. ගමන් බල පිළිබඳ කාරණය අසා නිමකර ගන්නට පෙර වජ්‍රසත්ව නැවත ස්‌වකීය ග්‍රහලෝකය කරා ගියේය. මා ගමන් බල සම්බන්ධ ගැට`ථ සහගත සම්පූර්ණයෙන් නිරවුල් කරගත්තේ පසුව පැමිණි වජ්‍රසත්වයන්ගේ අනුගාමිකයකුගෙන් අසා දැන ගැනීමෙනි. ගමන් බල හෙවත් අපායේ වැටීමෙන් වළක්‌වන රහස්‌ ප්‍රයෝග නවය මෙසේය.

ගර්භ ප්‍රවේශ ආවරණය මෙකල ඕපාපාතිකව උපදින මිනිසුන් දුර්ලභය. එනමුත් පෘථිවි තලය මත සම්පත් බහුල කාලවල මිනිස්‌සු සැලකියයුතු පිරිසක්‌ ඕපාපාතිකව උපදිති. යළි මාතෘ ගර්භයකට නොගොස්‌ ඕපාපාතිකවම උපත ලැබීමට ප්‍රාර්ථනා කළ යුතුය. මිනිසත් බව ලබන්නේ නම් ඕපාපාතිකවම උපත ලැබීමට ප්‍රාර්ථනා කළ යුතුය. මෙය ගර්භ ප්‍රවේශ ආවරණය නම්වූ ක්‍රියාවයි. සෑම බුදුවරයකුම උපත ලබනුයේද ධර්ම ප්‍රචාරය කරනුයේද දඹදිව මධ්‍යතලයේය.එබැවින් මිනිසත් බව ලබන්නේ නම් බුද්ධොත්පාද කාලයකදීම එය සිදුවේවා. එය ඕපාපාතිකවම සිදුවේවා. දඹදිව මධ්‍ය තලයේ පමණක්‌ මා උපදීවා යන ප්‍රාර්ථනය කළ යුතුය.

සම්‍යග් ප්‍රාර්ථනය කුසල් සිතින් යුතුව සිදුකරන යහපත් ප්‍රාර්ථනා ඉටුවීමේ ස්‌වභාවයක්‌ ඇත. සෑම පින්කමකින් පසුවම පහත සඳහන් ප්‍රාර්ථනා කිරීමට සිත්හි තබා ගන්න.

  • මම අෂ්ඨ දුෂ්ඨක්‌ෂණයෙහි උපත නොලබම්වා.
  • සතර අපායෙහි උපත නොලබම්වා.
  • නිවන් දක්‌නා ජාති දක්‌වා උපධි සම්පත්තියෙන් යුක්‌තව උපත ලබම්වා
  • පංච අභව්‍ය තලයෙහි උපත නොලබම්වා.
  • තවද මෙපින් බලයෙන් තුන්තරා බෝධියෙන් එක්‌තරා තැනකට පැමිණෙම්වා යන ප්‍රාර්ථනය සියලු පුණ්‍යකර්මයක්‌ අවසානයේ ඇතිකරගත යුතුය.
  • සසර වසන තුරු අභව්‍ය මරණයකට පත් නොවේවා. ස්‌වභාවික මරණයක්‌ම අත්වේවා යන ප්‍රාර්ථනය යෝගියා විසින් ඇතිකරගත යුතුය.

මෙහි පංච අභව්‍ය තලය ලෙස නම්කර ඇත්තේ අරූපාවචර තල සතර සහ අසංඥසත්ත නම් තලයයි. පංච අභව්‍ය තලයන්හි ඇත්තන්ට කන් නොමැති බැවින් බුදුවරුන් දහසක්‌ පහල වුවද බණ ඇසිය නොහැක්‌කේමය.

සිත දමනය කරගැනීම වජ්‍රසත්වයෝ මිනිස්‌ සිත දොරටු පහක්‌ ඇති ගුහාවකට උපමා කරති. දොරටු පහකින් යුතු සිත නම් ගුහාව රැක ගැනීමට නම් ඇස, කන, නාසය, දිව, කය යන දොරටු පහ රැකගත යුතුය. සිත රැක ගත් තැනැත්තා යහතින් පරලොව ගමනෙහි යෙදෙයි. නෘත්‍ය, ගීත, වාදන ආදීවූ ඇල්ම වැඩි කරන දේද සසර ගමනට තල්ලූ කෙරෙන සියලු විප්‍රකාරයන්ද හලාහල විසමෙන් සලකා ඒවායෙන් දුරස්‌ විය යුතුය.

විදර්ශනා බලය විදර්ශනා භාවනාව වැඩීමෙන් අපායෙහි දොරටු වැසී දෙව්බඹුන්ට ප්‍රියවූ පුද්ගලයකු වන බව වජ්‍රසත්වතුමා කියයි. විදසුන් වඩන තැනැත්තා පිටසක්‌වල මුණිවරුන්ගේ කරුණාවට පාත්‍ර වෙයි.නිවන් මඟට ප්‍රතිපක්‌ෂ අදහස්‌ දරන අය වසුරු පිඩු සේ සලකා ඔවුන්ව දුරු කළ යුතු බව එතුමා කියයි. වජ්‍රසත්වතුමා කියන පරිදි දැනට මෙලොව පවත්නා බුද්ධදේශනාවන් අනුව විදසුන් වැඩීමෙන් මේ ආත්මභාවයෙන්ම සසර දුක නැසීමට හැකිය. රහත් බව ලැබීමට නිවැරදිව සතියක්‌ හමාරක්‌ භාවනා කිරීම ප්‍රමාණවත් බව එතුමාගේ මතයයි.

සඡ්ජායන බලය පිරිත් ගාථා සඡ්ධායනයෙන්ද උදය සවස තෙරුවන් නැමඳීමෙන්ද මෙලොව පරලොව යන දෙලොවම ආරක්‌ෂාව සැලසෙයි.

වස්‌තු තණ්‌හාව දුරු කිරීම තමන්ගේ ගේ දොර වතුපිටි ඉඩකඩම් හරකබාන ආදිය ගැන තෘෂ්ණාවෙන් යුතුව මියයන පුද්ගලයා ජීවත්ව සිටියදී කෙතෙක්‌ පින්කම් කළත් මරණින් පසු උසස්‌ තැනකට පත් නොවේ. වස්‌තු තණ්‌හාවෙන් උපන් පුද්ගලයා ඒ වස්‌තුන් ආශ්‍රිතව උපදින ස්‌වභාවයක්‌ ඇත. එබැවින් උසස්‌ දිව්‍යතල වෙත පැමිණීමට කැමති අය පෘථිවිතලය මත ඇති සියලු දේට ඇති ඇල්ම බැහැර කළ යුතුය.සැක දුරුකර ගැනීම ත්‍රිවිධ රත්නය කෙරෙහි සැකදුරු කිරීමෙන් සසර දුකෙන් වැඩි කොටසක්‌ නිවී යයි. සැක ඉතිරි කොට තබා කරන මහ පින්කම්වලින් වුව ලොකු පිනක්‌ අත් නොවේ. ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් කරන සුළු පින වුවද මහත්ඵල මහානිසංස වෙයි.සැකයෙහි අනෙක්‌ ආකාරය නම් තමන් කළ හොඳ නරක දේ පිළිබඳ සැකයයි. තමන් කළ දෙයක හොඳ නරක සෙවීමේ ත්‍රිවිධ වූ විමර්ශන ක්‍රමයක්‌ වෙයි. තමන් කළ දෙය අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් සිත් පෙරදැරිව කළේ නම් ඒ ක්‍රියාව නිවැරදිය. එහි අනිටු විපාක තමන්ට හිමි නොවේ. එවැනි පිරිසිදු සිතින් කළ ක්‍රියාවක හොඳ නරක අනුන්ගෙන් විමසීම අවශ්‍ය නැත.

සෘජුවූත් නිවැරැදිවූත් ප්‍රතිපදාව නිවැරැදි බව තහවුරු කර නොගත් මතවාද සමාදානයෙන්ද ඒවා ප්‍රචාරයෙන්ද වැළකිය යුතුය. ධර්ම මාර්ගයට පිළිපන් යමෙක්‌ වේ නම් කිසි විට ඔහු එයින් වැළැක්‌වීම නොකළ යුතුය. තමන්ගේ ගුණ කියන ප්‍රතිවාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. කිසිදින තම ආධ්‍යාත්මික ඉලක්‌කයන් මේ යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ යුතුය.

කර්ම ශක්‌ති පාලනය කර්ම ශක්‌තිය පාලනය කිරීමේ රහස්‌ උගත් යෝගියාට කර්ම ශක්‌තීන් කැමති ලෙස පාලනය කළ හැකිය. ඔහුට කැමති නම් තම සිරුර හැරදා වෙනත් සිරුරක්‌ වෙත මාරු විය හැකිය.වජ්‍රසත්වයෝ කර්ම ශක්‌ති පාලනය පිළිබඳව දීර්ඝ සහ අති ගාම්භීර විස්‌තරයක්‌ කළහ. ඒ විස්‌තරය මවිසින් ලියා පළ කළ වජ්‍රසත්ව සූත්‍ර නිර්දේශය නම් කෘතියට ඇතුළත් කරන ලදී. අවසන් භවයට ළංවූ බෝසත්වරුන් අපායෙහි නොවැටී සසර තරණය කරනුයේ මෙකී ගමන් බල නවය උපයෝගී කරගෙනය.

Author: admin