පණී භාරතගේ කතාව

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් නින්දගමක් වූ අල්ගම ග්‍රාමය, දේශීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ පරපුරක් බිහි කළ ග්‍රාමයක්. මෙම ග්‍රාමයේ ප්‍රධානියා ව සිටි පබා ගුරුතුමාට සහ ඩිංගි උක්කු අම්මාට දාව දෙවන දරුවා නමින් සිත්‍රාචාරී නැකතිගේ පණී. ලාංකේය නැටුම් ක්ෂේත්‍රයේ සලකුණක් බවට පත්වූ මොහු ප්‍රකට වන්නේ පණීභාරත යන නමින්. පණී හට සහෝදර සහෝදරියන් හය දෙනෙක් හිටියා.පණීගේ මවට හා පියාට වුවමනා වූයේ ඔහුව වෛද්‍යවරයෙක් කිරීමට යි. ඒ අනුව පබා ගුරුන්නාන්සේ තම පුත්‍රයා ව රත්නපුරයට යැව්වේ, තිබ්බොටුවාවේ වෙද හාමුදුරුවන් ලවා වෛද්‍ය ශිල්පය ඉගෙන ගැනීමට යි. බලංගොඩ ආනන්ද මෛතිය හිමි සහ කිරිඇල්ලේ ඥාණවිමල හිමියන්ගෙන් ද ශිල්ප සතර පණී ඉගෙන ගත් නමුත් ඔහුට වෛද්‍යවරයෙක් වීමට කිසිදු ඇල්මක් තිබුණේ නැහැ. ඔහුට ප්‍රථම වතාවට නැටුමට හිත ගියේ රත්නපුර සමන් දේවාලයේ දී යි. ඒ, එහි දී වෙස් කරණම් දැක්වූ කිරිගණිතා ගුරුන්නාන්සේගේ දස්කම් දැකීමෙන් පසුව යි. කිරිගණිතා ගුරුන්නාන්සේ කියන්නෙ පණීගේ බාප්පා. ඉතින් පණී, වෙදකම අතහැර තම බාප්පාගෙන් නර්තනය හදාරන්නට පටන් ගත්තා. පණී හට කිරිගණිතා ගුරුන්නාන්සේ උඩරට නැටුම් ඉගැන්වූ අතර, පහතරට නැටුම් ඉගැන්වූයේ ගිනිතේනිස් ගුරුන්නාන්සේ විසින්.කීණදෙණිය පාසලේ සංදර්ශනයක දී පණී තම කලඑළි නර්තනය ඉදිරිපත් කළා. මෙහි ආරාධිත අමුත්තා ලෙස පැමිණ සිටියේ එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ ව සිටි ඉයන් සැන්ඩිමන් මහතා. වයස අවුරුදු හතක් වූ මෙම දරුවාගේ දස්කම් දැකීමෙන් ඉයන් මහතාට ඇස් අදහාගත නොහැකි වුණා. නැටුමට මෙන්ම බෙර වාදනයට ද දස්කම් දැක්වූ පණී ව කලාශූරී ජේ. ඩී. ඒ. පෙරේරා මහතාගේ බිරිඳ බෙර වාදනයට කැඳවා ගත්තා. ජේ. ඩී. ඒ. පෙරේරාගේ සිත පණීගේ හැකියාව වෙත ඇදී ගිය අතර, ඔහු පණී ව කොළඹ ලෝරන්ස් කොලීජියට ඇතුළත් කරගත්තා. මන්ද, එවකට එම පාසලේ අධ්‍යක්ෂකවරයා ව සිටියේ ඔහු යි. පණීගේ ජීවිතේ සුවිශේෂී කඩයිමක් හා තම දියුණුවට මාවතක් සකසා දුන්නේ ජේ. ඩී. ඒ. පෙරේරා මහතා යි.

පණී වැඩිදුර අධ්‍යාපනය සදහා විද්‍යාලංකාර පිරිවෙනට ගිය අතර, එහි දී රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමිගෙන් භාෂා සාහිත්‍යය ඉගෙන ගත්තා. 1938 දී ලෝරන්ස් විද්‍යාලයේ සිට නාලන්දා විද්‍යාලයට නැටුම් ගුරුවරයෙකු ලෙස සේවයට ගියා. 1944 දී ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර අධ්‍යාපනය සදහා ඉන්දියාවට ගියා. ඔහු එහි දී කතකලී සහ කතක් මණිපූරි නැටුම් ද, තබ්ලා සහ මෘදංග වැනි වාද්‍ය භාණ්ඩ වැයීම ද ප්‍රගුණ කරන්නට වුණා. පණී ඉන්දියාවේ දී නොයෙක් තරගවලට සහභාගි වී ජයග්‍රහණය කළ අතර, ඔහු ලැබූ ප්‍රකට සම්මාන ලෙස කේරළ කලා මණ්ඩපයේ රන් පදක්කම ද, කේරළ මහා කවි වල්තෝර් පසර්දා කවියාගෙන් ද, කේරළ අධ්‍යාපන ඇමතිවරයාගෙන් පිදුම් ලැබූ පදක්කම් දක්වන්න පුළුවන්. ඉන්දියාවේ දී පණී පෙන්වූ දස්කම් නිසා කලාශූරී ජේ. ඩී. ඒ. පෙරේරා මහතා විසින් පණී හට පණීභාරත යන නාමය ලබා දෙනවා.1948 දී ශාන්ති නිකේතනයේ අධ්‍යාපන කටයුතු අවසන් කර නැවත ලංකාවට පැමිණි පණීභාරත හට පත්වීම ලැබුණේ රාජකීය විද්‍යාලයට යි. රාජකීය විද්‍යාලයෙන් පසු ඔහු මීරිගම කණිෂ්ඨ විද්‍යාලයට පියමන් කරනවා. එහි දී පණීභාරත බාහිර නැටුම් කථිකාචාර්ය ධූරයට පත් වෙනවා. 1952 දී රජයේ ලලිත කලා ආයතනය පිහිට වූ අතර, එහි ප්‍රධානියා වූයේ ජේ. ඩී. ඒ. පෙරේරා මහතා යි. ඔහු ලලිත කලා ආයතනයේ චිත්‍ර, නැටුම්, හා සංගීත අංශ ආරම්භ කළ අතර, පණීභාරත ව නැටුම් අංශයේ ප්‍රධානියා ලෙස පත් කරනවා. එය අද හැඳින්වෙන්නේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය යන නමින්.ග්‍රහ අපලය, දිට්ඨි මංගලිකා, පොල්ගසේ වර්ණනාව, බතේ උපත, කාලගෝල, කෝච්චිය, මහදැන මුත්තා ආදී නාට්‍ය තුළින් පණීභාරතගේ දස්කම් විද්‍යමාන වෙනවා. රාජ්‍ය නාට්‍ය කණ්ඩායමේ මූලිකයා වූ හෙතෙම, තම නාට්‍ය කණ්ඩායම සමග විවිධ රටවල්වලට සංචාරය කර රටේ අනන්‍යතාව ලොවට ම කියා පෑවා. ඔහු තම කණ්ඩායම සමග ගිය නාට්‍ය සංචාර අතර 1953 ජර්මන් සංචාරය, 1958 රුසියානු සංචාරය, 1965 පොදුරාජ්‍ය මණ්ඩලීය සංචාරය, 1966 පකිස්ථාන සංචාරය, 1967 කැනඩා සංචාරය, සහ 1975 ජපන් සංචාරය විශේෂ යි.1954 දී පණීභාරත, ප්‍රේමලතා නම් තවත් නැටුම් පරම්පරාවක පුරුකක් සමග විවාහ වුණා. ප්‍රේමලතා හේනගම මහා විද්‍යාලයේ නාට්‍ය ගුරුවරියක් ලෙස සේවය කළ අතර, මෙම දෙපළගෙන් ගුරුහරුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය දහසක් බිහි වුණා. 2006 වසරේ දී පණීභාරත මියගිය අතර, එම වසරේ සිට ඔහුගේ උපන්දිනය දා එනම්, පෙබරවාරි 24 දින රාජ්‍ය නාට්‍ය දිනය ලෙස නම් කළා. පණීභාරතගේ දරුවන් ද කලා ක්ෂේත්‍රයේ නම් රැන්දූ අය. ඒ අතර උපුලී විජේවර්ධන විශේෂ යි. ඇය විවාහ වී සිටින්නේ ලාංකේය නැටුම් ජාත්‍යන්තරයට ගෙන ගිය තවත් අයෙක් වූ චන්න විජේවර්ධන සමග යි. පණීභාරත තම ගෝලයන්ගේ දස්කම්වලට සැබෑවට ම සතුටු වූ අයෙක් වූ අතර, ඔහු තවත් එක් ගුත්තිල කෙනෙක් නොවෙයි. ඔහු සැබෑ ම ගුරුවරයෙක්.

Author: admin