අවවාදයයි වාලම්පුරි වලට රැවටෙන්න එපා

ලංකාවේ ඉහළ “අලෙවි වටිනාකමක්” ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත් පෞරාණික වටිනාකමක් හෝ කලාත්මක වටිනාකමක් වැනි නිර්ණායකයක් මත නොව, රවටනු ලබන්නාගේ “දක්ෂතාවය” මත හා රැවටීමට භාජනය වන්නාගේ ඕලමොට්ටලකමට සාපේක්ෂවයි. එම වටිනාකම් අපේ මාධ්‍යවේදීන් විසින් ද කිසිදු වගවිභාගයකින් තොරව ‘කෝටි ගණන් වලින්’ මිල කර පුවත්පත් වල පළ කරයි. මාධ්‍යවේදීන් විසින් එහි වටිනාකම විමසා බැලිය යුත්තේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්ය. එහෙත් ලංකාවේ මාධ්‍යකරුවන් හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සැලකියයුතු ප්‍රමාණයක් තම වෘත්තියේ ඇති ආත්ම වංචාවන් පිළිබඳව අවිඥානික නිසා දේවල් පරික්ෂා කොට තහවුරු කරගැනීමට දිරිමත් වන්නේ නැත.මෙකී වාලම්පුරි යනු වාමාවර්තව කැරකුණු මුහුදු හක් බෙල්ලන්ගේ කටුවයි. මේ හක්බෙල්ලන් අතරින් එක් වර්ගයක් තොග ගණනින් ඉන්දියාවට හා ඉන් කොටසක් අනතුරුව අනුමාන කල හැකි පරිදි ලංකාවටත් ආනයනය කරනු ලබන අතර එහි තිරය පිටුපස කථාව ඉතා විනෝද ජනකය. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මුහුදු ආහාර (Sea Foods) ආපනශාලා වල එක් ජනප්‍රිය ආහාරයක් වන්නේ “බිසිකොන්” නම්වූ හක්බෙල්ලන් වර්ගයකින් පිස තනාගන්නා අහාරයකි. එම හක්බෙල්ලන් වර්ගය වාමාවර්තව කැරකුණු කටුවක් සහිත වන අතර ආහාරයෙන් අනතුරුව ඉතිරිවන බෙලි කටුව ඉන්දියාවට අපනයනය කරනු ලබයි. ඇමෙරිකානුවන් ආහාරයට ගෙන ඉන් ඉතිරිව ඉවතලන “කටු” ඉන්දියාවේදීත් ශ්‍රී ලංකාවේදීත් අන්ධ භක්තික බැතිමතුන්ගේ වන්දනා මානයට පාත්‍රවී ඇත්තේ එලෙසයි.

දුර්ලභ දේවල් වලට සංකේත වටිනාකමක් ඇතිවීම ස්වභාවිකයි. රත්‍රන් හෝ ප්ලැටිනම් අපට තවමත් වටින්නේ ඒවා දුර්ලභ වන නිසාත් ඒවාට ඇති විශේෂ ගුණයන් නිසාත්ය. අනාගතයේ තාක්ෂණය තුලින් රත්‍රන් හා ප්ලැටිනම් වැනි “වටිනා” ලෝහමය මූලද්‍රව්‍යයන්, ඒවායේ රසායනික සංයුතිය අනුව ඉතා පහසුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකරකයක් තුලින් සුලභ ලෙසත් ලාභදායි ලෙසත් නිෂ්පාදනය කළහොත් මේතාක් ඊට හිමිවූ සංකේත වටිනාකම අහෝසි වනු ඇත. මක්නිසාද රත්‍රන් හෝ වෙනත් එවැනි දුර්ලභ ලෝහ වලට වෙනත් මිත්‍යාමය හාස්කමක් ආරූඪ කොට නොමැති හෙයිනි. අතීතයේදී නම් දුර්ලභ දේවල් වලට වන්දනීය බවක් ද උරුම වුනි.ඒ එවකට නොදියුණු මිනිසුන්ට මේ දේවල් විමර්ශනය කිරීමට තරම් දැනුමක් හා බුද්ධියක් නොවූ නිසාය. එහෙත් ලෝකයේ කලින් කලට බිහිවූ ඥානාන්විත මිනිසුන් විසින් අපේ ශිෂ්ඨාචාරයට ලබාදුන් දැනුම විසින් අඳුරේ තිබුණු ලෝකයේ ඇති දේවල් විග්‍රහ කරගන්නට අවශ්‍ය තරම් බුද්ධිමය ආලෝකය විහිදුවාලීය. එහෙත් තවමත් දකුණු ආසියානු රටවල හා අප්‍රිකානු කලාපයේ සිටින බහුතරයක් මිනිසුන් ආලෝකයට පිටුපා තමන් එතෙක් මෙතෙක් ගැලී හුන් අඳුරේම ප්‍රමෝදය ලබත්. මිත්‍යා ලෝලිත්වය නම් මෙම අලස, බියගුළු මෙන්ම අභියෝගයන්ට පසුබට/පසුගාමී/අතීතකාමී මනෝභාවය දිරිගන්වන්නාවූ සමාජ- සංස්කෘතික- දේශපාලනික- ජනමාධ්‍ය සම්ප්‍රදාය නිසා සමාජය අධ්‍යාත්මිකව රෝගී විපතකට හෙලා ඇත.මෙම වාලම්පුරි තනනු ලබන්නේ කෘත්‍රිමව ය යන්න යථාර්ථයයි. එසේත් නැත්නම් මෙලෙස ඉවතලන සුන්බුන් (Garbage) දේවල් ය. ඒ බැව් පරීක්ෂා කිරීමට, සැක හැර ගැනුමට අවශ්‍ය වේ යැයි යමෙකු හැඟෙ නම් එය ඉතා සරල පරීක්ෂාවකි. කෘත්‍රිමව තනන ලද “වාලම්පුරියක්” නම් එහි රසායනික සංයුතිය කැල්සියම් කාබනේට් ද නැතිනම් හුදෙක් ‘ප්ලාස්ටර් ඔෆ් පැරිස්’ ද යන්න නිගමනය කිරීම පහසු පරීක්ෂාවකි. පරික්ෂා කිරීම අභියෝගයකි; මක්නිසාද ඒවා විසින් අපේ විශ්වාසයන්ට එරෙහිව ප්‍රතිඵල ජනනය කරන හෙයිනි.

Author: admin