දියුණු වෙන්න පැපොල් වගාව නිවැරදිව කරන විදිය


පෝෂ්‍ය ගුණයෙන් බොහෝ දුරට දොඩම්වලට සමාන පලතුරක් ලෙස ‘පැපොල්’ (ගස්ලබු) හැඳින්විය හැකිය. බීම, ජෑම් සැකසීම, පලතුරු සලාද, ආහාර වර්ග සුවඳ කිරීම සඳහා පලතුරක් ලෙස ඉදුන පැපොල් භාවිතයට ගනු ලබයි. අමු පැපොල් ගෙඩි මඟින් ව්‍යාංජන සහ අච්චාරු සැකසීම ශ්‍රී ලාංකේය ජනතාව අතර ඉමහත් ප්‍රකටව ඇත. වර්තමානය වන විට පෙර කාලවලට වඩා වෙළෙඳ පොළෙහි ගස්ලබු මිල ගණන් ඉහළ ගොස් තිබේ.

එසේ ම ඉල්ලුම වැඩි නිසා පැපොල් වගාවට වගා කරුවන් වැඩි පෙලඹීමක් දක්වයි. මේ පිළිබඳ හොරණ, කනන්විල, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අභිජනන අංශයේ පර්යේෂණ නිලධාරිනී ඉන්ද්‍රානි කළුබෝවිල මහත්මිය සමඟ කළ කතාබහකි මේ.

වසර පුරා ම පල හට ගන්නා පලතුරු වර්ගයක් විදිහට පැපොල් පලතුර හඳුන්වන්න පුළුවන්. අමෙරිකා මහාද්වීපයේ නිවර්තන ප්‍රදේශවල සම්භවය වුවත්, බොහෝ කාලයක සිට ලෝකයේ සියලුම නිවර්තන රටවල වගා කරනවා. මෙය කැරිකෙසි ශාක කුලයට අයත් වූවක්.

ශ්‍රී ලාංකිකයකු සාමාන්‍යයෙන් වසරකදී ආහාරයට ගනු ලබන පැපොල් ප්‍රමාණය ග්‍රෑම් 200ක් පමණ වෙනවා. ඒ අනුව මෙය දෙවැනි වන්නේ කෙසෙල්වලට පමණයි. බොහෝ අය පරිභෝජනයට ප්‍රිය පලතුරක් වුවත්, ඉල්ලුම සරිලන සැපැයුමක් තවමත් අපට සකසාගත නොහැකිව පවතිනවා. අපනයනය කිරීම මඟින් විදේශ විනිමය උපයා ගැනීමට හැකි වුවත්, තවමත් අපට ඒ ඉලක්කය වෙත සාර්ථකව ළඟා වීමට නොහැකි වෙලා.

ගම්පහ, අනුරාධපුරය, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, නුවර වැනි ප්‍රදේශවල පැපොල් වගාව කරගෙන යනවා. මේ ශාකය වියළි කලාපය තුළ වානිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට විභවයක් තිබෙනවා. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පැපොල් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 6000ක් පමණ වුණා. එම වසර වන විට සාමාන්‍ය නිෂ්පාදනය 38361000ක් වූවා. 1990 දසකය හා සංසන්දනය කිරීමේ දී 2000 දසකයේ දී නිෂ්පාදනයේ වර්ධනයක් දකින්නට පුළුවන්. ඒ වගේම පැපොල් සඳහා ඇති ඉල්ලුමෙහිද ක්‍රමික වර්ධනයක් බිය හැකියි.

කෙසේ වෙතත්, පහසුවෙන් වගා කළ හැකි වීම, ඉක්මනින් ආදායම් ලබාගත හැකි වීම, විවිධ පාංශු සහ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වීමට ඇති හැකියාව, ආදී කරුණු නිසා මේ බෝගය වගා කිරීම සඳහා ජනතා උද්‍යෝගය ඉහළ මට්ටමක පවතින බව දකින්නට පුළුවන්.

ඖෂධීය ගුණය අතින් ගත්තද වෙනත් පලතුරුවලට වඩා වැඩියෙන් ඖෂධීය ගුණාංග අඩංගුව තිබෙනවා. පහසුවෙන් දිරවන ආහාරයක් වීම, එය ආහාරයට ගැනීම මගින් වෙනත් ආහාර වර්ග පවා දිරවීමට උපකාර වීම, වැඩෙන ළමයින්ට හා රෝගීන්ට ශක්තිය ලබා දෙන ආහාරයක් වීම වැනි කරුණු නිසා පැපොල් පලතුරට ජනතාව ඉතාමත්ම ප්‍රියතාවක් දක්වනවා.

ඉදුණු පැපොල් දෛනිකව ආහාරය සඳහා යොදා ගැනීමෙන් මළ බද්ධය දුරු කර ගන්න පුළුවන්. අර්ශස් රෝගය සමනය සඳහා ඉදුණු පැපොල් පමණක් නොව, පැපොල් ඇට පවා යොදා ගන්නවා. සමහර සමේ රෝග සඳහාත්, සමේ කැළැල් ඉවත් කිරීමට, උගුරේ ආබාධ සමනය සඳහා අමු පැපොල් යුෂ භාවිත කෙරෙනවා. වට පණුවන් සම්බන්ධ ප්‍රතිකාරවලදි අමු පැපොල් ගෙඩි ඇට හා කොළ යොදා ගන්නවා. ප්ලීහාව ඉදිමුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඉදුණු පැපොල්වලට විශේෂ ස්ථානයක් ලැබෙනවා. පැපොල්වලට විශේෂත්වයක් විදිහට ගෙඩිය ක්‍රමයෙන් ඉදෙන විට එහි අඩංගු විටමින් සී ප්‍රමාණයේ වර්ධනයක් සිදුවීම හඳුන්වා දෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ වැඩිපුර වවන ගස්ලබු වර්ග ලෙස ‘රත්න’ නමැති දෙපාර්තමේන්තු නිර්දේශිත වර්ගයත්. ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නැමැති ආනයනික වර්ගත්, හැඳින්විය හැකියි. පැපොල්වලට ආවේණික ගන්ධය ‘රත්න’ පැපොල් වර්ගය නැහැ.

පොත්ත ඝනකම් නිසා ප්‍රවාහනයට පහසුයි. ආකර්ෂණීය වර්ණයක් සහ හැඩයක් තිබෙනවා. ‘රත්න’ වර්ගයේ පැපොල් ගෙඩියක් සාමාන්‍යයෙන් 700g – 1kg දක්වා වූ බරකින් යුක්තයි. හොඳ නිෂ්පාදන දරන රත්න වර්ගයේ ගසක් ගත්තොත් හැම පැපොල් පිත්තකම ගෙඩි හැදෙනවා. ඒවායේ අතර මැද කළාප පිහිටන්නේ නෑ.

එහෙත් මේ වන විට ස්ව පරාගනය කරගෙන යාම හේතුවෙන් ‘රත්න’ ප්‍රභේදයේ අහිතකර ලක්ෂණ මතු වෙමින් පවතිනවා. මේ නිසා පෙර තිබූ තත්ත්වයටම මේ ප්‍රභේදය ලක් කිරීම සඳහා ගන්නෝරුව ආයතනය මගින් එම ප්‍රභේදය පිරිසුදු කිරීමකට ලක් කරමින් සිටින්නෙ.

ශ්‍රී ලංකාවේ වැඩිපුර වගා කෙරෙන පැපොල් වර්ග වන ‘රෙඩ් ලේඩි’ සහ ‘සින්ටා’ නමැති වර්ග දෙකම ආනයනය කරන බීජ මගින් වගා කෙරෙනවා. මේවායින් එක් බීජයක් සඳහා රු. 20ක් වැනි අධික මිලයක් වැය වෙනවා. විශාල ගෙඩි බිහි වීම, හොඳ අස්වැන්නක් ලැබීම, ගුණාත්මක බවින් වැඩි වීම ආදී ගුණාංගවලින් යුක්තයි. මේ ප්‍රභේද දිගින් දිගටම වගා කිරීම නිසා දේශීය ජාන සම්පත් අපේ රටින් ක්‍රමයෙන් තුරන් වීගෙන එනවා. මේ තත්ත්වය නිසා අප පවත්නා දේශීය පැපොල් වර්ග මගින් දෙමුහුම් හෝ නුමුහුම් ප්‍රභේ්ද නිපදවමින් සිටින්නෙ.

මීට අමතරව අපේ ආයතනය මගින් දේශීය ප්‍ර‍්‍රභේද යොදාගෙන දෙමුහුම් වර්ග සකසමින් සිටිනවා. පහතට රට තෙත් කලාපයේ වැවෙන හොඳ ගුණාත්මක ප්‍රභේද ගොවීන්ගෙන් ලබාගෙන ඉන් වඩාත් ම හොඳ ප්‍රභේද ඇගැයීමකට ලක්කර, නුමුහුම් ප්‍රභේද නිෂ්පාදනය කළා. මේ දේ කරනු ලැබුවේ පරම්පරා ගණනක් ස්ව පරාගනය කරලයි. ප්‍රභේදයක් නිර්මාණය කිරීමට සාමාන්‍යයෙන් වසර හතරක් පහක් පමණ ගත වෙනවා.

මේ ආකාරයට අප ආයතනය මගින් රතු හා කහ වර්ග ලෙස නුමුහුම් ප්‍රභේද දෙකක් නිෂ්පාදනය කළා. ඒ ආශ්‍රයෙන් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ කාර්ය සඳහා මේ වන විට අප එක්ව සිටිනවා. ඉදිරියේ දී වාණිජ වගාවන් සඳහා උසස් ගුණාත්මක බවින් යුතු ප්‍රභේදයක් නිර්මාණය කිරීම අප ආයතනයේ බලාපොරොත්තුවක්.

අප සැකසූ කහ සහ රතු පැපොල් ප්‍රභේද වෛරස් රෝගයට තරමක ප්‍රතිරෝධතාවක් දක්වනවා. මේ වන විට අප ආයතනය මගින්, රත්න හා අප හඳුන්වා දුන් නුමුහුම් ප්‍රභේද දෙක ඇසුරින් දෙමුහුම් ප්‍රභේද නිපදවීමේ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

ප්‍රධාන වශයෙන් වසරේ මාර්තු සහ අපේ‍්‍රල් යන මාස පැපොල් වාරය ලෙස සැලකෙනවා. ඒ කාලයේ දී පැපොල් පලදාව නෙළා ගත හැකියි. දෙමුහුම් පැපොල් ප්‍රභේද සඳහා සාමාන්‍ය පැපොල් වර්ගවලට වඩා තෙල්, පොහොර යෙදීම වැඩියෙන් සිදු වනවා. එහෙත් එසේ වැය වන මුදලට වඩා පලදාව මගින් වැඩි ආදායමක් ලබාගත හැකි වීම මෙහි විශේෂත්වයක්. මේ නිසා දෙමුහුම් වර්ග සිටුවීම මගින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව පැපොල් අනුභවයට මෙන්ම, වගාව කෙරෙහිත් වැඩි අවධානයක් දක්වනවා. එහෙත් වෙන වසරවල මේ කාලය වන විට පැපොල් පලදාව වැඩි වුවත් , මෙවර ඒ තත්ත්වය වෙනසකට ලක්ව ඇති බව දකින්නට පුළුවන්. පිටි මකුණාගේ ආක්‍රමණය නිසා පලදාව අඩුව ඇතැයි සිතිය හැකියි.

පිටි මකුණා නිසා පැපොල් වගාව මෙරටින් තුරන් වීමේ අවදානමක් තිබූවත්, විලෝ්පිත කෘමියා භාවිතය සහ වෙනත් රසායනික ක්‍රම භාවිතයෙන් මේ තත්ත්වය පාලනයට හැකියාව ලැබුණා. මේ වන විට අහිමිව ගිය පැපොල් වගාවන් වෙනුවට අලුතෙන් වගාවන් ආරම්භ කිරීමට ගොවීන් පෙලඹී සිටිනවා.

කෙසේ වෙතත් පිටි මකුණාට අමතරව පැපොල් වගාව කෙරෙහි බලපෑම් කළ හැකි අනෙක් රෝගය විදිහට පැපොල් මුතු පුල්ලි වෛරස් රෝගය හඳුන්වන්න පුළුවන්. පැපොල් වගාවට වැළඳෙන අනෙක් රෝග, වගාව විනාශ කිරීමට තරම් හානිකර වන්නේ නැහැ. පැපොල් වගාව සාර්ථකව කළ හැකි ප්‍රදේශ ලෙස තෙත් හා වියළි කලාපයත්, පහත රට අතර මැදි කලාපයත්, මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ දක්වා වූ මැදරට ප්‍රදේශයත් හඳුන්වන්න පුළුවන්. පිණි මිදෙන ආකාරයේ අඩු උෂ්ණත්වයක් පැපොල් වගාවට උචිත වන්නේ නැහැ.

ඒ මගින් පැහැදිලි වන්නේ මේ බෝගය වැඩීම සඳහා වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වන බවයි. 28 – 35 ඛ් පරිසර උෂ්ණත්වයක් පැපොල් වගාව සඳහා යෝග්‍ය වෙනවා. උෂ්ණාධික ප්‍රදේශවල වැවෙන පැපොල් ගෙඩියේ රසයෙහි වෙනසක් තිබෙන්න පුළුවන්. බොහෝ දුරට එම ප්‍රදේශවල වැඩුණු ඉදුණු ගෙඩි වඩා මිහිරි රසයකින් යුක්තයි.

පැපොල් වගාව සඳහා ජලය හොඳින් වහනය වන , කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු සාරවත් ගැඹුරු පසක් තිබීම වැඳගත්. පසෙහි පවත්නා ස්වභාවික සාරවත් බව අඩු වූවද, කාබනික සහ අකාබනික පොහොර අවශ්‍ය පරිදි භාවිත කර ජලය යෙදිය හැකි නම්, සාරවත් නැති පසක වුවත් පැපොල් වගා කළ හැකියි. එහෙත් ජලය යෙදීමේදී ගසේ පාදය අවට දිගු කාලයක් රඳා නොපවතින පරිදි එය කළ යුතුයි. ඊට හේතුව වන්නේ මුල් අතර ජලය ඕනෑවට වඩා රඳා පැවැතීම නිසා, මුල් කුණු වී විනාශ විය හැකි නිසා ය.

ඒ නිසා පොළොව මතුපිට සිට සෙ. මී. 90 – 120 පමණ ගැඹුරකින් භූ ජල මට්ටම පැවැතීම බෝගයේ යහපතට හේතු වෙනවා. පැපොල් ගසේ වර්ධනයට උචිත පාංශු පී. එච් පරාසය 5.5- 6.5 පමණ අගයක් ගන්නවා. දුර්වල කඳක් පැවැතීම නිසාත්, ශාකයේ වර්ධනයට මෙන් ම පල හට ගැනීම සාර්ථක වීම සඳහාත් පැපොල් වගාව තද සුළගින් ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා.

ගස්ලබු ශාකය අධික වශයෙන් පර පරාගනය සිදු වන ශාකයන් නිසා, සාමාන්‍ය තත්ත්වය යටතේ යම් ප්‍රභේදයකට ආවේණික ගුණාංග බොහොමයක් පරම්පරා කිහිපයකදී නැති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඉක්මනින් පල හට ගැනීම, ගෙඩිවල උසස් ගුණාත්මක ලක්ෂණ සහිත ගස්වලින් බීජ ලබාගෙන වගා කිරිම සුදුසු වෙනවා.

පැපොල් වගා කිරීම සඳහා අවශ්‍ය වන පැළ, ආකාර කිහිපයක් යටතේ සකසා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් වැඩි වශයෙන් භාවිත කරන්නේ බීජ ප්‍රරෝහණය කර ලබා ගන්නා පැළ මගිනුයි. ඒ සඳහා අවශ්‍ය බීජ සපයා ගත යුත්තේ උසස් ගති ලක්ෂණ සහිත මවු ශාකයක් මාර්ගයෙනුයි.

එවන් වූ මවු ශාකයකින් වැඩි පලදාවක් ලැබීම, පලදාවේ උසස් ගුණාත්මක බව, පැළ සිටුවා කෙටි කාලයකදී ගෙඩි හට ගැනීම, කඳේ ඒකාකාරී ලෙස ගෙඩි හට ගැනීම, මධ්‍යස්ථ දිගකින් යුතු නටුවක් පැවැතීම, මධ්‍යස්ථ උසක් පැවැතීම, මනා වර්ධනයක් සහිත වීම, ශක්තිමත් ශාකයක් වීම, එක නටුවකින් ගෙඩි දෙක බැගින් හට ගැනීම, මුල්වලට වැළඳෙන රෝග හා වෛරස් රෝගවලින්, වෙනත් පළිබෝධ හානි අවම වීම ආදී ලක්ෂණ අපේක්ෂා කරනවා.

බීජ ලබාගෙන පැළ නිපදවා ගැනීමේ දී, හොඳින් ඉදුණු ගෙඩිවලින් පමණක් බීජ ගෙන, ජලයෙන් සෝදා, අළු සමඟ මිශ්‍ර කර, සෙවන ස්ථානයක තුනීකර තබා දින කිහිපයකට පසුව සිටුවිය යුතුයි. බීජ පැළ ලබා ගැනීමේ දී වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ පොලිතීන් බඳුන්වල බීජ තවාන් කර, පැළ නිපදවා ගැනීමයි. ඒ මගින් වඩා සාර්ථක වගාවක් සකසා ගන්න පුළුවන්.

පොලිතීන් බඳුන් වෙනුවට පොල් ලෙල්ලක් මත බීජ දමා පැළ සකස් කර සිටුවීමේ හැකියාව තිබෙනවා. පොල් ලෙල්ල මත පොහොර, පස් දමා බීජ තුන හතරක් ඒ මත සිටුවා පැළ වර්ධනය වූ පසු පොල් ලෙල්ල සමඟ සිටුවීමට පුළුවන්. එසේ නොමැතිනම් වෙනත් බෝග වර්ගවල මෙන් තවානක් සකසා එහි බීජ තැන්පත් කර, පැළ නිපදවා ගන්නත් පුළුවන්. එසේ කළහොත් පැළ වැඩුණු පසු ඒවා ගලවා බිමෙහි සිටුවීමට හැකියාව තිබෙනවා. එහෙත් මේ ක්‍රමය මඟින් පැළ වැඩි සංඛ්‍යාවක් විනාශ වීමට ඉඩ තිබෙනවා.

මේ ක්‍රමවලට අමතරව බද්ධ කිරීම මගින් සහ පටක රෝපණයෙන් පැළ ලබා ගන්න පුළුවන්. ඊට අමතරව පැපොල් ගස්වල හට ගන්නා පාර්ශ්වික ශාඛා ගලවා, තවාන් කර, පසුව සිටුවීමට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පැළ සිටුවිය යුත්තේ දැඩි හිරු රශ්මියෙන් තොර සවස් කාලයටයි. පැළ සිටුවන විට බඳුනේ ඇති පොලිතීන් කවරය කපා ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. එය කළ යුත්තේ බඳුනේ ඇති පස් මිශ්‍රණය ඉහිරී නොයන ආකාරයටයි. එය සිටුවීමෙන් අනතුරුව බඳුනේ තිබෙන පස් මට්ටම පොළොවේ පස් මට්ටමට සමාන විය යුතුයි. පැපොල් පැළ සිටුවීමට පෙර ඉඩම සඳහා යෝග්‍ය පස් සංරක්ෂණය කිරීම අවශ්‍ය වෙනවා.

සී සාගෙන කැට පොඩිකර, මීටර් 3 ඔ 3 පරතරය අනුව සෙ. මී 45 ඔ 45 ඔ45 ප්‍රමාණයේ වළවල් කපාගත යුතුයි. මේ ආකාරයෙන් අක්කරයක ඉඩමක් සඳහා වළවල් 450ක් පමණ කපාගත හැකියි. බීජ හෝ පැළ සිටුවීමට සති දෙකකට පෙර වළවල්වලට හොඳීන් දිරාපත් වූ කාබනික පොහොර හා මතුපිට පොහොර යෙදීම වැදගත්. සිටුවීමට දින දෙකකට පෙර ඉහත සඳහන් කාබනික පොහොර ප්‍රමාණය සෑම වළකට ම දමා පස් සමඟ කලවම් කිරීම කළ යුතුයි. මේ වගාව සමඟ අතුරු වගාවක් කිරීම අපහසුයි. පොල් වගාවක් පැළ කාලෙදි, එහි අතුරු වගාවන් ලෙස පැපොල් වගා කරන්න පුළුවන්.

පැළ සිට වූ විගසම වාගේ් පැළ සඳහා ජලය හොඳින් ලැබෙන්න සැලැස්විය යුතුයි. පැළ සිටුවා මාසයක් පමණ ගත වන තෙක් ජලය සැපැයීම අත්‍යවශ්‍ය වෙනවා. කොයිම මොහොතකවත් ජල ඌනතාවයකට ලක් වෙන්න ඉඩ නොතැබිය යුතුයි. පැළය වටා ඇති පස්, ඉක්මනින් වියළීයාම වළක්වා ගැනීම සඳහා පිදුරු හෝ වියළි තණකොළ ආදිය පැළය වටා යොදා ගන්න පුළුවන්. එය කළ යුත්තේ පැළයේ සිට සෙ. මී. 10 – 15 පමණ දුරකිනුයි. දැඩි හිරු රශ්මිය වැටුණහොත් පැළය වියළී යාමට ඉඩ තිබෙන නිසා, ඒ සඳහා උපක්‍රමයක් යෙදිය යුතු වෙනවා. පැළය ආරක්ෂා කර ගැනීමට නම් මෙවන් අවස්ථාවකදී කොළ අතු යොදාගෙන සිටු වූ පැළ සෙවිළි කළ යුතුයි.

පැපොල් වගාවක් ආරම්භ කරන්නේ හොඳ අස්වැන්නක් ලබාගෙන, හොඳ ආදායමක් උපයා ගැනීම ප්‍රධානතම අරමුණක් කරගෙනයි. ඒ අරමුණු යථාර්ථයක් බවට පත් කර ගන්න හැකි වෙන්නෙ මුල් කාලයේ සිටම වගාව කෙරෙහි අවධානය යොමුකරගෙන කලට වෙලාවට අවශ්‍ය පරිදි සාත්තු කිරීම් නිසයි. පැපොල් වගාවක් සඳහා යොමුවන ඔබගේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ ශක්තිමත්, නිරෝගී වගාවක් ඇති කර ගැනීම හා ගසේ පහළ මට්ටමේ සිට හැකිතාක් මල් හට ගැනීම ආරම්භ කිරීමට ක්‍රියා කිරීමයි. එහි දී ක්‍රමානුකූලව වගාව සඳහා පොහොර යෙදීම කළ යුතු වෙනවා.

ඒ ආකාරයටම කුඩා කාලයේ සිටම වල් පැළවලින් බෝගය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. පැළ වටා උදළුගා වල් පැළ ගලවා ගැනීම කළ යුතු වෙනවා. ගස ක්‍රම ක්‍රමයෙන් වැඩෙන විට, මුල්වලට හානි නොවීමට වග බලාගත යුතුයි. ගස් වැඩුණු පසු, ගසේ මුල සිට සෙ. මී. 90ක් පමණ ප්‍රදේශයක වල් පැළ පාලනය කරන්න ඕනෑ. ගස වටේට වසුන් දැමීම මේ සඳහා හොඳ ප්‍රතිකර්මයක්.

වර්තමානය වන විට පැපොල් සඳහා ඉහළ මිලක් නියම වී තිබෙනවා. මේ නිසා පැපොල් වගාව කෙරෙහි යොමුවන ගොවීන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වීමක් දකින්න පුළුවන්. මේ වගාව සඳහා උනන්දු වන්නන්ගේ ප්‍රමාණය වැඩි වන බව අප ආයතනය වෙත උපදෙස් ලබා ගැනීම සඳහා එන පිරිසගෙන්ම පැහැදිලි වෙනවා. තංගල්ල, අම්පාර වැනි ප්‍රදේශවලින් පැපොල් වගාව කෙරෙහි යොමුවන පිරිස වැඩි බව දකින්න පුළුවන්. ඒ වගේ ම මෑතක සිට ශ්‍රී ලාංකේය ජනතාව තුළ පැපොල් අනුභවය සඳහා වැඩි පෙළඹීමක් දකින්න පුළුවන්. ඒ නිසා ම ඉල්ලුමෙහි වැඩි වීමක් දැකිය හැකිය.

වර්තමානය වන විට පලතුරු සඳහා ප්‍රමුඛතාවක් තිබෙනවා. ආහාර පාන සැපැයීම් සේවාවලදී, ගුවන් ගමන්, නාවික ගමනාගමනයේදී සංචාරක කර්මාන්තයේ දී මේ තත්ත්වයේ වර්ධනයක් දැකිය හැකියි. පොදුවේ පලතුරුවලට තිබෙන ඉල්ලුම වැඩිවීමත් සමඟම පැපොල් සඳහා වන ඉල්ලුමද වැඩි වී තිබෙනවා. පලතුරු ආශ්‍රිත නිෂ්පාදනවල වර්ධනය පැපොල් ඉල්ලුම වර්ධනය වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රමුඛ කරුණක්. සාමාන්‍යයෙන් දැඩි පෑවීමක් ආවොත් පලදාව අඩුවන නිසා, පැපොල් නිෂ්පාදනය අඩු වෙන්න ඉඩ තිබෙනවා.

තමන්ගේ ඉඩමේ එක පැපොල් ගසක් වවා ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳ දෙයක්. ඒකට හේතුව වෙළෙඳ පොළ මිල අඩු වැඩිවීම්වලදී එය තමන්ගේ මුදල් පසුම්බියට දැඩි බලපෑමක් නොකරන නිසයි. පලදාව තිබෙන වෙලාවට කිසි ගැටලුවකින් තොරව තමන්ගෙ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඒ මගින් ඔබට හැකියාව ලැබෙනවා. කඩෙන් මිලදී ගන්නා විටදී පැපොල් ගෙඩියේ තත්ත්වය පිළිබඳ උනන්දු විය යුතුයි. නිවැරැදි අවස්ථාවේ හොඳට පැසුණු ගෙඩියක් ද යන්න පිළිබඳ විමසා බලා මිලදී ගැනීම වැදගත්. හොඳට පැසී ඉදුණු ගෙඩියක දීප්තිමත් කහ පැහැයක් දකින්න පුළුවන්. කෘත්‍රිම රසායන ද්‍රව්‍ය යොදාගෙන, පැසුණු නැති අමු ගෙඩියක් වුණත් ඉදුණු තත්ත්වයෙන් පෙන්වීමේ හැකියාව තිබෙනවා. එවන් ගෙඩියක් හඳුනාගැනීම එතරම් අපහසු නෑ. ලෙල්ලෙන් මළානික පැහැයක් පෙනෙන්න තිබෙනවා නම් ඒවා කෘත්‍රිම ක්‍රම මගින් ඉද වූ ගෙඩි බව අවබෝධ කර ගන්න අමාරු වෙන එකක් නෑ.

අපේ ආයතනය පැපොල් සංරක්ෂණය කිරීමේ කටයුතු කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. එය අපේ රටේ අවශ්‍යතාවක් වෙනුවෙන් කැපවීමක්, දේශීය පැපොල් වර්ග අපේ රටෙන් තුරන් වේගන යන අවධානමෙන් අත්මිදීම සඳහා අවශ්‍ය කාර්යභාරය අපෙන් ඉටු වෙනවා. ඒ නිසා පැපොල් බීජ සංරක්ෂණය කිරීමට අප පෙළඹී තිබෙනවා.

ඒ වගේම අප අලුත් පැපොල් ප්‍රභේද හඳුන්වාදීමේ කාර්්‍යයේ නිරතව සිටිනවා. මේ සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන්නේ අපේ රට තුළ පැපොල් වගාව තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. පැපොල් වගාව වාණිජ මට්ටමෙන් කිරීමට බලාපොරොත්තු වන අයෙකුට අප ආයතනයෙන් මෙන් ම, ව්‍යාප්ති අංශයේ කෘෂිකර්ම නිලධාරීවරයකුගෙන් උපදෙස් ලබාගත හැකියි’

විශේෂ ස්තූතිය – හොරණ, කනන්විල, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අභිජනන අංශයේ පර්යේෂණ නිලධාරිනී ඉන්ද්‍රානි කළුබෝවිල මහත්මිය

උපුටා ගැනීම-http://archives.dinamina.lk

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *