ආසියාතික ඇතුන්ගේ කුල 14

ඉන්නා තැනක මට ඉන්ටත් නොදී කැලේ-පන්නා ගෙන අවුත් මොන හොඳකම්ද කලේ
දන්නා තරම් පොර ඇල්ලිමි සිතේ බලේ- ඇන්නා වේ වැටුනෙමි මැටි ගත්තු වලේ

අලි ඇතුන් නොවේ නම් හස්තීන් යනු ඉතා ඈත අතීතයේ සිට හෙළයා හා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ආ අපූර්ව සත්වයෙකි. ගජාරෝහණය මෙන්ම අංකුස මාරණය ලෙසින් අතීත හෙළයාගේ සිව්සැට කලා අතුරින් කලාවන් දෙකක් ම වෙන්වී ඇත්තේද ගිජිදුන් නොවේ නම් අලින් වෙනුවෙන් බැවින් මේ ගජ මිත්‍ර ඇසුර ගැන කීමට තවත් සාධක අවැසි නොවන්නේය.මේ මහ පොළව මත ජීවත්වන ලොව විශාලතම මෙන්ම ශක්තිමත්ම ක්ෂීරපායි සත්වයා වන්නේ මෙම අලි ඇතුන් නොවේ නම් ගිජිදුන්‍ ය. එම මේ පොලවෙහි වසන හස්තීන් ප්‍රධානවම වර්ග දෙකකි. අප්‍රිකානු හස්තීන් හා ආසියානු හස්තීන් යනු ඒ වර්ග දෙකය. ඔවුන්ගේ ප්‍රධානතම වෙනස්කම නම් ශරීරයේ පූර්ණ ස්වභාවයයි. එලිෆාස් මැක්සිමස් ලෙසින් වර්ග කෙරෙන ආසියාතික හස්තියා ශරීරයෙන් ආප්‍රිකානු හස්තියාට වඩා පිරිපුන් වේ. අනෙක් අතට අප්‍රිකානු හස්තීන් සෑම එකෙකුටම පිටතට පෙනෙන්නට දළ තිබේ. එහෙත් ආසියාතික හස්තීන්ගේ දළ ඇත්තේ පිරිමි සතුන්ට පමණි. ඒද ඉතාමත් අඩු ප්‍රතිශතයකින් වන්නේය. එසේම කැණීම් වලදී හමුවූ පොසිල කියාපාන්නේ ආසියානු ඇතාගේ බිහිවීම ලක්දිව සිදු වූවක් බවයි. පසුව ඒ ඇතුන් ඉන්දියාවේ හිමාලයේ තායිලන්තය ආදී ලෙස ව්‍යාප්ත වී ඇති බවකි. එසේම ඒ ඒ රටවල විවිධ වූ දේශගුණික හේතූන් මත එම ඇතුන්ගේ ස්වභාවයන් වෙනස් වී ඇත්තේය.

ආසියාතික ඇතුන් ගේ කුලකයෝ මෙසේය.

  1. එලිපාස් මැක්සිමස් ඇසුරුස් – මෙසපොටේමියානු ශිෂ්ටාචාරයේ සිටි හස්ති උප කුලයකි. සම්පූර්ණයෙන්ම වද වී ගොස් අවසන්‍ ය.
  2. එලිපාස් මැක්සිමස් පර්සිකුස් -පර්සියාව ආශ්‍රිතව පැතිරගිය උප කුලකයකි. ජිවමානව සිටින බවට සාක්ෂි නැත.
  3. එලිපාස් මැක්සිමස් බෙන්ගාලෙන්සිස් – උතුරු ඉන්දියාවෙහි වසන ආසියාතික හස්ති උපකුලකය වන මෙහි පිරිමි සතුන් ගහණයෙන් හරි අඩකට දළ පිහිටා ඇත්තේය.
  4. එලිපාස් මැක්සිමස් දකුණෙන්සිස් -දකුණු ඉන්දියාවේ පැතිර ගිය උපකුලකය වන අතර පිරිමි සතුන් බහිතරයකට එනම් ගහණයෙන් සියයට අසූව ඉක්මවා දළ ඇත්තේය.
  5. එලිපාස් මැක්සිමස් මැක්සිමස් – ලංකාවේ හස්ති උපකුලකයන් ගෙන් එක් වර්ගයකි. පිරිමි සතුන්ගෙන් දළ ඇත්තේ සියයට හතක් තරම් අඩු ප්‍රතිශතයකටය.
  6. එලිපාස් මැක්සිමස් විල් අලියා – ලංකාවේ මහවැලි ගඟ ආශ්‍රිතව ජිවත්වන ආසියාතික හස්ති උප කුලකය වේ.
  7. එලිපාස් මැක්සිමස් සිංහලෙයුස් – ප්‍රාග් ඓයිතිහාසික යුගයේ ලංකාද්වීපයේ ජීවත් වූ හස්ති උපකුලකය වන්නේය. වර්තමාන එලිපාස් මැක්සිමස් ලින්නේ යන ආසියාතික අලින්ගේ ව්‍යාප්තියට මුල් වූ හස්තියා ලෙසද ඇතැම් අවස්ථාවක සැලකෙන මෙම වර්ගයද සම්පූර්ණයෙන්ම වඳවී ගොස් අවසන් ය. ඔවුන් මේ ලක්දිව විසූ වගට ඍජු සාක්ෂි ඇත්තේය. ඒ ඔවුන්ගේ ෆොසිල අදටත් නොනැසී පවතින හෙයිනි.
  8. එලිපාස් මැක්සිමස් බිර්මැනිකුස් – මියන්මාරය නොවේ නම් බුරුමය ආශ්‍රිතව විහිදී ගිය උප කුලකය මෙය වේ.
  9. එලිපාස් මැක්සිමස් හිර්සුටුස් – මැලේ හෙවත් මලයාව ආශ්‍රිතව පැතිර ගිය උප කුලකයයි.
  10. එලිපාස් මැක්සිමස් සුමට්‍රානුස් -සුමත්‍රාවෙහි ජිවත්වන හස්ති උප කුලකය වන මෙහි පිරිමි සතුන් සියල්ලන්ටම පාහේ දළ පිහිටයි. දළ නොපිහිටියාවූ ඇතෙකු සමු වන්නේ සියයට දෙකක් තරම් අල්ප ලෙසකිනි.
  11. එලිපාස් මැක්සිමස් සොන්ඩෛකුස් -ජාවා දූපත් ආශ්‍රිත හස්ති උප කුලකයයි.
  12. එලිපාස් මැක්සිමස් බෝර්නිඑන්සිස් – බෝර්නියෝ හි පැතිර ගිය උප කුලකය මෙ නම් වේ.
  13. එලිපාස් මැක්සිමස් රූබර් – සියමෙහි පැතිර ගිය උප කුලකයක් වන අතර මෙම හස්තීන් හට දළ පිහිටා නොමැත්තේය.
  14. එලිපාස් මැක්සිමස් රුබ්‍රිඩෙන්ස් – චීනයේ සිටින උප කුලකයේ හස්තීන් මොවුන් ය.

ඉහත ආසියාතික ඇතුන් උප කුලක දහහතරෙන්ද තුනක් මේ වන විටත් මිහිමතින් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී අවසන් වද්දී අතීතයේ සිට මේ දක්වා හස්තීන්ගේ ජන්ම භූමි ඉතා සීඝ්‍ර ලෙස ක්ෂය වීමට පටන් ගැනීම ඉතා අවදානම් තත්වයක් වී ඇත. තවත් දශක තුනක් පමණ ගෙවී යන විට හස්තීන් සම්පූර්ණයෙන්ම මේ මිහි මතින් තුරන් වීමට තරම් අවදානමක් ඔවුන්ට ඇති වග තේරුම් නොගතහොත් අනාගත පරපුරට හස්තීන් යනු රූපයකින් දැක හදුනා ගන්නට සිදු වන ජීවින් කොටසක් වන්නේය.ලංකාවේ හස්තීන් කට වහරට දෙකොටසක් වී ඇත්තේය. ඒ දළ ඇති හා නැති ලෙසටය. දළ නැති හස්තියා අලියා සහ ඌගේ ගැහැණු සතා කෙනෙර වද්දී දළ ඇත්තා ඇතා සහ ස්ත්‍රී සත්වයා ඇතින්න වන්නේය. එසේම ශ්‍රී ලංකාවේ අලින්ටම වෙන් වූ වෙදකමක් ඇත්තේය. එය පාරම්පරිකව කරගෙන එන්නාවූ වෙද පරම්පරා කිහිපයක්ම තවමත් නොනැසී පවතින්නේය. හස්තිරාජ තෛලය එසේ සිදිනා තෙලකි. එහෙත් ඔසු සොයා ගැනීම අසීරු කාරියකි. අලින්ට හා ඇතුන්ට කෝංතාලං නොවේ නම් ගොපළු ගසේ යුසින් නස්න කරති. එහෙත් ලංකාවෙන්ම එම ගස් තුරන්වෙන්නට පටන් ගෙන ඇත්තේය. උණ වටුණ වෙරළේ යන්තමින් ගස් තුන හතරක් ඉතිරිව ඇත්තේය. මුළු ලෝකයටම එපමණකි. එසේම අලි වෙදකමේ තවත් සුවිශේෂී අංග ඇත්තේය. ඇතැම් රෝගයන්ට යන්ත්‍ර ඇත්තේය. තල් කොලයේ ලියා බෙල්ලේ එල්ලීම, හකුරු බෑයේ හෝ පොල්ගෙඩියේ යන්ත්‍රය ඇද සතාට කැවීම, හබරල කොලයේ යන්ත්‍රය ඇද පයට පාගවා සිටීම එම විශ්මිත හස්ති වෛද්‍ය කර්මයේ අංගයන්‍ වන්නේය.

එසේම ගිජිදුන් හීලෑ කිරීම නොවේ නම් අංකුස මාරණය තවත් කලාවකි. අතීතයේ හීලෑ අලියෙකුට හෝ ඇතෙකුට දම්වැල් දමා මෙතරම් යදම් දැමුවේ නැත. ඒවාට ශිල්පීය දස්කම් ඇති නිපුණයින්ගේ අඩුවක් එකල නොතිබූ නිසාය. එකල හීලෑ අලියෙකුට හෝ ඇතෙකුට දම්වැලක් දැම්මා නම් දැම්මේ ඒ හස්තියා තෙමෙන කාලයට නොවේ නම් මද කිපෙන කාලයටය. ඒ කාලයට එම සත්වයාගේ හැසිරීම අවට පරිසරයේ ජීවීන්ට පමණක් නොව එම සත්වයාටම හානිදායක වන්නේය. ඒ කාලයට සාමාන්‍ය කාලයට දමන දම්වැල් යා නොදේ. විශේෂිත ශක්තිමත් යදම් අවැසිමය.අලි සම්බන්ධ විෂයෙහිදී හස්තීන්ගේ අංග ලක්ෂණ විද්‍යාව අනිවාර්යයෙන්ම දැන සිටිය යුතුය. ඇතැම් හස්තීන් අලි පංතියට ගෙනා විට පංතිය පාළු වන්නේය. ඇතැම් අලින් නිසා අලි පඞතිය සරු වන්නේය. එසේම ස්වාමියාට අවනම්බු වන දේහ ලක්ෂණ සහිත සතුන් මෙන්ම ස්වාමියා රජකරවන දේහ ලක්ෂණද ඇත්තේය. ඇතැම් ගිජිදුන් නිසා ස්වාමියා සියළු යස ඉසුරෙන් සපිරෙන්නේය. එය අලින්ගේ දේහ ලක්ෂණය ශාස්ත්‍රයේදී මනාව කියවේ.අලි ඇතුන් හීලෑ කිරීම නොවේ නම් මෙල්ල කිරීම වෙනම කලාවකි. මන්ත්‍ර විද්‍යාව එහිදී ප්‍රධානව යොදා ගැනුනි. එසේම විවිධ කෙම් ක්‍රම තිබුණි. ඒ සඳහා යොදා ගැණුනා වූ අංකුසය නොවේ නම් හෙණ්ඩුව ඇත්කඳ ළිහිණි නියාකාරයට අනුව සැකසීම සිදු කරයි. බොහො අයට මනඃ කල්පිත සතෙකු වූවාට ඇත්කඳ ළිහිණියා මෙරට ජීවත් වූ සත්වයෙකු වන අතරම ඔහු ඇතෙකු සිය නිය වලින් ඔසවා පියඹා යාමට තරම් වූ ශක්තිමත් එමෙන්ම ඒ තරමටම විශාල පක්ෂියෙකු වග සඳහන් ය. එම ඇත්කඳ ළිහිණි නියාකාර අංකුසයේ කුඹුරු ඇට මද එළ මුත්‍රාවෙන් අඹරා ආලේපය අතීතයේ සුලබව භාවිත වූ ක්‍රමයකි. එසේම එම අංකුසයෙහි මිට ගජමදාරා ලීයෙන් කර පසුව මතුරා ගන්නේය.

එසේම අලි ඇතුන් හීලෑ කිරීමට පමණක් නොව රෝග සුවයටද නිල ශාස්ත්‍රය භාවිත කර තිබුණි. හස්තීන්ගේ නිල සංඛ්‍යාවෙන් අවිනිශ්චිතය. වෙදකමේදී භාවිත කරන නිල හා ඇත්ගොව්වන්ගේ නිල වල යම් අසමානතාවයක් ඇත්තේය.” යං ඇතෙකුගේ ######### මැන හොඬ ලගට අංකුසේ අල්ලනු. නව දිනෙන් කම්බස් ය. ” මේ ඇත් ගොව්වන් භාවිත කරන නිලයක විස්තරයන් ය. එකාතකට මැසි මදුරුවන් සේ අලි ඇතුන් සංහාරය කරන දිවයිනක මේවා දන්නවුන් නැති කමද වාසනාවක්ම වන්නේය.හස්තියා ජිවත්වන ප්‍රදේශය අනුව ඔහුගේ දේහ ලක්ෂණ මෙන්ම අනෙකුත් ප්‍රජනනාදි කටයුතු තීරණය වන්නේය. උදාහරණයක් ලෙස රුහුණු ගැටව් ලෙස හදුන්වන දකුණේ වෙසෙන හස්තීන් ශරීර ප්‍රමාණයෙන් මදක් කුඩාය. සෝමාවතිය, පොලොන්නරුව, දමන අවට සිටින්නේ නැගෙනහිර අලින් ශරීර ප්‍රමාණයෙන් විශාලය. සබරගමු වනයේ හස්තීන්ගේ ශරීරය කාල වර්ණයෙන් අඩුය. අපට පරිසරය යනු වෙනම ඒකකයකි. එහෙත් හස්තීන්ට එසේ නොවේ. ඔහුට සිය ජිවත්වන පරිසරය ඔහු තුලම ඇත්තේය. මිනිසාට තරම් දෙගුණයක ධාරණ ශක්තියක් ඇති හස්තියාගේ හිසෙහි සිය ගමන් මගෙහි සිතියම ඇත්තේය. කොහි දේසේ කරක් ගැසුවද තම ප්‍රාණ වායුව නිදහස් කිරීමට ඇතෙකු එන්නෙ සිය සහජ උරුමය ඇති බිමෙහි වන සොහොන් බිමටය. “ඇත් සොහොන” යනු එයයි. ඇතුන් ගැන නොදන්නේ නම් කුඩා කල කියවූ අරාබි නිසොල්ලාසයේ සින්බෑඩ්ගේ වීර චාරිකා සිහි කරන්න. එහි සින්බෑට් හට ඇත්දළ හමුවන්නේ ඇත් සොහොනකිනි. රත්නපුර ප්‍රදේශයේ ඇත් ඔය යනු එලෙස ඇත් සොහොනක් තිබූ ප්‍රදේශයක් බවට පිලිගත යුතුය. අනෙක් අතට මිනිසා මෙන් නොව හස්තීන් ප්‍රජනනය උදෙසා සිය කුලයට ගැලපෙන සහකරුවෙකු සොයන්නේය. මිනිසා මෙන් සිය අවශ්‍යතාවය දුටු තැන සපුරා ගන්නා ක්‍රමයක් ඔවුන්ට නැත්තේය. දීර්ඝ ගර්භනී සමයකින් අනතුරුව බිහි කරන්නේද එක් පැටියෙකි.දේශිය හස්ති විද්‍යාවේදී දස කුලයක හස්තීන් ගැන කියවේ. එම දසකුලය අංග ලක්ෂණ හා ඉපදුණු නැකත් හා චන්ද්‍ර තිථි මත තීරණය වන්නේය. අපගේ පුරාතණයේ හීලෑ අලි ඇතුන් හට කේන්දරයක් තිබීම අනිවාර්‍ය අංගයකි. හස්තියා හා සිංහලයා අතර එතරම්ම සමීප සබැදියාවක් විය. සත් අංගයම පොලවෙහි ස්පර්ශ වන හස්තියා හිමිකරුට මංගල්‍යක්ම වන්නේය.

සිංහල ක්‍රමයට බෙදී ගිය දස කුල ගිජිඳුන්

  • උපෝසත
  • චද්දන්ත
  • ගන්ද මංගල
  • හේම මංගල
  • ගංගෙය
  • පණ්ඩර
  • තම්බල
  • පිංගල
  • හේම
  • කලාවක
  • යනු එම දස කුලයන්ය. ඒවා ගේ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරි ලිපියකින් ගෙන එන්නෙමු.

සටහන :- රසන්ත වාහලතන්ත්‍රීගේ

Author: admin