කුණු වලින් ගඩොල් හදන ඉංජිනේරුවා

මෙවර ලෝක පරිසර දින තේමාව වී තිබුණේ ද ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය පිටු දකිමු යනුවෙනි. එහෙත් තනි තනි ඒකකයක් ලෙස ගත් විට අපි කිසිවෙකුත් ප්ලාස්ටික් පොලතීන් අවභාවිතාවේ යෙදීම පිළිබඳ ආකල්පමය වෙනසක් කර ගැනීමට එතරම් කැමැත්තක් නැත. ඒ ජීවත් වන මේ මොහොතේ අපට පෞද්ගලිකව දැනෙන ආපාදාවක් දැකිය නොහැකි බැවිනි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාසිකව එක්වන කසල ප්‍රමාණය ටොන් 1462කි. ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියට බඳුන් කළ පසු ඉතිරිය සමන්විත වන්නේ ප්‍රතිචක්ක්‍රීයකරණය නොකළ හැකි ගණයටය. 2017 වසරේ ගණනය කිරීම් වලට අනුව දිස්ත්‍රික්කයේ දහනය කළ නොහැකිව ඉතිරිව ඇති කැලි කසල ප්‍රමාණය කිලෝ ග්රූම් ලක්ෂ 6 ඉක්මවයි. මෙවායින් බහුතරය සමන්විත වන්නේ ප්ලාස්ටික් පොලීතීන් වලිනි.අනෙක් අතට පසුගිය වර්ෂය යනු කෑගල්ලේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අවදානම් තත්ත්වයට පත් වූ වසරකි. 2017 වර්ෂයේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් ප්‍රමාණය 9322 ක් වූ අතර ඉන් ජීවිත 32 ක් දිස්ත්‍රික්කයට අහිමි වී තිබිණි. ඩෙංගු මදුරුවන් දිස්ත්‍රික්කය ගිල ගනිමිනි සිටියහ. මේ පැතිරීමේ වේගයට බලපෑ ප්‍රමුඛතම හේතුව වූයේ දිස්ත්‍රික්කයේ කැලි කසළ ප්‍රශ්නය බව අමුතුවෙන් කිව යුතු නැත.කුණු ජාතික ප්‍රශ්නයක් වන තරටම මේ වන විට උග්‍ර වී තිබේ. අප සේ සිටින්නේ ඊට පිළිතුරක් සෙවිය යුතුම නිමේෂයේ ය.රඛිත බ්‍රිටෝ Rakitha Brito අප හඳුනාගන්නේ එවැනි පසුබිමකය. ඔහු ඉංජිනේරුවෙකි. නව නිපැයුම්කරුවෙකි. සමාජ සම්පතක් වූ මිනිසෙකි. ඔහු භාවිතයෙන් ඉවත දමන ප්ලාස්ටික්, පොලිතීන් , ලන්ච් ෂීට් වැනි ද්‍රව්‍ය කුඩා කොටස්වලට වෙන් කර නැනෝ තාක්ෂණය උපයෝගී කර ගිනිමින් විසිතුරු ගඩොලක් නිපදවා තිබේ. මෙම ගඩොල සුවිශේෂි වන්නේ අවම පිරිවැයකින් එය නිපදවීමට ඇති හැකියාව මෙන්ම භාවිතයෙන් පසුවත් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඇති හැකියාවයි. වෙළඳපලේ ඇති අනෙකුත් ගඩොල් වලටවඩා මෙම ගඩොල භාවිතයෙන් අධික උෂ්ණත්වයක් පවතින කාලයක පරිසර උෂ්ණත්වය 25% කින් පමණ අවම කරලීමට ද හැකියාව ලැබෙයි. දහවලට එක් වර්ණයකුත් රාත්‍රියයට තවත් වර්ණයක් ගැනීම ද මෙම ගඩොලේ ඇති සුවිශේෂිතාවයකි.
මිනිසාගේ ශරීර උෂ්ණත්යට පවා සංවේදී වන මෙම ගඩොලෙන් කෑගල්ලට ඇති වැදැගත්කම කුමක්දැයි ඔබට සිතෙනවා විය හැකිය. ඊට හේතු දෙකකි. ඉන් පළමු වැන්න නම් කඳු සහ බෑවුම් සහිත භූමියකින් සමන්විත වන දිස්ත්‍රික්කයේ පාරවල් නිමකිරීම සඳහා මෙම ගඩොල යොදා ගැනීමට ඇති හැකියාවයි. එය අවම පිරිවැයකින් සිදු කළ හැකිව තිබේ. සාමාන්‍යයෙන් කඳු සහිත පාරවල් සාදා නිමකිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදු වන අතර මෙම ගඩොල භාවිතයෙන් ඉතා අවම පිරිවැයකින් පාරක් නිම කළ හැකිය. අනෙක් අතට මෙම ගඩොල නාය අවදානම් බහුල කෑගල්ලට සුදුසුම විකල්පයකි. ඒ ජලය උරා ගැනීම අවම මට්ටමේ පවතින බැවිනි.දෙවැන්න මෙමගින් දිස්ත්‍රික්කයේ ප්‍රතිචක්ක්‍රීයකරණය කළ නොහැකි පොලිතීන් සඳහා නිවැරදි විසඳුමක් හිමිවීමයි. කැලි කසළ අවම දිස්ත්‍රික්කයක් බවට කෑගල්ල පත්කරලීමට එමගින් හැකි වනු ඇත.ඉංජිනේරු රඛිතගේ මෙම තාක්ෂණයත් සමඟ කෑගල්ලේ පළමු ව්‍යාපෘතිය මාවනැල්ලේ දී ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ඒ සඳහා නියමු ව්‍යාපෘතිය සඳහා මාවනැල්ල තෝරා ගන්නේ මාවනැල්ල ප්‍රාදේශීය සභාව කැලි කසල වැඩි ප්‍රමාණයක් එක්රැස් වන පළාත් පාලන ආයතනයක් වන බැවිනි.මේ තාක්ෂණය දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සමඟ නිසිපරිදි ගලපා ගැනීමට හැකියාව ලැබේ නම් කෑගල්ලේ මාර්ග ඉඳිකිරීම් ක්ෂේත්‍රෙය් සෑහෙන ප්‍රමාණයක ගැටළු විසඳා ගැනීමට මෙන්ම කුණු ප්‍රශ්නයට ද තිරසර විසඳුමක් ලැබෙනු ඇත…

Author: admin