ග්‍රහ අපල වලින් මිදෙන හැටි

ඊයේ මගේ මිතුරියක් මගෙන් අහනවා රේෂි ඔයා ජෝතිෂ්‍ය විශ්වාස කරනවද කියල “මම ඒකට මෙහෙම පිළිතුරක් දෙනවා. ” ජීවිතේ මෙතෙක් කාලයක් ගෙවූ අත්දැකීම් එක්ක මට තේරුනා විශ්වයේ හැම දේටම රටාවක් ඇති බව. බෞද්ධයෙක් ලෙස කර්මය කියන මහා බලවේගය විපාක දෙන්නත් මොඩල් එකක් තිබෙනවා. රටාවක් තිබෙනවා. මනුෂ්‍යයන්ට තමන්ගේ සසර ගමනේ කල හොඳ කර්ම වගේම නරක කාර්ම පල දෙන කාල ගැන සටහනක් තමයි ජෝතිෂ්‍ය සාස්ත්‍රය කියල. එය ගණිත ක්‍රමයක්. “මා හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ ” ජීවිතය සහ ග්‍රහයෝ ” පොත ගෙනත් එරාෂ්ටක ගැන , අපල ගැන, නැකත් ගැන ඉගෙන ගත්තා. නමුත් මම අදට වත් නැකත් බලල වැඩ කරන කෙනෙක් නෙවේ. විවාහ වුනෙත් ඩෙනිම් කලිසමයි සුදු ෂර්ට් එකයි පිටින් ගිහින් බැඳලා ගෙදර ආවා. මම හිතන්නේ යහපත් සිතුවිල්ලකින් යමක් ආරම්භ කරද්දී ඒක තමා නැකත කියල. ඒ වගේම මා කල කර්ම සහ මගේ උත්සාහය , කැපවීම එක්ක සාර්ථක අසාර්ථක වීම තීරණය වෙන බවම හිතනවා.නමුත් බුද්ධ දේශනාවට අනුව කර්මය වෙනස් කල හැකියි. උන්වහන්සේ කීවේ චේතනාව තමයි කර්මය කියල. ඒ වගේම හැම දේම ඉහත ආත්මයේ කල කාර්ම වලට/ නැත්නම් ග්‍රහයන්ට පවරමින් කුසීතව සිටීම බුදු පියානන් අගය කලේ නැහැ.ඇඟ කුණු වුණා පස්සේ සුවවුනා අනුරුද්ධ මහරහතන් වහන්සේට සොයුරියක් හිටියා. මේ රාජ කුමාරිගේ ශරීරය පුරාම පැතිරුණ කුෂ්ට රෝගයක් තිබ්බා. මොන බෙහෙත කරත් සුව වුනේ නැහැ. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉර්ධියෙන් බලල ඇයට පහදා දෙනවා ” මේ ඔයා ගිය ආත්මේ සැමියාගේ තවත් බිරිඳක් එක්ක තරහට ඇගේ යහනට වසක් හැලීමේ විපාක ලෙසයි මේ දරුණු රෝදුක ඔයාට ඇති වුනේ. මේ ප්‍රභල අකුසලය යටපත් කරන්න ප්‍රභල කුසලයක් කරන්න. ඔයාගේ රන් අභරණ ඔක්කොම විකුනලා ඒ මුදලින් සංඝාවාසයක් හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරන්න “මේක කරා විතරයි සුව කල නොහැකි කුෂ්ටය සුව වුණා. අන්න එහෙමයි අකුසලයක් / කුසලයක් මතු කරලා කපන්නේ.

බුදු වුනත් පවු පල දුන්නා අපගේ ගෞතම බුදු පියාණන් වයන්සේ තමයි බුදුන් විෂයෙහි වැඩිම කාලයක් දුෂ්කර ක්‍රියා කළේ. වසර 6 ක් මනුස්සයෙක්ට විඳින්න තියා හිතන්න බැරි දුක් වින්ද බව දැන ගන්න චක්කවත්තී සිහනාද සූත්‍රයේ සිංහල පරිවර්තනයක් බලන්න. දවස් ගානක් කඳුළු හෙළ හෙලා වැළපෙන්න දේවල් එහි ඇති.මෙයට හේතු වුනේ උන්වහන්සේ විසින් කාශ්‍යප බුදු පියාණන් වහන්සේට කල නින්දාවක් නිසයි. ජීවිතය සහ ග්‍රහයෝ පොතේ හ්න්ද්රික් සිල්වා හෙට්ටිගොඩ මහතා තර්ක කරනවා ඒ වෙලේ උන්වහන්සේ ගේ හඳහනට අනුව සෙනසුරු ඊරෂ්ටකයක් ගෙවමින් සිටියා කියල. බලන්න කර්මය සහ ජෝතිෂ්‍ය සාස්ත්‍රය සමපාත වුන හැටි.නරක කාල වල පරිස්සමෙන් හැම දේම එකට පිට පිට වරදින කාල අපිට එනවා. ඒ වගේ කාල වලදී ඔබ ත්රුම් ගන්න ඕනේ මේ මගේ නරක කර්ම පල දෙන කාලයක්. හැකි තරම් මගේ ආගම දහමට අනුව හොඳ සිතිවිලි ඇතිව, හොඳ ක්‍රියාවල යෙදෙමින් ඉන්න ඕනේ කියල.දේව පූජා, යන්තර මන්තර කාරයෝ ඔබෙන් විශාල මුදල් ගරන්න උත්සහ කරාවි. යකඩ කෑල්ලක් බෙල්ලේ එල්ලුන පමණින් කර්මයක් ගෙවෙනවා නම් කොයි තරම් ලේසිද?අපි කල දෙයක් විපාක දීල අවසන් වීම ගැන සතුටු වෙලා හිත හදා ගන්න. ඉන් පස්සේ හොඳ කර්ම වලින් නරක කර්ම කපන්න උත්සහ දරන්න. තමන්ගේ ආගමට අනුව ජීවත් වෙන්න.මා දන්නා දරුවෝ නැති යුවලවල් ගොඩ දෙනෙක් අනාත දරුවෝ ආදරෙන් හදා වඩන්න ගත්තා. වෛද්‍ය ක්‍රම කරලා වියදම් කරලා දරුවෝ ඉපදුනේ නැති ඔවුන් බොහෝ දෙනෙක්ට ඉන් පස්සේ ඉබේම දරුවෝ ඉපදුනා. මම හිතන්නේ දරුවෝ නැති වෙන්න හේතු වුන අකුසලය කුසලයෙන් කැපී ගියා.මානසිකව වැටෙන්න එපා. මම හැම වෙලේම ” this too will pass ” කියමින් අනිත්‍ය ගැන මෙනෙහි කරනවා. තත්වය කොයි තරම් නරක වුනත් මානසිකව නොවැටී ඉන්න ” මේකත් වෙනස් වෙනවා ” කියා හිතන එක මාරම හයියක් වෙනවා.ජීවිතේ කියන්නේ කන්දකුත් නෙවේ , පල්ලමකුත් නෙවේ…… කඳු ,පල්ලම්, හෙල් , සමබිම් වල එකතුවක්. සංසාර ගමන අමාරුයි. අනුන්ට ගිනි ගෙඩි නොදී ලැබුන ජීවිතේ ගෙවන එක තමයි මනුස්සකම කියන්නේ.

Author: admin