දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මලා නොමග යවන දේවල්

ගැබිනි සමය කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂීම අවධිය. මුල් වරට සිදුවෙන දරු පිළිසිඳ ගැනීමක් නම් ඇයට මෙය අපූරු අලුත් අත්දැකීමක් බවට පත්වෙනවා. ඒ නිසාම මවක් විදිහට ඇය ගන්නා ආහාර රටාව හා චර්‍යාවන් ගැනත් වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. නමුත් සමාජයේ තියෙන ඇතැම් මිත්‍යා මත ඔබව අනිසි විදිහට අපහසුතාවයට පත් කරන්නත් පුළුවන්. එබැවින් ගර්භණී සමය හා බැඳි මිත්‍යා මත කිහිපයක් ගැනයි මේ කතාකරන්න සූදානම.

ආහාර පිළිබඳව මිත්‍යා මත.

පැපොල්, අන්නාසි වැනි පලතුරු කලලයට හානි කරන ආහාර වර්ග ලෙස බොහෝ දෙනා හඳුනා ගනී. නමුත් කදිම අතුරුපසක් ලෙස ඉදුණු පැපොල් හා අන්නාසි ද ආහාරයට ගැනීමෙන් ගැබිනි මවට හෝ ඇගේ කළලයට කිසිදු හානියක් සිදු නොවේ. නමුත් ව්‍යංජනයක් ආකාරයට පිස ගන්නා පැපොල් හා අමු අන්නාසි නම් ගැබිනි මවට එතරම් සුදුසු නැහැ.

කැෆේන් අඩංගු පාන වර්ග.

කැෆේන් අඩංගු වන චොකලට් හා කෝපි වැනි පාන වර්ගත් ගැබිනි මවට සුදුසු නොවන බවට තවත් මතයක් පවතී. නමුත් දිනකට කැෆේන් 300mg ට වඩා ගැනීම පමණක් සුදුසු නොවන නිසා 50mg ක් පමණ අඩංගු වන කෝපි කෝප්පයක් දෙකක් පානය කිරීමට ඔබට කිසිදු බලපෑමක් ඇති නොකරයි.

ව්‍යායාම.

ක්‍රියාශීලි දිවියකට ව්‍යායාම වඩාත් වැදගත් වුවත් ගැබිනි සමයේ පසුවන ඔබ මේ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බවත් බොහෝ දෙනාගේ මතයයි. දෛනිකව ව්‍යායාම කරමින් සිටින මවක් තම ජීවන රටාව වැඩි වෙහෙසකින් තොරව පවත්වා ගෙන යෑමෙන් කලලයට කිසිදු හානියක් සිදු නොවේ. නමුත් ගැබිනියක වූ පසු ව්‍යායාම කිරීම ආරම්භ කිරීම නම් එතරම් සුදුසු නොවන බව සිහි තබාගත යුතුමයි.

බර වැඩ කිරීම.

තමන්ගේ සිරුරට හුරුපුරුදු කාර්‍යයන් හා නිවසේ එදිනෙදා කටයුතු වලට වෙහෙසීම හා සාමාන්‍ය බර එසවීමෙන් ද? ගැබිනි මවගේ සෞඛ්‍යයට හානි වීමක් සිදු නොවෙයි. මේ නිසා ඔබ දෛනික වැඩ කටයුතු අනිසි බියක් නැතිව ඔබට පහසුවෙන් කර ගැනීමට ගැබිනි සමය බාධාවක් කර නොගන්න.

ඇහිබැම සැකසීම හා හිසකෙස් ඩයි කිරීම.

රූපලාවණ්‍යය ගැන සැලකිලිමත් වන කාන්තාවන් ගැබිනි සමයේ දී මේ දේවල් අතපසු කරන්නේ ඇතැම් අය අතර ඇති මිත්‍යා මත නිසායි. නමුත් ඔබට ආසාත්මිකතා ඇති නොවේ නම් කැමති විලාසිතාවකට හිසකේ ඩයි කිරීමත් සිදුකළ හැකියි.

දුර ගමන් බිමන්.

පැය 7 – 8 ක් පමණ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීමෙන් ගැබිනි මවගේ පාද වල රුධිර කැටි ගැසීම වැනි අපහසුතා ද ඇතිවිය හැකියි. මේ නිසා දුර ගමන් බිමන් යෑම ගැබිනි මවට අපහසුවක් ඇති කළත් බොහෝවිට පැය 3 – 4 කින් යා හැකි ගමන් බිමන් වල දී නම් ඇයට අපහසුවක් ඇති නොවේ. කෝච්ච්‍ යේ යන ගමන් වල දී මිනිත්තු 30 කට වරක් වත් කකුල් ඉහළ පහළ කිරීමෙන් කරන සරල ව්‍යායාමයකින් මෙම අපහසුතා මඟහරවා ගන්න.

ත්‍රීවිල් හා මෝටර් බයිසිකල් වල ගමන් යෑම.

ත්‍රීවිල් හා බයිසිකල් වල ගමන් යෑමෙන් ගැබිනියක් ගබ්සා විය හැකි බවට මතයක් ද අප බොහෝ දෙනා අතර පවතී. නමුත් දරුවා කලලයේ පාවෙන ස්ථරයක සිටින නිසා බොහෝමයක් කම්පන වලින් දරුවාට ආරක්ෂාවක් ස්වභාවිකවම ලැබෙයි.

දෙදෙනෙකු ගේ ආහාර එකවර ගැනීම.

ගැබිනි මවකගේ ආහාර වේල පෝෂණයට මුල් තැනක් දුන්නද, එහි ප්‍රමාණය ගැන එතරම් සැලකිලිමත් නොවිය යුතුයි. දෙදෙනෙක්ට සරිලන ලෙස ආහාර ගතු යුතු බවට මතයක් අප අතර තිබුණත් වඩා වැදගත් වන්නේ මවට සෑහෙන ප්‍රමාණවත් ගුණදායී ආහාර වේලක් ලබා ගැනීම පමණි.

Ultra Sound කිරණ බලපෑම.

මවගේ කලලය පරීක්ෂා කිරීමට යොදා ගන්නා Ultra Sound තරංග මඟින් කලලයට හානි වේ යැයි යන මතයක් තිබුණත් මෙම තරංග මඟින් කලලයට හෝ මවට කිසිදු හානියක් නොවන බව පර්‍යේෂණ මඟින්ම තහවුරු වූවක්. නමුත් CT Scan හා X-ray කිරණ පරීක්ෂණ නිතර සිදුකිරීම නම් ගැබිනි මවට එතරම් සුදුසු නොවේ .

👩‍⚕️ තොරතුරු:- ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥාණරත්න
📄 මූලාශ්‍රය :- Arya
🖊️ සැකසීම :- හෙළ අරණ

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *