නිතරම ඔබට දුක ඇතිවෙන හේතුව මෙන්න

සංසාරය පුරාවටම සිදු කළේ රැස් කිරීම පමණකි. මේ ජීවිතයේ සිදු කරමින් සිටින්නේද එයම පමණකි. භෞතික වස්තූන් කෙළවරක් නැතිව රැස් කරයි. එකක්වත් අත හරින සිතකින් සිදු කිරීමක් නොමැත. දානයක් දුන්නද එයින් ලැබෙන කුසලය පිළිබඳ අල්ලා ගැනීමක් ඇත.
නිවාස, ඉඩ කඩම්, රැකියා, දූ දරුවන්, වාහන මේ සියල්ලම අල්ලා ගෙන කෙලෙස් සිත්වල අවුළුවා ගනිමින් එහිම පැටළී සිටියි.


භෞතිකව දේවල් රැස් කළද, අවසානයේ ගත් කල සිදුව ඇත්තේ සංසාරය දික් කර ගැනීමට ක්ලේශයන් ගොඩක් එකතු කර ගැනීම පමණකි.

ද්වේෂය, ඉරිසියාව, ලෝභය, මසුරු කම, රාගය, ආදී නොයෙක් කෙලෙස් වලින් සිත පිරී ඇත. අපේක්ෂාවන්, බලාපොරොත්තුන් පොදි බැඳගෙන ඇති සිතකට අත හැරීම යනු කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැක.

යමක් අල්ලා ගන්නේ යම් පමණකටද , ඒ තරමින්ම දුකද බලාපොරොත්තු විය යුතුමය. බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් යමක් කෙරෙහි ඇති කර ගත්තේද, දුකද ඒ පසුපසින්ම ඇති බව සිහි තබා ගතයුතුය.
සංසාරය පුරාවටම කුසල්, අකුසල් රැස් කර ගනිමින් මේතාක් ආ දුර ගැන වෙහෙසක්, කළකිරීමක් සිතකට ඇති නොවන තාක් කල්, ඉන් සෑහීමකට පත් වන්නේ නැත. මිනිසුන් වී ඉපිදි සෑම ආත්ම භාවයකදීම සිදු කරන ලද ක්‍රියාවන් එකමය. ගෙවල් සෑදීම, දරුවන් සෑදීම, ජීවනෝපායන්හි නිරත වීම මේ ආදී ලෙසින් එකම දේ කල්ප කෝටි කෝටි ගණන් දිව ආ සංසාරයේ අනන්ත වාර ගණනක් සිදු කළ ඇත.. අප මේ විශ්වයට බිහි කළ දරුවන් ගණන අසීමිතය. අප ගොඩ නැඟූ නිවාස ප්‍රමාණය අසීමිතය. නොකරන ලද ජීවනෝපායක් නොමැත. අද ඒ එකක්වත් අපගේ සිත් තුළ මතක සටහනක් ලෙසින් වත් නොමැත. නමුත් ඒ සියළු දේ වෙනුවෙන් රැස් කරගත් කෙලෙස් සිතිවිලි වල විපාක ශක්තිය පමණක් ගොනා පසුපස ලුහුබැඳ යන රිය සක පරිද්දෙන් විපාක ශක්තිය තිබෙන තුරු අප පසුපසින් පැමිණෙනු ඇත. අවස්ථාව ලද සැණින් වහා විපාක දෙනු ඇත.
ආශාවන් පසු පස සිත දිව යන්නේ ඇතැම්විට වංචනික ධර්මයන් ලෙසින්ය. කුසලයන් කෙරෙහි ඇතැමුන් දැඩිව ඇලී බැඳී ඇත. කුසලයද සංසාරය දික් කරවන්නකි. අප මේ සංසාරය පුරා දෙන ලද දානයන් ප්‍රමාණය , කරන ලද අනෙකුත් කුසලයන්හි ප්‍රමාණයද අසීමිතය. ඒවයේ විපාකයන් වශයෙනි අද මෙවැනි උසස්,පරිපූර්ණ මනුෂ්‍ය ජීවිත ලබා සිටින්නේ. නමුත් ඒවාද විපාක දී අවසන් වනු ඇත.

අපට පෙර සසර පෙනෙන්නේ නැත. නමුත් අසුර ගසන ක්ෂණයකින් කල්ප ලක්ෂ අනූවක් තරම් ඈතට බැලිය හැකි තරම් වන ජවන ප්‍රඥාවකින් යුතු අප මහා තථාගතයාණන් වහන්සේට මේ සත්වයා ඉපිද මැරි මැරී සසරේ ආ අයුරු දැකිය හැකි ආකාරය අපට අවිෂයය. එවැනි බුදු කෙනකු වූවද ජීවිත කාලයම එකම සත්වයකුගේ සසර ආපස්සට බලමින් සිටියද, බුද්ධ ජීවිතය අවසන් වූවද ඒ සත්වයාගේ අතීත සංසාර චක්‍රය බලා නිම කළ නොහැක. මඳක් සිතා බලන්න කොපමණ දීර්ඝ සංසාර ගමනක් තුළඳ අප මේසේ පැමිණෙන්නේ. ? ඉලක්කම් වලින් ලියා දැක්විය නොහැකි තරම් විශාල වූ සංසාර ගමණක්…!!! කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය කෝටි ප්‍රකෝටි ගණනක සංසාර ගමනක්.. !!
ඒ මුළු සංසාරය පුරාම සැපම විඳිමින් පැමිණියද, එහි නිසරු බව පසක් විය යුතුය. නමුත් කෙලෙසකින් වත් එසේ සිදුවන්නේ නැත. බුදු පියාණන් වහන්සේ දක්වනුයේ සත්වයාගේ මහගෙදර සතර අපාය ලෙසටය. කුඩා කාල පරාසයකට,දෙව් මිනිස් සැප ලැබුණද නැවත නැවත පැමිණෙන්නේ සතර අපායටමය.

ඔබ මදක් තමන්ගේම සිත පිරික්සා කර බලන්න. එක් දිනකට ඔබ සිත තුළ පහළවන රාග , ද්වේෂ, මෝහ සිතිවිලි ප්‍රමාණය සිතා බලන්න. එක් දිනකට කෙසේ වෙතත් එක් පැයකට ඔබ සිත දෙස පරික්ෂාවෙන් බලා සිටින්න. ඔබේ සිත තුළ පහළ වන්නේ කුමන ආකාරයේ සිතිව්ලිද යන්න පරීක්ෂා කරන්න. ඒවා බොහෝ විට ගැටීම් සිතිවිලිය. එසේ නැත්නම් ඇලීම්ය. ඒ දෙකටම නොවේ නම් මෝහ සිතිවිලිය. මෙසේ සිතිවිලි විමසා බැලීමටද ඔබට යම්කිසි සතියක්, ප්‍රඥාවක් තිබිය යුතුමය.
සෑම මොහොතකම සිත අතීතය හෝ අනාගතය අල්ලා ගෙන කුමක් හෝ සිතිවිල්ලක ගැට ගැසී පවතී. එක්කෝ අතීතය ගැන පසුතැවෙයි. දුක් විඳියි. ගැටෙයි. ඉතාමත් මඳ වශයෙන් සතුටු වෙයි. අනාගතය ගැන සිතමින් බය වෙයි. නොයෙකුත් අපේක්ෂාවන් සිතින් පොඳි බඳියි. “මෙසේ කරමි, මේසේ කරමි” යැයි අනාගතය මනසින් ගොඩ නඟයි. මේවා සියල්ලම තනිකරම කෙලෙස් සිතිවිලිය. ආශාව, බය, ලෝභය සියල්ල ඔබට සැනසීමක් ගෙන දෙන සිතිවිලි නොව, ඔබ තව තවත් සසරටම ඇඳ දමන සිතිවිලිය.

අනන්තවත් බුදුවරු සසර පුරා අපට මුණ ගැසෙන්නට ඇත. බුදුවරු ධර්මය දේශනා කරද්දී පුණ්‍යවන්තයන්, ප්‍රඥාවන්තයන් ධර්මය දැක සාධුකාර දෙමින් සසරින් එතෙර වෙද්දී ඔබත් මමත් දරුවන්, නිවාස, රැකියා, ඉඩ කඩම් පිළිබඳ සිහින මවමින් සිටින්නට ඇත. අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් පුණ්‍යවන්තයන් ශ්‍රි සද්ධර්මය අසා පැහැදී කෙලෙස් ගංඟා වියළවා දමද්දී , ඔබත් මමත් තව තවත් කෙලෙස් අවුළුවා ගන්නට ඇත. ඒ බුදු බණින් ප්‍රඥාවන්තයන්ගේ සිත් නිවී, නිවී යද්දී, කෙලෙස් මළ එකින් එක ගැලවි ගැලවී යද්දී, අන්ධකාරය දෙපළු කරමින් ප්‍රඥා ආලෝකය හදවත පතුළෙන් දැල්වී එද්දී, මේ සංසාරය කෙරෙහි නිබ්බිදාවෙන් එයින් මිදෙමින් පරම ශාන්ත වූ නිර්වාණ සුව අත්දකිද්දී, ඔබත් මමත් තව තවත් සංසාරය දෙසටම පියවර තබන්නට ඇත.

එදා ඒ ආකාරයෙන් අපට අනන්ත වූ සම්බුද්ධ ශාසන අහිමි විය. තවමත් මෝහයෙන් මුලාවී මේ සංසාරය පුරා පැමිණෙන්නේ එබැවිනි.
බුදු පසේ බුදු අරිහතුන් උදෙසා අසදෘශ දානය දුන්නද එයින් ලැබෙන කුසල් විපාකය, එක අනිත්‍ය සිතිවිල්ලකට දෙවෙනි වන බව බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඔබ කොතරම් කුසල් සිදු කරද ඒවා විපාක දී අවසන් වෙයි. කුසලයක් කරන මොහොතට ඔබ සිත කුසල් සිතිවිලි වලින් පිරී තිබුණද ඉතිරි කාලය පුරාම ඔබ සිත තුළ ජනිත වන කෙලෙස් සිතිවිලි ප්‍රමාණය මකා දමන්නට එයට නොහැක. ඔබ සිත තුළ පහලවන එක රාග සිතිවිල්ලක්, පටිඝ සිතිවිල්ලක්, ඊර්ෂ්‍යා, මාන සිතිවිල්ලක් ඔබව සංසාරයේ බොහෝ දුර ගෙන ගොස් හමාරය.

ඇතැම් විට ඔබ කයින් පින් කළද, සිත දූෂිත වී පැවතීමට බොහෝ ඉඩ කඩ ඇත. එවිට ඒ පිනෙන් ලැබෙන විපාකයද හීන වනු ඇත.
එසේ නොව ඔබ විදර්ශනා භාවනාවක නියැළෙද්දී, මේ සියළු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් සහිත බව, අසාර බව, අනාත්ම බව අවබෝධ කර ගනිද්දී ඔබ සිත තුළ ඇතිවන කුසල් සිතිවිලි වල ප්‍රබල බව ඔබටවත් නොහැඟෙනු ඇත. ඒවා කවර හෝ දිනක ඔබව සංසාරයෙන් එතෙර කිරීමට හේතු වෙයි.
කෙනකුගේ සිත තුළ නිතරම ආශාව, ලෝභය, ද්වේෂය පිරී ඇත්නම් ඒවැනි සිතක් නිතරම පවතිනුයේ කැළඹුණු ස්වභාවයකය. ඒවැනි කෙනකුට ධර්මය සිතට ගෝචර වන්නේ නැත. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය සුදුසු වන්නේ අල්පේච්ච අයටය..ප්‍රඥාවන්තයන්ටය. හුදෙකලා වූවන්ටය…ආදී වශයෙන් කරුණු දක්වා ඇත.

නිතර අතීතය අල්ලාගෙන හෝ අනාගතය ගැන සිහින මවමින් සිටින, සසර දික් කරන මාර්ගයේම ගමන් කරන සිතිවිලි වලින් යුතු අයට මේ ධර්මය නොගැළපෙනු ඇත. සසර කෙරෙහි කළකිරිණු, ආශාවන් අඩු කෙනකුට මේ ධර්මය වනාහි උපමාවකින් දැක්විය නොහැකි තරම් දිව ඔසුවකි.
නමුත් සමාජයේ අපට ඒවැනි ධර්මයට ලැදි වූවන් මුණගැසෙන්නේ ඉතාමත් විරල වශයෙනි. බහුතරය දුවන්නේ ආශාවන් පසු පසය. ඒවැනි අය සමඟ ධර්මය, අත හැරීම පිළිබඳව කතා කරීම පවා දුක් සහගතය. බුදු රජාණන් වහන්සේ ඒවැනි කරුණු දක්වා ඇත. ශ්‍රද්ධාව නොමැති කෙනකු සමඟ ශ්‍රද්ධාව පිළිබඳ කතා කිරීම දුක් සහගතය. මේ ආකාරයෙන් කරුණු බුදු රජාණන් වහන්සේ දක්වා ඇත.
එය සත්‍යක්ය..
එසේ වූවද ලෝකයේ බහුතරය යන්නේ එවැනි රැස් කරන පටිපදාවක බැවින් අපට අත හරින මාර්ගයේ ගමන් කරන කළ්‍යාණ මිතුරන් සොයා ගැනීම ඉතා අසීරු වනු ඇත. එසේ වූවද බුදු රජාණන් වහන්සේ දක්වා ඇත්තේ ආශ්‍රයට සුදුසු කෙනකු නොමැති නම්, තනිව වාසය වඩාත් සුදුසු බවත්, කිසි කලෙකත් බාලයන් හා එක් නොවන ලෙසත්ය. එය ඉතාමත් සත්‍යක් වන්නේ, ඔබ තුළ වඩවාගත් ධර්මයන්ද ඒවැනි බාලයන් ආශ්‍රයෙන් පිරිහීමට පටන් ගන්නේ ඔබ නොදැනුවත්වම වන බැවිනි.
කෙනකු විරාගය වඩවද්දී, ඇසුරු කරන්නේ රාගයට බර අයව නම් , ඔහුට එය අපහසු වනු ඇත. ඔබ වඩවන්නේ නෙක්කම්ම සිතිවිලි නම්, අත හැරීම නම්, ඇසුරු කරන පුද්ගලයා වඩවන්නේ ආශාව, තණ්හාව, අල්ලා ගැනීම නම් ඔබට එය දුෂ්කර වනු ඇත.

තම සිතැඟි වලට සම වූ, සංසාර විමුක්තිය උදෙසාම ජිවීතය කැප කරන, බුදු රජාණන් වහන්සේ දේශනා කළ පටිපදාවේම ගමන් කරන, තෘෂ්ණාව ප්‍රහීන කිරීමට උත්සාහ කරන උතුම් කළණ මිතුරන් ඔබට මුණ ගැසීමට ඉඩ ඇත. එය ඔබේ සසර වැඩූ කුසල් වල ප්‍රතිපලයකි. එසේ නොමැති වූවද ඔබ , තනිව හෝ මේ මාර්ගයේ ගමන් කළ යුතුමය. කොතෙක් මිතුරන්, ගුරුවරුන් සිටියද නිවන අත්දකින්නේ තමන් තුළිනි. තමන් තනිව වීර්යය කළ යුතුය. වීර්යය හීන පුද්ගයන් දහසක් මැද්දේ වූවද, අසහාය ,නොපසුබට වීර්යයකින් මේ මාර්ගය ඔබට වැඩිය හැකි නම්, ඔබ නිවනට දුර නැත.

පියවි ඇසට පෙනෙන උදව් උපකාර ඔබට නොලැබුණද, දස දහසක් දෙවිවරු, බ්‍රහ්මවරු ඔබගේ වීර්යවත් සිත දෙස බලා ඔබට සාධු කාර දෙනු ඇත. ඔබට ආශිර්වාද කරනු ඇත.
එදා සිටි රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තේ ඇතැම් විට ජීවීතය පවා බිලිදෙමිනි. ජීවිත ආශාව යනු ධර්මය ඉදිරියේ ඔවුනට අඹැටක තරම් නොවටිනා දෙයකි.
ධර්මය යනු කෙතරම් උතුම්, වටිනා දෙයක්දැයි එවැනි දෙයකින් පවා වටහා ගත හැක.
ධර්මයේ පවතින ඒවැනි ගුණ, ආශ්චර්යන් දැක ගැනීමට නම් ඔබ ධර්මය අත්දැකිය යුතුය. එවිට ඔබ බුදු රජාණන් වහන්සේවද දකිනු ඇත. අද පවතින සසලෙන ශ්‍රද්ධාව එදිනට මහාමේරු පර්වතය සෙලවෙන සුළඟකින්වත් නොසැලෙන අචල ශ්‍රද්ධාවක් බවට පත්වෙනු ඇත.

තව තවත් ඉදිරියට ධර්ම මාවතේ ගමන් කරද්දී, කිසිඳු සංස්කාර ධර්මයකින් නොසැලෙන , අනිත්‍ය, දුක්ඛ, අනාත්මයන් පසක් කොට දත්, මහා සාගරය මැද සිටවූ ඉන්ද්‍රකීලය මෙන් නොසැලෙන , නිරාමිස ප්‍රීතියකින් යුත් ශේෂ්ඨ මනසකට ඔබ හිමිකම් කියනු ඇත.

ඒවැනි උත්තම ස්ථානයකට ඔබේ සිත රැගෙන යන්නට, මේ පිරිසිදු ධර්ම මාර්ගය දිගේ පියවර තබන්නට , මේ ලිපිය කියවා ලබාගත් කුසල කර්මය පහන් ටැඹක් මෙන් ආලෝකය ලබා දේවා..!!!

උපුටා ගැනීම -අමා සුව

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *