කතරගම දෙවියන්

ජාති ආගම් බේද නොතකා සෑම තරාතිරකම ජනතාවක් ඇදී එන මෙරට පිහිටි එකම පුදබිම කතරගම මහ දෙවොලයි. විජයාවතරණයට පෙර සිට ම කතරගම උසස් ශිෂ්ටාචාරයක් හා සභ්‍යත්වයක් පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඉන්දියානු ද්‍රවිඩ ආක්‍රමණයට ලක්ව එළාර රජු‍‍ගේ බලයට නතුව තිබූ යුගයේ රුහුණු රට උපන් ගැමුණු කුමරු බලසේනා පිරිවරා රට එක්සේසත් කිරීමේ අරමුණින් රජරට බලා ගමන් ඇරැඹීය. ඒ මහා විජිතපුර සටනට යන අතරමඟදී මැණික් ගං ඉවුරේ නතරවූයේ කල්යල් බලා ගමන් ඇරැඹීමටය.

එදා මේ මැණික් ගඟ උතුරා ගලා යමින් තිබිණ. ග‍ඟෙන් එතර වීමට මඟක් නැතිව ගඟ අද්දර වී රජු කල්පනා කරමින් සිටියේ මහා සේනාවක් ද සමඟ කර කියා ගත හැකි දෙයක් නොමැතිවය. ඒ මොහොතේ දුගී මිනිසෙක් දුන්නක් ද අතැතිව රජු අභිමුවට පැමිණියේය. රජු එම දුගී පුරුෂයන්ගෙන් විජිත පුරයට යන පාර විමසද්දී ඔහු කිසිවක් කතා නොකර තමන් අතවූ දුන්නෙන් ගඟ හරහා යන ලෙස හීයක් විද්දේය.

ඒ හා සමඟ ම ගං දිය දෙබෑ වී අඩි හතක පමණ පාරක් ගඟ මැදින් මතු විය.

මේ ආශ්චර්යමත් සිද්ධියක් බව වටහාගත් රජතුමා – දුගියා කවරෙකුදැයි හඳුනාගත් නිසා ඔහුට දණ නමා ආචාර කරමින් යුද්ධයෙන් ජය ලැබීමට තමාට වරයක් දෙන ලෙස කන්නලව් කළේය.

ගැමුණු රජතුමාට කතරම දෙවියන් මුණ ගැසුණේ එදින ය. වර ලත් රජතුමා යුද්ධය දිනා නැවත ආපසු එනවිට හමුවන්නේ කොතැනදීදැයි දෙවියන් විමසුවේය. දැනට කතරගම කඳුවැටිය නමින් හඳුන්වන ස්ථානයට තමන් අත ඇති දුන්නෙන් හීයක් විදි දුගී වෙසින් සිටි කතරගම කඳ කුමරු අතරුදහන් විය.

දුටුගැමුණු රජතුමා විජිතපුර සටනින් ජය ගෙන ආපසු සිය නිජබිම වූ රෝහණ දේශයට පැමිණෙද්දී එදා සටනට යනදා දුගියා පෙන්වූ කතරගම කඳුවැටිය කරා ළඟා විය.

කඳුවැටියට නැඟුණු රජතුමාට නොයෙකුත් යුද්ධායුධ අතින්ගත් මුහුණු සයකින් යුත් අත් දොළසකින් යුත් තෙද බලැතිව වැඩ වසන කතරගම දෙවියන් දකින්නට ලැබුණේය.

මේ දර්ශනය දුටු-ගැමුණු රජතුමා විස්මයෙන් යුතුව තැති ගැන්වී මොහොතක් බලා සිටියේය. පසුව වැඳ නමස්කාර කොට පසෙකට වී මෙසේ ප්‍රකාශ කළේය.

“අනේ තෙද බල පතුරන දෙවියනි, දුගී පුරුෂයෙකුට ඔබ තුමන් කරන ලද උපකාරයට උපකාරයක් කිරීමට දැන් ඔහු පැමිණ සිටියි.

ඒ දුගී පුරුෂයා වූ මම දැන් ඒ වෙනුවෙන් කුමක් කරම් ද?”

කතරගම දෙවියෝ රන් හීයකුත් දුන්නකුත් අතට ගෙන “මම මේ රන් හීය මැණික් ගං ඉවුරේ යම් තැනකට විදින්නෙම් ද ඒ හීය වැටුණ තැන කෝවිලක් කර දීම සෑ‍හේ යැයි පැවසූහ. කිරිවෙහෙරත් මැණික් ගඟත් අතරට මේ රන්හීය වැටිණි. වර්තමාන කතරගම මහ දේවාලය දුටුගැමුණු රජතුමා ඉදිකළේ එතැන ය.

මේ ඓතිහාසික මහ කතරගම දේවාලය ඉදිවී ඇත්තේ විශාල මැණික් ගලක් යටකර ගෙන ඒ මතය. කතරගම ඒ මහ මැණික් ගල වටා මහ මැණික් පුරයකි. කතරගම දෙවියන්ගේ තෙද බල හාස්කම් මේ පුරයේ ඇත්තේ ය. මෙතැනින් නැගෙන මහා රශ්මිය විශ්වය පුරා පැතිරී යයි. දෙවොල මැද්දෙන් යන පාර දිගේ ඉදිරියට යන්නේ කිරි වෙහෙරටය. ඒ බුදුන් වැඩි බිමට ය.

කතරගම මැණික් ගගෙන් එගොඩවන තැන ම හමුවන්නේ කඳ කුමරු ලංකාවට පැමිණි සමයේ මැණික් ගං තීරයේ සැරිසරද්දී හමු වූ සුන්දර කාන්තව වල්ලි අම්මා ඇසුරට වැටුණු තැන පිහිටි වල්ලි අම්මාගේ කෝවිලයි. එතන විවාහය පතා තරුණියෝ බාරහාර වෙති.

කඳ කුමරු වල්ලි අම්මාගේ ඇසුරට වැටුණු අන්දම තවත් විසිතුරු කතාවකි.

කුමරු ඉන්දීයාවේ සිටි කාලයේ ඔහු ඇසුරු කරමින් කල්ගත කළ ඉතාමත් කීකරු වූ සේවක‍යෝ දෙදෙනෙක් වූහ.

එක් කෙනෙක් මුත්තුලිංග ස්වාමිය. ඔහු සියලු සතර දත් පඬිවරයෙකි. අනෙකා මුස්ලිම් බැතිමතෙකි. කන්දස්වාමි කුමරු ලංකාවට පැමිණී ම ගැන මේ දෙදෙනා බොහෝ දුකට පත්වූහ. ඔහු නැවතත් තමන් ඇසුරට ගෙන්වා ගැනීමට බොහෝ උපක්‍රම යෙදූහ.

මුත්තු ලිංගම් ස්වාමි කන්දස්වාමි කුමරු පිළිබඳ පවත්නා සියලු ම අවතාර ඇතුළත් කිරීමෙන් දුටුවන් සිත් ගන්නා ආකාරයට තඹවලින් තැටියක් සෑදවිය. සිත් වසඟකරවනසුලු මේ තැටිය ද රැගෙන ඔහු සිය හිතවත් මුස්ලිම් බැතිමතා සමඟ මැණික් ගං ඉවුරට පැමිණියේය. ඔව්හු ඒ තැටිය ද රැගෙන ටික දිනක් වන වැදී භාවනා කිරීමට ඉටා ගත්හ.

ඔවුන්ගේ මේ ගමන කන්ද ස්වාමි කුමරු යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමේ අරමුණෙනි. එය දැනගත් කන්ද ස්වාමි කුමරු දුක්විය. ඒ කඳකුමරු මැණික් ගං ඉවුරේ සැරි සරන කාලයේ හමු වූ සුන්දර කාන්තාව වූ වල්ලි අතහැර යෑමට නොහැකි වීමය. කුමරු ඇය අහිමිවීම අභාග්‍යයක් කොට සැලකීය.

කඳ කුමරු වල්ලියට කතා කළේය. තමා ලංකාවෙන් ඉන්දියාවට ගෙන යෑමට මිතුරන් දෙදෙනා ආ කතාව කීවේය. ඔහු උපක්‍රමයක් යෙදීය. වල්ලිට සිඟන්නියක වේශයෙන් ගොස් ඒ තැටිය ගෙන එන ලෙස දැන්වීය.

වල්ලි පසුදා උදෑසන තම ස්වාමියා කියා දුන් අන්දමට දුගි ස්ත්‍රියකගේ වේශයෙන් ගොස් මැණික් ගං ඉවුරේ සුදු වැලි තලාව මත වාඩි වී සිටියා ය.

වෙනදා මෙන් ම එදාත් මුත්තු ලිංගම් ස්වාමි සහ ඔහුගේ සඟයා මැණික් ග‍ඟෙන් දිය නා ගෙන ගොඩ වූහ. ගොඩ වෙන කොට ම වල්ලි ගොස් බැගෑපත් ලෙස සිඟමනක් ඉල්ලීය.

මුත්තුසාමි ළඟ දෙන්න දෙයක් නොතිබිණ. ඔහු වෙත වූයේ තඹ තැටියත් සිංහ හමත් පමණ. දෙන්නට දෙයක් නොමැතිකමෙන් ඔහු ලැජ්ජාවට පත්විය. වල්ලි ඔහු පසු – පස හිඟමන් ඉල්ලා වැටුණාය. දෙන්න දෙයක් නැතිනම් තඹ තැටිය හෝ දෙන්නැයි ඉල්ලුවාය. ත්‍යාගවත් මුත්තුලිංගම් සාමි තඹ තැටිය වල්ලිට දුනි.

වල්ලි (අම්මා) තඹ තැටිය ගෙන ගොස් කඳ කුමරුට දුන්නාය.

තම අදහස සිතූ පරිදි ඉටුවීම නිසා කඳ කුමරුත් වල්ලිත් දෙදෙනා ම ප්‍රීතියෙන් කල්ගත කළහ. මෙයින් සිදුවූයේ කන්ද ස්වාමි කුමරුට ආදරයෙන් කුමරු සොයා ආ මිතුරන් දෙදෙනා අතරමං වීමයි. පසුව ඔවුන් මිතුරන් ‍දෙදෙනා ද තමන් ළගට ගෙන්වා ගත් කඳ කුමරු තමන් විවාහ වූ කුමරියගේ කුඩා ගේ පැලට වම් පසින් මුත්තුලිංගම්සාමිට හා දකුණුපසින් මුස්ලිම් භක්තිකයාටත් නිවාස දෙකක් තනවා පදිංචියට ඉඩ කඩ සැලැස්වීය.

කතරගම දෙවියන් වඳින්නට එන බැතිමතුන් සෞභාග්‍යය ලබන මේ පින්බිමේ ඇති හාස්කම් එමටය. ආර්යන්ගේ මුල් ජනාවාස අතර කතරගම කේන්ද්‍ර ස්ථානය කොට ජීවත් වූ කතරගම දෙවියන් හෙවත් ස්කන්ධ, බුදු රජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී කතරගම අඩවියේ කිහිර වනයේදී බුදුන්ගෙන් බණ අසා “මහසෙන්” නමින් සේවාන් විය. ඒ සෝවාන් වූ මහසෙන් රජු ආත්මය හැරලු පසු (මරණින් පසු) දේවත්වයක් ලබා යළි පහළ වී ඇතැයි ජනප්‍රවාදගතව ඇත. මහසෙන් දේවාලය කිරි වෙහෙරේ පසෙක වෙයි.

අනිත් කරුණ වන්නේ දඹදිව ස්කන්ධ නමින් දක්ෂ සෙන්පතියකු විසූ බවයි. වල්ලි අම්මා හා තේවානි නමින් ඔහුට බිරින්දෑවරු දෙදෙනෙක් වූහ.

ඉන් වල්ලි නම් ඉතා රූමත් බිරිය මිය ගිය පසු ලංකාවේ සෙල්ල කතරගම දුප්පත් පවුලක උපදින බව දැන ඇය විවාහ කර ගැනීමට ලංකාවට පැමිණ ඇත. එසේ උපන් වල්ලි හා විවාහ වූ ස්කන්ධ මධුසමය ගත කළේ සෙල්ල කතරගමය. සෙල්ල කතරගම තවත් දේවාලයකි. වල්ලි ගුහාව ඇත්තේ සෙල්ල කතරගම භූමියේය. කතරගම දේවාලයේ තැන්පත් කර ඇති රන්පතක ලියූ ලියවිල්ල සහිත කරඬුව කතරගම මහ දේවාලයේ සිට ඇතෙකු පිටින් වල්ලි අම්මා දේවාලයට ගෙන ගොස් තබා නැවත පසුදා පහන්වන විට කතරගම මහා දේවාලයට ගෙනැවිත් තැන්පත් කිරීම ද විශේෂත්වයකි.

කතරගම වල්ලි අම්මා කෝවිල ද වැදගත්ය. අවාහ – විවාහ අවුල් වූ අය විවාහයට සහකාරියන් සහ සහකරුවන් පතන අය මැණික් ගගෙන් බැස නා පඬුරක් ගෙනැවිත් මේ දෙවෙලේ බැඳීම පුරාණයේ පටන් එන සිරිතකි. තම දුක් කඳුළින් කියන අයට මෙතනදී වල්ලි අම්මා දකින්නට ලැබුණු අවස්ථා එමට යැයි ජනප්‍රවාදයේ එයි.

මහ රැයක එසේ දුගී ලෙස ආ ස්ත්‍රිය වල්ලිට පුද පූජා කරන හැටි කියා දී ඇතැයි කියති.

මේ අසල සිට බලන විට වැඩිහිටි කන්ද පෙනේ. එතනද කතරගම දෙවියන්ගේ මහ දෙවොලකි. එය කතරගම කතා පුවතේ එන්නේ හේම කූටය ලෙසය.

මෙහි ඇති සැඟවුණු තවත් දේව කථාවකි. සුරයන් අසුරයන් අතර වූ යුද්ධයේදී සුරයන් පරාදවීම නිසා දෝ ඊශ්වර දෙවියන්ගෙන් ලැබූ වරයක් නිසා‍දෝ සුර පද්ම නොහොත් පද්ම අසුරයා සියලු දෙවියන්ට හිංසා පී‍ඩා කරන්නට පටන් ගත්තේය. දෙවියෝ රැස්වී අසුරයන්ගේ මේ මහා විපතින් මුදාගැනීම සඳහා මහා බ්‍රහ්මයාට හා විෂ්ණු දෙවියන්ට කන්නලව් කළහ. එම දෙපොල මේ සිද්ධිය ඊශ්වර දෙවියන්ට සැල කරන්නට යැයි දෙවියන්ට කීවෝය. ඊශ්වරයා ඊට එකඟ වූ නමුත් අසුරයන් හා තමා සටන් කිරීම පහත් ක්‍රියාවක් ලෙස සිතුවේය. ඊශ්වරයා ලොව බලා බලවතුනට දැරිය නොහැකි ශක්තියක් ඇති සුරූපී කුමරුවන් සය දෙනෙකු උමයංගනාවට ඉපදී සිටිනු දැක්කේය. භාර්යාවට කුමරුන් පහළ වූ ප්‍රීතිය හේතුකොට ඒ සය දෙනා එක් කොට සිඹ සැනහෙද්දී එක් කඳක් ද මුහුණු සයක් ද අත් දොළසක් ද ඇතිව ස්කන්ධ බිහිවූ බව කියති. දේව මණ්ඩලයේ සේනාධිපති වූ ඊශ්වර ගේ පුත්‍රයා කතරගම ස්කන්ද දෙවි, අසුරයන් හා යුද්ධයට පිටත් කර ඇත.

වේලායුධයක් ද අතින් ගෙන අසුරයන් හා යුද්ධයට ගිය ස්කන්ධ දෙවි සුරපද්ම අසුරයාගේ බාල මලණුවන් වූ මායා පුරයේ විසූ “තාරක” මරා දැම්මේ ය.

ඊට පසුව ස්වේත පුරයේ විසූ ‘සිංහමුව’ නම් අසුරයා ද වේලා යුධයෙන් පහර දී මරා දැම්මේය. ඉන් පසුව සුරපද්ම අසුරයාට ද ඒ වේලායුධයෙන් ම පහර දුන්නේ ය. ඔහු මරණාසන්න විය. අභය දානය ඉල්ලුවේය. දෙපළු වූ සුරපද්මගේ එක් භාගයකින් මොනර වාහනයක් ද මවා අනික් පළුවෙන් කුකුළෙකු මවා කොඩියක් ද මවා ගෙන හේම කූටයේ (වැඩිහිටි කන්දේ) වේලායුධය තැන්පත් කළ වග දේව කතාවේ එයි. මෙය හින්දු අයගේ මතයයි. කතරගම වැඩිහිටි කන්ද හින්දු බැතිමතුන්ගේ පූජනීයත්වයට පත්ව ඇත්තේ එලෙසය.

කතරගම දේවාලය ඉදිරිපිට වාර්ෂිකව ගිනි පෑගීමේ උලෙළකි. එය පෙරහර කාලයේ පැවැත්වෙන එක් පූජාවකි. මෙයට හාර සීයයකට අධික පිරිසක් සහභාගි වන්නාහ. මැණික් ග‍ඟෙන් දිය නා දැඩි භක්තියෙන් මෙය සිදු කරති. ගිනි පූජාව පැවැත්වෙන්නේ කතරගම දෙවියන් උදෙසාය. ඒ සඳහා පිරිසුදු විය යුතුය. එයට පේවීම යැයි කියති. බොහෝ දෙනා මස් මාංශයෙන් වැළකී වර්ෂ කිහිපයක සිට මේ සඳහා සූදානම් වෙති. එය දේව ආකර්ෂණයෙන් සිදුවන්නක් බව බැතිමතුන්ගේ අදහසයි.

1945 වර්ෂයේ දී මේ කතරගම බිමේදි ඇසළ පෙරහරේ ගිනි පාගන මංගල්‍යයේදී මහත් අද්භූත සිද්ධියක් විය. ගිනි පෑගීමට බැතිමතුන් සූදානම්ව සිටි අතර ගිනි පෑගීම බැලීම සඳහා ද දහස් ගණන් බැතිමත්හු රැස්ව සිටියහ.

උඩුකයට කිසිවක් හැඳ නැති සුදු වතින් සැරසුණු අයෙක් කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමට පෙරාතුව කරන ලද පුද සිරිත්වලින් පසු ගිනි මැලයේ කිහිප වරක් ම ගමන් කර කතරගම දේවාල‍ෙය් තිරයෙන් ඇතුළට යෑම එදා මහත් ආන්දෝලනයක් විය. එය එතන සිටි සියලු දෙනාම දුටහ. එහෙත් ‍දේවාලයේ තිරෙන් එහාට යන්නට කපු මහත්වරුන්ට හැර කිසිවෙකුට අවසර නැත. දේවාලයේ ඇතුළට ගිය ඒ අාශ්චර්යමත් පුද්ගලයා කවුරුන්දැයි බලන්නට කපු මහත්වරුන් ද දේවාලයට ගිය නමුත් බැතිමතුන්ට දකින්නට ලැබුණේ කපුවන් උඩ බිම් බලා අත් ඔසවාගෙන සිටින අන්දමය.

කතරගම දේවාලයේ තවත් ඓතිහාසික සිදුවීම් රැසකි. පෙරහර සමයට වැදි ජනයා දුනු ඊතල මීපැණි රැගෙන එති. පෙරහරේ නට නටා ගමන් කරති. ඒ ඔවුන්ගේ අයිතිවාසිකමකි.

කඳ කුමරු පළමු විවාහයේදී සිය බලපරාක්‍රමය පෙන්වා ශක්‍රයාගේ දියණිය තේවානි විවාහ කර ගත්තේය. (ශක්‍රයා යනු එදා රජ පෙළපතක නාමයකි) දෙවැනි විවාහය සිදු වූයේ ඔහුගේ බලය ශක්තියත් ප්‍රාර්ථනාවත් ඉටු කර ගැනීම සදහා ලංකාවේ වැදි පරපුරේ රූමත් කාන්තාවක වූ ‘වල්ලි’ අම්මා සමඟය.

කතරගම දෙවියන්ගේ බිසව ගෝමරී බණ්ඩාර බවත්, සපුමල් කුමාරයා පුතා බවත් ඇම්බැක්ක දේවාල වර්ණනාවේ එයි. දෙවියන්ට පුතුන් දෙදෙනෙකු සිටියත් එක් පුතෙකු යකින්නක විසින් නසන ලද බව කියැවෙන කතාද ජනප්‍රවාදයේ එයි. කතරගම දෙවියන් ගේ දෙවැනි පුතා ද දැඩි ආරක්ෂාව යටතේ සිටියත් යකින්නගේ තන පුඩුව ඒ දරුවාට වැටී කිරි බිව් නිසා යකින්නගේ ආදරය ද ඒ දරුවා වැටී ඇත.

කඳ කුමරු උඩින් යන විට ඒ දරුවා දැක ඇතැයි ද පැවසේ. ඔහු දේවතා බණ්ඩාර කඩවර දෙවියෝය. රත්නවල්ලි දේවියගේ කුසේ ඉපදුණු මේ දරුවාට කතරගම ළඟ ඇති තවත් දෙවොලකි. එය කඩවර දෙවොලයි.

කම්බිලි කඩවර – රත්න කඩවර නම්වලින් ද මේ දේවාලය හැඳින්වේ. එතන යකුන් යක්ෂණියන් නටවන හැටි දැකගත හැකිය. කඩවර පූජාව එතැනය. කතරගම මහ දේවාලය වටා තවත් දේවාල රැසකි.

කතරගම දෙවියන්ගේ බල මහිමය දක්වන කතරගම් පුරයේ දේවාලයේ කිසිවක් කිසිවෙකුට වෙනස් කළ නොහැකිය යන මතය ඇත්තේය. දුටු ගැමුණු මහ රජතුමා එදා බලය දුන් කපු පරම්පරාවල උරුමය රැකිය යුතුම ය.

ඉන්දියාවේ බරණැස් නගරයේ පහළ වූ සිද්ධාර්ථ බෝග නාථර් තුමා ක්‍රිස්තු වර්ෂ 211 දී පමණ කතරගමට පැමිණ ඇත. හෙතෙම අවුරුදු 3000 ක් කල් සමාධියට සම වැදී සිටි යෝගී තපස් වරයෙකි. භෞතික ශරීරය විපර්යාසයට පත් කර ගත්තෙකි. අධ්‍යාත්මික භෞතික බලයක් හිමිව සිටි මේ උත්තරීතර යෝගිවරයා තපස් රැකීම සඳහා කතරගම ආශ්‍රමයක් ඇරඹූ බවත් එහිදී පෙති 1008 කින් යුත් පද්ම චක්‍රය නමැති යන්ත්‍රයක් නිර්මාණ කළ බවත් කතරගමදී සොරුබා සමාධියට සම වැදුණු බවත් මහා භාරතයේ ‘බා බාජි’ ග්‍රන්ථයේ සටහන්ය.

‘අමෘත සංජීව” නම් ඍෂීවරයෙකු සතුව පැවැති ඔසු උයනකින් මතුවන (පොළොවේ යටින්) තින්නෝර පස් විශේෂය දේවාලය තුළ දී ඔබේ නළලට තැබෙන ඖෂධයකි. ‘අමෘත සංජීව” නමැත්තාගේ ඔසු උයන දැවී යෑමෙන් මේ අළු හටගෙන ඇතැයි ජන ප්‍රවාදයයි. මේ අළු නිධිය ඇත්තේ කතරගමට නුදුරු නොච්චි පතානේය.

කතරගම දෙවියන්ගේ බලයක් මෙතැන ඇති බව සිතන සියලු දෙනාම මෙතැනට පැමිණ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගනිති. මෙතන විශ්ව ශක්තියෙන් ගමන් ගන්නා මහ කිරණ බලවේගයක් ඇත්තේය යන්න විද්‍යාත්මක දර්ශනයයි. එය කතරගම දෙවියන්ගේ ශක්තිය ලෙස හැඳින්වේ. කතරගම මහ දෙවොල දෙවියන්ගේ මෙන් ම බුදුන්ගේ බලයත් හින්දු මුස්ලිම් කතෝලික ආගමික බලයත් එකතු වන තැනයි.

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *