ගන්ධබ්බ ලෝකයේන් අම්මගේ බඩට ආපු දරුවා

ආදරණීය අම්මේ.

ගන්ධබ්බ ලෝකයේ සත්වයෙක් ලෙස හිටපු මම මිනිසෙක් වෙලා මෙලොව එලිය දකින්න බොහෝ ආශාවෙන් සිටියා. දවසක් මාව කොහේට දෝ ඇදිලා ගියා. මට කිසිවක් හිතා ගන්නට බැරි වුනා. බලද්දි මම හිටියේ මිනිස් මව් කුසක. මට දැනුනු සතුට කියා නිම කරන්න බෑ අම්මෙ. මට මිනිස් අම්මා කෙනෙකු ගේ කුසක පිලිසිඳ ගන්නට වාසනාව ලැබිලා. මට මුළු ලෝකෙම ලැබුනා වගේ. ඒක මහා පුදුමාකාර සැනසිල්ලක්. ගන්ධබ්බ සත්වයෙක් වෙලා හිටපු ඒ කාලේ ඒ තරමටම භයංකාරයි අම්මේ. ඔයාගේ කුස තුල ඉන්න කාලේල මම කොතරම් ආරක්ෂිතද? මේ තරම් ආරක්ෂාවක් මට කවදාවත් දැනිලා නෑ. මට දැන් බඩගිනි වෙන්නේත් නෑ. කවුරුවත් මට රිද්දන්නෙත් නෑ. ඒක මහා පුදුමාකාර සහනයක් අම්මේ.

මම දිනෙන් දින අම්මගේ කුසය තුල ආරක්ෂිතව වැඩෙන බව ඔයා දැන ගෙන සිටියේ නැති බව මට තේරුනා. ටික දවසකින් මම ඔයගේ කුස තුල වැඩෙන බව ඔයයි තාත්තයි දැන ගත්තා. ඒත් ඔයාලට මාව ඕනි නෑ කියලා කිවිවා මම අහගෙන. අයියලා අක්කලාටත් කන්න දෙන්නල උගන්වන්න සල්ලි නෑ කියලා කිව්වා. මට ඔයාලා ගැන මහා දුකක් ඇතිවුනා අම්මේ. අනේ ඉස්සර මගේ ල`ග තිබුන සල්ලි තිබුන නම්, මම ඕගොල්ලන්ට ඒ්වා දෙනවා. ඒත් මට දැන් ඒවා අයිති නෑ. මට ඒවා මොනාවත් එනකොට ගේන්න බැරි උනා. මම ගොඩක් වෙලා කල්පනා කලා ඔයාලට සල්ලි ගෙනත් දෙන්න විදිහක් තියෙනවාද කියලා. මම අසරණයි අම්මේ. මට ක‍්‍රමයක් මතක් වුනේම නෑ.

දවසක් අම්මයි තාත්තයි කථා කරපුදේ අහිලා මට මහා භයක් ඇති වුනා. කාලාන්තරයක් අර ගන්ධබ්බ ලෝකයේ හිටපු නිසා මම කොහොමටත් මහා භහකින් තමයි හිටියේ. දැන් මේ කථාව නිසා මම ඊට වඩා භය වුනා. අනේ ඔයාලා මාව නැති කරන්න හදනවා කිව්වා. ඒ කියන්නේ මට ආපහු අර ගන්ධබ්බ ලෝකයට යන්න වෙනවා කියන එකද? අනේ එහෙම නම් වෙන්න එපා කියලා මම ප‍්‍රාර්ථනා කලා. ඒත් අනේ අම්මයි තාත්තයි අසරණයි කියලා මට තේරුනා. මම මෙතනට ඇවිල්ල තියෙන්නෙත් තවත් එක් අකුසල කර්මයක් නිසාමයි කියලා ඒ වන විට මට වැටහිලා හමාරයි. වෙලාවකට මට හිතුනා තිරිසන් ලෝකෙ අම්මා කෙනෙකු ගේ කුසක පිළිසිඳ ගත්තානම් මෙහෙම දෙයක් වෙන එකක් නෑ කියලා. ඒත් ඉතින් තිරිසන් සතෙක් වෙලා ඉපදුනාට පස්සේ විඳින දුක මම ගන්ධබ්බ ලෝකෙදී දැකලා තියෙනවනේ. අනික ඉතින්ම මට ඕනි විදිහට මව්කුසක් තොරගන්න බෑනේ. මම කල කර්මයමයි මගේ ගමණ තීරණය කරල තියෙන්නේ. මොනා කරන්නද? මම මහා පවු කාරයෙක් කියන එකනම් දැන් හොදටම පැහැදිලියි.

දවසක් අම්මයි තාත්තයි කොහෙදෝ යන්න පිටත් උනා. කථාවෙන් මට හැ`ගුනේ එදා මගේ අවසාන දවස බවයි. මම හයියෙන් කෑ ගහලා කිව්වා අනේ මට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. ඒත් ඔයාලට ඒක ඇහුනේ නෑ. පසසේ තමයි මට තේරුනේ තවම මට කථා කරන්න, අහන්න, බලන්න මොනාවත් බෑ කියලා. අම්මා කථා කරන එකත් ඇහිලා තියෙන්නේ මගේ හිතටයි කියලා මම දැන් දන්නවා. අනේ මම කියපුවා මගේ අම්මට ඇහුනා නම්, අම්මා ඒ ගමන නවත්වනවා කියලා මම දන්නවා. ඒත් මට ගෙවන්නට තිබුනු අකුසල කර්මය ඊට වඩා බරපතල එකක් වෙන්න ඇති නේද අම්මේ. අතරමගදි අම්මා කිව්වා අනේ අපි මේ ළමයත් හදමුද කියලා. මට මහා සතුටක් ඇතිවුනා. ඒත් තාත්තා කිව්වා කොහොමද රත්තරනේ එහෙම කරන්නේ. අනිත් දරුවන්ටත් කන්න දෙන්නේ උගන්වන්නේ මොනතරම් අමාරුවෙන්ද කියලා. අම්මා අඩනවත් මට ඇහුනා. අනේ පවු මගේ අම්මා.

කොහොම හරි එදා මගේ මිනිස් ජීවිතය අවසන් වුනා. නැවතත් පෙර සිටපු තත්වයටම පත්වුනා. ඒත් මම දැන් කුඩා දරුවෙකු ගේ ස්වරූපයක් ගෙන ඇති බව දැනුනා. එහෙම වුනේ මම අපේ අම්මගේ කුසේ හිටපු දවස් කිහිපයේදී වඩපු සංකාර නිසා වෙන්න ඇති. මම දැන් අතරමං වුන දරුවෙක් වගේ. කරන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. අඩ අඩා ඇවිද්දත් කවුරුවත් මගෙන් ඇයි කියලවත් අහන්නේ නෑ. මම දවස් කීපයක්ම උත්සහ කලා අම්ම එක්ක කථා කරන්න. ඒත් අම්මා මාව දැක්කේ නෑ වගේ හිටියා. මම හයියෙන් ඇඩුවා. ඒත් අම්මා ඇහුනේ නෑ වගේ හිටියා. මට දැන් අඩන්න ඇස්වල කඳුලූත් නෑ වගේ. මම හිස ඔසවලා වටපිට බැලූවේ වෙන කාගෙන් හරි පිහිටක් ඉල්ලන බලා පොරොත්තුවෙන්. අනේ දෙවියනේ මොනවද මම මේ දකින්නේ. මම වගේ කුඩා ළමයි කෝටි ගනනක් ඉන්නවා. හැමෝටම සිදුවෙලා තියෙන්නේ මේ සන්තෑසියමද? ඒගොල්ලන් ගෙන් අහන්න විදිහකුත් නෑ. ඒගොල්ලො මටත් වඩා හයියෙන් අඩනවා. සමහරුන් ගේ අත් නෑ. සමහරුන් ගේ කකුල් නෑ. වේදනාව උහුල ගන්න බැරුව වෙන්න ඇති මේ ළමයි අඩන්නේ. අනේ අම්මේ මේ ළමයි විදින දුක අම්මලා දැක්කනම් කවදාවත් මේවා කරන එකක් නෑ. ඉපදිලා ඉන්න ළමයෙකුට බඬේ අමාරුවක් හැදුනත් අම්මලා කොපමණ වද වෙනවද? ඒත් අම්මලාගේ දරුවෝ කෝටි ගානක් මෙහෙ නොවිදිනා දුක් විඳිනවා. ඒගොල්ලො පවි අම්මෙ.

තාත්තට නම් දැන් මාව මතකත් නැතුව ඇති නේද. මම තාත්තත් එක්ක තරහා නෑ කියන්න හොඳේ. ඒත් මම දැන් හරිම අසරණයි අම්මේ. මට කියන්න කිසි කෙනෙක් නෑ. මාව මේ දුකෙන් ගොඩ ගන්න පුළුවන් ඔයාටම විතරයි අම්මෙ. මට මේ දුගතියෙන් ගැල වෙන්න අත දෙන්න අම්මේ. ඒක කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඔයා මාව ප‍්‍රතික්ෂේප කලේ මට ආදරේ නැතිව නොවන බව මම හොඳින්ම දන්නවා. දහසකුත් එකක් ප‍්‍රශ්න තියෙන ඔයා කොහොමද මාව හදන්නේ. පුංචි මට දැන් ඒක තේරෙනවා අම්මේ. මම තරහා නෑ ඔයත් එක්ක. ඒත් අනේ මට පොඩි උදව්වක් කරන්න.

මට මේ දුගතියෙන් මිදෙන්න උදව් කරන්න. ඔයා තමයි මගේ එකම ගැළවුම් කාරයා. වෙන කවුරුවත් මම ඔයාගේ දරුවෙක් බව දන්නේත් නෑ අම්මෙ. අම්මා මේකෙන් මාව ගලව ගත්තේ නැතිනම් මට තවත් අවුරුදු දස දහස් ගනනක් මේ ගන්ධබ්බ විලාසයෙන්ම ඉන්න වෙනවා. ඒක මහා දුකක්. කන්න දෙයක් කවුරු හරි විසි කරනකම් ඉන්න ඕනි. බොන්න තියෙන්නේ කඳුළු විතරයි. බඩගින්න කවදාවත් නිවාගන්න බෑ. මගේ අයියලා අක්කලා කනකොට, බොනකොට මමත් එතනට එනවා. ඒත් ඒගොල්ලො මට ටිකක්වත් දුන්නේ නෑ හරිම නරකයි.

මේ ලෝකෙට කවුරුත් එන්න හොඳ නෑ අම්මේ. හැබැයි මෙතනට එන සමහර අයගේ ඥාතින් ආර්්‍යන් වහන්සේලාට දන් දීලා පින් අනුමෝදන් කලහම ඒගොල්ලො මෙහෙන් චුත වෙලා සුගතියට යනවා. ඒ යන අය හරි සතුටින් තමයි පිටත් වෙලා යන්නෙ. ඒත් අපි වගේ කෝටි ගනනක් ඉන්නවා කවුරු වත් පින් දෙන්නේ නැති. ඇයි අම්මේ අපිට විතරක් පින් දෙන්නේ නැත්තේ. අපි මලගිය ඥාතීන් නෙවෙයිද? අපි වගේ අයට කිසි කෙනෙක් පින් අනුමෝදන් කරන්නේ නෑ. ඒ නිසා අපි මහා කාලයක් මේ දුගතියේ ඉන්න ඕනි අම්මෙ. අපි ගොඩක් පවු කරලා ඇති නේද? ඒත් මගෙ සුදු අම්මා මට පින් දෙනවා නේද? මම මේ දුකෙන් කොහොම හරි ගලවන්න අම්මෙ. ඔයාට බුදු බව ලැබෙයි.

ආර්්‍යයන් වහන්සේලාට දොලොස් පිරිකර සහිත සාංඝීක දානයක් දීලා, ඒ පින මට අනුමොදන් කරන්න. මම වගේ කෝටි ගනනක් මේ ලෝකෙ ඉන්නවා අම්මේ. ඒගොල්ලොත් මම වගේම දුකට පත්වෙලා අතරමං වෙලා ඉන්නේ. ඒගොල්ලන්ටත් ඒ පින අනුමෝදන් කරන්න. පුළුවන් අය ඒ පින් අනුමෝදන් වෙයි. අනුමෝදන් වෙලා මෙහෙන් නිදහස් වෙලා යයි. අනේ අම්මේ ඔයාටත් මතු කිසිම ආත්ම භාවයකදී මෙවන් වරදක් සිදු කිරීමට පරිසරය නොසෑදේවා කියලත් ප‍්‍රාර්ථනා කරන්න.

මතු සංසාරෙ කවදා හරි දවසක ඔයා නිවන් දැකලා තිබුනේ නැතිනම් මම ඔයාගේ පුතා වෙලා ඔයාව හොඳට බලා ගන්නම්. එදාට මට මනු ලොව එලිය දකින්න පින් තියේවි. මටත් මෙවන් ඉරණමක් අත්වුනේ මමත් පෙර සසරේදී ප‍්‍රාණ ඝාත අකුසල සිදුකල නිසා බව මම දැන් දන්නවා. මම මින් පස්සේ ඒවා කරන්නේන නෑ අම්මේ. මේ දුකෙන් මිදෙන්න, අප සම්මා සම්බුදු පියානන් වහන්සේ දේශනා කල මාර්ගයේ ගමන් කරන්න අම්මේ. මමත් ඔයාගේ පසු පස්සේ එන්නම්. අපි දෙන්නම ඒ අමා මහ නිවන් සුව සාක්ෂාත් කරන්න පෙරුම් පුරමු.

ආදර අම්මේ, මම ඔයා පින් දෙනකං බලාගෙන ඉන්නවා. ඒ දවස වැඩි ඈතක නෑ නේද සුදු අම්මේ.

මේ ඔයාගේ අදරනීය චූටි පුතා.

මේ ජීවිතයේදී නැතත් අතීත සංසාරයේ යම් දිනක ඔබත් මේ අත්දැකීමට හවුල් වී ඇති. සමහර විට ඔබ ඒ මව විය හැකියි. සමහර විට පියා විය හැකියි. නැතිනම් මීට හේතුවක් වූ සහෝදරයන් විය හැකියි. අනුබල දුන් ඔබගේම දෙමව්පියන් හෝ ‍ඥාතීන් විය හැකිය.තවත් සමහර අය ගබ්සාවේදි නැතිවූ දරුවාද විය හැකියි. ඔබ සියළු දෙනාම මේ වරදින් නිදහස් වීමට දැන් කාලය පැමිණ ඇත. එසේ නිදහස් වීමට කැමති කෙනෙක් ඇත්නම් පහත ඇති ලින්ක් එක ක්ලික් කර පින් බලා පොරොත්තුවෙන් සිටින, අපගේ සංසාරගත ඥාතීන් නිදහස් කල හැකි, මහා පුණ්‍යක‍්‍රියාව සහ පුණ්‍යානුමෝදනාව ගැන දැන කියා ගන්න. මෙය සංසාරයේ ඔබට ලැබෙන අති දුර්ලභ අවස්ථාවක් බව වටහා ගන්න. ඔබගේ යුතුකම ඉටුකරන්නට අධිෂ්ඨාන කරගන්න. ඒ දරුවා එම අධිෂ්ඨානය දැක සතුටු වනු නිසැකය.

මෙම උතුම් ක‍්‍රියාව නිසා ඔබගේද සංසාර ගත ණය ගෙවී යන නිසා තමා‍ට මෙතුවක් කල් තිබූ අඳුරු දෝෂයන්ද දුරු වනු ඇත.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *