දිනපතා උදෑසන ආහාරය විදියට ඕට්ස් කෑමට ගන්න

ලොව තිබෙන ධාන්‍යමය ආහාර අතරින් පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක් ලෙස, ‘ඕට්ස්’ හැඳින්විය හැකි ය. ඕට්ස්වල අඩංගු පෝෂණ සංඝටක වශයෙන්, විටමින් B5- 10%, විටමින් B1- 39% ෆොලේට්-11% සින්ක්- 20% යකඩ – 20%කොපර් – 24% මැග්නීසියම්- 34% පොස්පරස්- 41% මැංගනීස්- 91% වගේම, කැල්සියම්, පොටෑසියම්,විටමින් B6, විටමින් B3 යනාදිය ද යම් ප්‍රමාණයකට ඇතුළත්ව තිබේ . බටහිර වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට, ඕට්ස් ධාන්‍යමය ආහාරයේ මුළු කැලරි ප්‍රමාණය 303කි. මේ තරම් පෝෂණ ගුණයක් තිබෙන ඕට්ස්, මිනිසාට හිතකර වන්නේ කෙලෙසදැයි විමසා බලමු.

ඕට්ස් මඟින් රුධිරයේ සිනී මට්ටම පාලනය කර යි. මෙහි අඩංගු අධික තන්තුමය ස්වභාවය, දියවැඩියා රෝගීන්ට ගුණදායක ය. මේ නිසා, සිරුරේ නිපදවෙන ග්ලුකෝස් ප්‍රමාණය යම් පාලනයකට යටත් වීමක් ද සිදු වේ. දියවැඩියා රෝගී තත්ත්ව උග්‍ර වී, ඉන්සියුලීන් ප්‍රතිකාර කරන රෝගීන් සඳහා ද ඕට්ස් යෝග්‍ය ය.

අධික ස්ථුලතාවෙන් පෙළෙන්නන්ට, විදෙස් රටවල වෛද්‍යවරු ඕට්ස් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කරයි. විශේෂයෙන් ම උදෑසන ආහාරය සඳහා මෙය කදිම ගුණදායක ආහාරයකි. ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර රත් කර සකසා ගන්නා ආහාරය, උදෑසන ආහාරයකට වඩාත් උචිත ය. ඒ අයුරින් සකසා ගත් ඕට්ස්, ඔබ කැමැති පලතුරු වර්ගයක් සමඟ, කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකි ය. එසේ ම, උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන. මේ සෑම දෙයකින්ම උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොමඳව ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මවා නොයයි. ඕට්ස් ධාන්‍යයෙහි ඇති විශේෂත්වය ද එයයි.

2003 වර්ෂයේදී අමෙරිකානු චර්ම වෛද්‍යවරුන් පිරිසක් තම පරීක්ෂණ මඟින් ඕට්ස් සමට සත්කාරයක් වන ධාන්‍යක් බව ප්‍රකට කර ඇත. ඉන් පසු රූපලාවන්‍ය නිෂ්පාදන බෝහොමයකටම ඕට්ස් අන්තර්ගත කෙරිණි.

සමෙහි තෙතමනය පාලනය කර ගැනීමට සහ සමෙහි පැහැපත් බව වැඩි දියුණු කරලීම ඕට්ස් මඟින් සිදුවේ.

කුඩා කාලයේදී දරුවන්ට වැළඳෙන හතිය සඳහා ද මෙය වඩාත් ගුණදායක ය. ඕට්ස්වල පවතින ඇන්ටි ඔක්සයිඩ සංඝටකය මඟින්, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කෙරේ. එම නිසා, බොහෝ ආහාරපානවලින් වැළකී සිටින, හතිය වැළඳී ඇති දරුවන් සඳහා ඕට්ස් ආහාරයට ලබා දීම සුදුසු බව වෛද්‍යවරුන් නිර්දේශ කරයි.

වයසින් මුහුකුරා යන වැඩිහිටියන්ගේ මොළයෙහි ලේ ගමනාගමනය මැනවින් සිදු කරමින්, මනසෙහි ව්‍යාකූල ස්වභාවය නැති කිරීම සඳහා උචිත ආහාරයක් ලෙස ද මේ ධාන්‍ය වර්ගය හඳුන්වා දී ඇත. එක දිගට මාස තුනක පමණ කාලයක් ඕට්ස් ආහාරයට ගැනීමෙන්, වැඩිහිටියන්ගේ මොළය ආශ්‍රිත රෝගාබාධ 59%ක් පමණ අවම කර ගැනීමට පුළුවන.
ඕට්ස් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන
සම සුවපත් කරනවා

සමේ දැවිල්ල සහිත ඉදිමුම් සහගත තත්වයන් වන කසන ගතිය , රත්පැහැ වීම හා වියලි ස්භාවයන් මර්ධනය කර සුවදායක සමක් ලබා ගැනීමට ඕට්ස් ආහාරයට ගැනීමෙන් හැකියාව තිබෙනවා. ඕට්ස් තුල අඩංගු වන සින්ක් මගින් සම ගැඹුරින් පිරිසිදු කර සම අභ්‍යන්තරයේ තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කරනවා. මෙහි ප්‍රතිපලයක් ලෙස සමේ කුඩා සිදුරු පටු වී , ඔබේ සමට තරුණ පෙනුමක් ලැබීම සිදු වෙනවා.

ඒ වගේම ඕට්ස් තුල අඩංගු යකඩ මගින් සමට අවශ්‍ය නිසි පෝෂණය හා තෙතමනය නිසි පරිදි ආරක්ෂා වීම සිදු වෙනවා. මැන්ගනීස් මගින් සමේ ඇති වී ඇති ඇති තුවාල , සුළු සිරීම් , පිළිස්සීම් වැනි තත්වයන් සුවපත් කර, සම ඉක්මනින් යතා තත්වයට පත් කරනවා. ඕට්ස් වල අඩංගු වන මැග්නීසියම් මගින් සම අවට ලේ ගමනාගමනය විධිමත් කර සමේ සෛල වේගයෙන් නැවත අලුත් කිරීම සිදු කරනවා.
ඔබේ මස් පිඩු වලට වැඩිපුර ප්‍රෝටීන් ලැබීම

ඕට්ස් වේලක් ආහාරයට ගැනීමෙන් එහෙමත් නැතිනම් ඕට්ස් මේස හැඳි 8ක් අවම වශයෙන් ආහාරයට ගැනීමෙන් පමණක් ඔබට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 15% සපුරා ගන්නට පුළුවන්. ඒ වගේම ඕට්ස් වල අඩංගු විටමින් E , ප්‍රතිඔක්සිකාරක හා ග්ලුටමින් මගින් මාශ පටක නැවත ප්‍රකෘතිමත් කිරීමද සිදු කරනවා.
ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්

ඕට්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක්. ඕට්ස් වල අඩංගු එවැනි ප්‍රබලම ප්‍රතිඔක්සිකාරයක් තමයි ඇවි-නැන්-ත්‍රිමයිඩ් කියන්නේ. එමගින් ශරීරයේ ඉදිමුම් සහගත තත්වයන් , කැසීම් හා අහිතකර රුධිර පීඩන තත්වයන් සුවපත් කිරීම සිදු කරනවා. ඕට්ස් වල අඩංගු තවත් ප්‍රතිඔක්සිකාරකයක් වන බෙටා ග්ලුකන් මගින් රුධිර සිනි ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. මෙහි ප්‍රතිපලය විටමින් C සමග ඒකාබද්ධ වූ විට තවත් ප්‍රබල වෙන බව පැවසෙනවා. එම නිසා දියවැඩියා රෝගින්ට උදැසන ආහාරය ලෙස ඕට්ස් කෝප්පයක් හා ලෙමන් යුෂ වීදුරුවක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි
හොද ජවයක් ලැබෙනවා

ඕට්ස් කියන්නේ කබෝහයිඩ්රේට් වලින් පිරිපුන් ආහාරයක්. ටිකක් විතර වියලි ඕට්ස් කෝප්පයක් උදෑසන ආහාරය ලෙස ගන්න පුළුවන් නම් ඔබට දිනය පුරාම උනත් හොද ජවයකින් වැඩ කරන්න ශක්තිය ලබා ගන්නට පුළුවන්.
ශරීර බර අඩු වෙනවා

දිනපතා ඕට්ස් ආහාරයට ගැනීමෙන් පරිවෘත්තිය ක්‍රියාවලිය විධිමත් වී ඔබේ බර වේගයෙන් අඩු වීම සිදු වෙනවා. කාලයක් තිස්සේ උදෑසන ආහාරය ලෙසට ඕට්ස් අනුභව කරන්නට පුරුදු වීම මගින් අනවශ්‍ය ලෙස ශරිරය තුලට අමතර කැලරි ලබා ගැනීම වැලකි යනවා. මෙම ක්‍රියාව මගින් අපිට අනාගත ලෙඩ රෝග කන්දකින් වැලකී සිටින්නට හැකියාව ලැබෙනවා. මොකද ස්ථුලතාවය කියන්නේ ලෙඩ රෝග ගොඩක ආරම්භයක් නිසා.
කොලොස්ටරෝල් අඩු කරනවා

ඕට්ස් වල අඩංගු ලිනෝ – ලෙයික් අම්ල හා දියවන සුළු තන්තු මගින් රුධිරයේ ට්‍රයි-ග්ලිසරයිඩ් හා නරක කොලොස්ටරෝල් අඩු කිරීම සිදු කරනවා. මෙම පෝෂක මගින් රුධිර නාලයන්හි බිත්ති වල මේද තැන්පත් වීම වළක්වා , හෘදයාබාධ හා ආඝාතය වැනි දරුණු රෝග වලින් අපව ආරක්ෂා කරනවා.
හදවත නිරෝගී කරනවා

ඕට්ස් තුල හදවතට හිතකර සෞඛ්‍ය සම්පන්න මේද අම්ල රාශියක් අඩංගු වෙනවා. මෙම මේද අම්ල මගින් හදවත් සෛල වල නිරෝගී තාවය හා රුධිර සංසරණ පද්ධතියේ නිරෝගිතාවය නිරතුරුවම ආරක්ෂා කරනවා. ඕට්ස් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක බලය නිසා නිදහස් අණු මගින් , රුධිර නාල වල බිත්ති වලට හානි කිරීම අවම කර අනාගත හදවත් රෝග අවධානම අවම කරනවා.
ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රශ්න අවම කරනවා

ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගැනීමට නම් දිනකට තන්තු ග්‍රෑම් 25ත් – 35ත් අතර ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගත යුතු බව වෛද්‍යවරුන් පවසනවා. උදෑසන ආහාරය ලෙස ඕට්ස් සුළු ප්‍රමාණයක් අනුභව කිරීමෙන්ම පමණක් මෙම තන්තු අවශ්‍යතාවයෙන් පහෙන් එකක්ම සම්පුර්ණ කර ගන්නට පුළුවන්. ඉතින් ඔබටත් ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහමින් පවත්වා ගෙන , මල බද්ධය වැනි අපහසුකාරී රෝගයන්ගෙන් බේරිලා ඉන්න අවශ්‍ය නම් , එකට කරන්න තියෙන හොදම දේ තමයි ඕට්ස් කන්න පුරුදු වෙන එක

හරි අපි දැන් ඕට්ස් ගැන ගොඩක් දේවල් කතා කරානේ. දැන් අපි බලමු උදේට කන්න ඕට්ස් කොහොමද හදා ගන්නේ කියලා

ඕට්ස් කෝප්ප භාගයක් සමඟ කිරි කොප්පයක් හෝ මිලි ලීටර් 250ක කිරි ප්‍රමාණයක් මිශ්‍ර කර සාස්පනක දමා රත් කර රසවත් ආහාරයක් ලෙස සකසා ගන්න. මෙසේ සකසා ගත් ඕට්ස් මතට කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගත හැකියි. එසේ ම, උදෑසන ආහාරය සඳහා ඕට්ස් සමඟ යෝගට් ආහාරයට ගැනීමට ද පුළුවන. මේ සෑම දෙයකින්ම උදරයට අවශ්‍ය ආහාර ප්‍රමාණය නොමඳව ලබා ගැනීමට හැකි වන අතර, ශරීරයේ බර ප්‍රමාණය ඉක්මවා නොයයි. ඕට්ස් ධාන්‍යයෙහි ඇති විශේෂත්වය වන්නේ මෙයයි.

ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කර ගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන්.
ඕට්ස් භාවිතා කරලා හදන ආහාර වට්ටෝරු
01) ක්ෂණික ඕට්ස් පලතුරු එක්ක

විනාඩි කීපෙකින් හදාගන්න පුළුවන් ගුණවත් උදේ ආහාරයක්. ඒ වගේම හවසට පොඩි බඩගින්නක් ආවහම මහත් නොවී ගුණ ස්නැක් එකක් ලෙසත් අපූරුයි. මේක හදන්න විනාඩි කීපයයි යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

උණු කිරි වීදුරු 1 යි

ඕට්ස් ඇති පමණ

රසවත් කර ගන්න සීනි හෝ පැණි ( ඔබට නිකන් කන්න පුළුවන් නම් සීනි දමන්න අවශ්‍යත් නැහැ)

පලතුරු වර්ගයක් ( කෙසෙල් ගෙඩි / ස්ට්‍රෝබෙරි / ඇපල්/ මිදී)

සාදන ක්‍රමය :
උණුසුම් කිරි භාජනයකට දමා ඒ මතට ඕට්ස් දමා හොඳින් මිශ්‍ර කරන්න. උකු තලපයක් බවට පත් වේවි. ඉන් පසු එයට සීනි හෝ පැණි ස්වල්පයක් දමා රසවත් කර ගන්න. පලතුරු කුඩා කැබලි වලට කපා එයටම එක් කරන්න.

විනාඩි දෙකකින් රසවත් අංග සම්පූර්ණ ආහාරයක් සූදානම්.

2) ඕට්ස් ඔම්ලට් එකක්

බඩගිනියි, හැබැයි පැණි රස සහ කිරි රහ හරියන්නේ නැහැ. වෙලාවකුත් නැහැ වෙන දෙයක් හදන්න. අන්න ඒ වගේ වෙලාවට විනාඩි 5 ක් යද්දී ගුණවත් ආහාරයක් හදා ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය :
නටන ජලය කෝප්ප 1 ක්

ඕට්ස් අවශ්‍ය පමණ

ලුණු

බිත්තර 2 ක්

හීනිවට කපන ලද බී ළූණු ගෙඩි භාගයයි

කපන ලද අමු මිරිස් කරල් 3 යි

අවශ්‍ය නම් විතරක් චීස් කැබලි 1 යි

සාදන ක්‍රමය :
නටන වතුරට ඕට්ස් දාල පියනකින් වහලා විනාඩි 5 ක් පමණ පැත්තකින් තියන්න. බිත්තර දෙක කඩලා සේරම කළමනා එක්ක හොඳට ගසා ගන්න. ඉන් පසු එයටම තම්බාගත් ඕට්ස් එක් කර හොඳින් ගසන්න. ඕනේ නම් කැබලි මිරිස් ටිකක් එකතු කරන්න.

පෑන් එකකට තෙල් දාලා තිපේ තියලා ඔම්ලට් එකක් හදන ආකාරයට දෙපැත්ත දාල හොඳින් පිස ගන්න. රස, ගුණ පිරි ආහාර වේලක්.

03) ඕට්ස් වලින් පෑන් කේක්

මේක නම් ගොඩක් රසයි. හදන්නත් ලේසියි. උදේ ආහාරයට නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඕට්ස් කප් 1 යි

පාන් පිටි කප් 1 යි

බේකින් පවුඩර් හැඳි 1 යි

බටර් ස්වල්පයක්

බිත්තර 2 ක්

උණු කිරි කෝප්ප 1 යි

සාදන ක්‍රමය :
ඕට්ස් කප් එකට උණු කිරි කෝප්පය දමා විනාඩි කීපයක් වසා තබන්න. එයට පාන් පිටි සහ බේකින් පවුඩර් තේ හැන්ද බැගින් එක් කරන්න. කැටි ඉතුරු නොවෙන විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. එයටම වැනිලා තේ හැන්දක්, බටර් ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු හොඳින් ගසා ගත් බිත්තර දෙක මේ මිශ්‍රණයට එකතු කර නැවත වරක් හොඳින් ගසා ගන්න.

රෙදි කඩකින් හෝ පියනකින් වසා පැය භාගයක් තිබෙන්න හරින්න. බැටර් එක තද වැඩියි වගේ නම් තව උණු වතුර මිශ්‍ර කරලා හැඳි ගා ගන්න.

දැන් නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් බිදු කීපයක් දමන්න. කපු රෙදි කඩකින් පෑන් එක පිස දමන්න. සාමන්‍ය පෑන් කේක් හදන විදිහටම බැටර් එක හැන්දෙන් එකක් අරගෙන පෑන් එකට දමා දෙපැත්ත දමමින් හදා ගන්න. පැණි, ක්‍රීම්, ස්ට්‍රෝබෙරි සමග ආහාරයට ගත හැක.

04) ඕට්ස් පිට්ටු

මේ ක්‍රමය අපිට එවුවේ FB එකේ ඉවුම් පිහුම් සමූහයේ ගංගා මානනායක මහත්මිය විසින්. ගුරුතුමියක් වුන ඇය දේශීය ක්‍රමයට ඕට්ස් වලින් ආහාර වර්ග අත්හදා බලනවා එහි ඇති ගුණ නිසාම. මේ තමයි ඇය පිට්ටු හදන ක්‍රමය.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඔට්ස් කප් 2 ක්

ගා ගත් පොල් කප් 1 ක්

ග්‍රේට් කළ කැරට් අලයක්

ලියා ගත් බීලූනු ගෙඩියක්

අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා

කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා

ගොටු කොළ හෝ තියෙන පලා වර්ගයක් හීනියට ලියා ගෙන මිටක් විතර

ලුණු, ගම්මිරිස්

සාදන ක්‍රමය :
මේ සියළු දේවල් එකට මිශ්‍ර කරන්න. වතුර ඉතාම ස්වල්පයක් ඉහලා ලුණු, ගම්මිරිස් ඇති පමණ දමා පිට්ටු බම්බුවකට දාලා තම්බා ගන්න. සාමාන්‍ය පිට්ටු වලට වඩා වැඩි වෙලාවක් තැම්බෙන්න අරින්න.

මස්, මාළු කරියක් එහෙම නැත්නම් පරිප්පු , අල වගේ හොද්දක් එක්ක උනත් හරිම රසයි. උදේට වගේම රෑ කෑමටත් හොඳයි.

05) ඕට්ස් රොටි

අවශ්‍ය ද්‍රව්‍ය :

ඔට්ස් කප් 2 යි

පාන් පිටි කප් 1යි

ගා ගත් පොල් කප් 2 යි

ලියාගත් බී ළූණු

අමු මිරිස් කරල් 2,3ක් පුංචියට කපලා

කරපිංචා කොළ ටිකක් හීනියට ලියලා

ලුණු

සාදන ක්‍රමය :
ඕට්ස් ධාන්‍ය වර්ගය පාන් පිටි සමග හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු උණු වතුර දමමින් රොටී අනන ආකාරයට අනා ගන්න. ඉතුරු කළමනා එකතු කරන්න. අවශ්‍ය පමණ ලුණු මිශ්‍ර කරන්න. ඉන් පසු බෝල හදා පැය භාගයක් පමණ තිබෙන්නට හරින්න.

අත් දෙකේ තෙල් ආලේප කර ගෙන තෙල් ගාගත් ලෑල්ලක හොඳින් වඩා ගන්න. ඉන් පසු රත් වුන කබලක දමා දෙපැත්ත දමමින් සාමාන්‍ය ආකාරයට රොටී හදා ගන්න.
6) ඕට්ස් සහ කුරක්කන් කැඳ

ඔබට උදේ හෝ රාත්‍රී ආහාරයක් ලෙස මේ ඉතාම ගුණ කැඳ වර්ගය හදා ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඕට්ස් කෝප්ප භාගයක්, කුරක්කන් කෝප්ප භාගයක්, පොල් කිරි කෝප්පයක්, ජලය සහ ලුණු ස්වල්පයක් පමණයි.

ඕට්ස් සහ කුරක්කන් වතුරෙන් හොඳින් තම්බා ගන්න. ඉන් පසු එම මිශ්‍රණයට පොල් කිරි සහ පදමට ලුණු දමා ලිපේ තබාගෙන හැඳි ගාන්න. රසම රස කැඳක් ලැබේවි.
7) ඕට්ස් වලින් අතුරුපස – ඕට්ස් කුකීස්

පොඩ්ඩන්ට හවසට තේ බොද්දි කන්න නම් අපූරු ගුණදායක බිස්කට් එකක් මේක. හදන්නත් ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් කෝප්ප භාගයයි

දුමුරු සීනි කෝප්ප තුන් කාලක්

පිටි වෙන්න කුඩු කර ගත් සාමාන්‍ය සීනි කෝප්ප භාගයයි

බිත්තර 2 ක්

වැනිලා තේ හැඳි 1 යි

හලාගත් පාන් පිටි කෝප්ප එක හමාරයි

ආප්ප සෝඩා ( බේකින් සෝඩා) තේ හැඳි 1 යි

කුරුඳු කුඩු තේ හැඳි 1 යි

ඕට්ස් කෝප්ප 3 යි

වියලි මිදී කෝප්ප 1 යි

සාදන ක්‍රමය :
පළමුව අවන් එක සෙල්සියස් අංශක 170 ට පමණ preheat කර ගන්න. ඕට්ස් සහ වියලි මිදී හැර අනෙක් සියලු කළමනා ලොකු බෝල් එකකට දමා හොඳින් විදුලි මික්ෂර් එකකින් හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු ඕට්ස් කෝප්ප තුන සහ වියලි මිදී දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න. මෙය තරමක් ඝන මිශ්‍රණයක් වේවි.

බේකින් ට්‍රේ එකට තෙල් කඩදාසියක් දමා ගන්න. මිශ්‍රණයෙන් බෝල හදා ඈතින් ඈත බේකින් ට්‍රේ එකේ තියන්න. සාමාන්‍යයෙන් කුකීස් බේක් කරන විදිහටම කරන්න.

විනාඩි 20 පමණ අවන් එකේ තියල එලියට ගන්න. නිමුනහම භාජනෙක අසුරලා පොඩ්ඩන්ට තේ බොන්න පාවිච්චි කරන්න.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *